දෙව්දත් යනෙන අතක් නැත්තේ “මට බුදුරජහු මිස වෙන පිළිසරණෙක් නැතැ” යි සලකා භාග්‍යවතුන් වහන්සේ කරාම ගොස් විසී ය.
එසේ වෙසෙමිනුත් ස්වභාවයෙන් ම දුෂ්ට වූ හෙ තෙම “පිරිස් බලය ලබමි” යි සිතා සංඝ භේදය කරන අදහස් ඇත්තේ, සිය සවු වූ කෝකාලික, කටමෝරක තිස්ස. සමුද්දදත්ත යන භික්ෂූන් ද ථුල්ලනන්දා මෙහෙණිය ද හා සාකච්ඡා කොට භාග්‍යවතුන් වහන්සේ නො පණවතැ” යි තමා සැලකූ වස්තු පසක් ඉල්ලන්නට ඉටා ගත්තේ ය.
ඒ වර පස නම්:
“ජීවිතාන්තය තෙක් භික්ෂූන් ආරණ්‍යක ම විය යුතු යි.
ජීවිතාන්තය තෙක් භික්ෂූන් පිණ්ඩපාතික ම විය යුතු යි.
ජීවිතාන්තය තෙක් භික්ෂූන් පාංශුකූලික ම විය යුතු යි.
ජීවිතාන්තය තෙක් භික්ෂූන් වෘක්ෂමූලික ම විය යුතු යි.
ජීවිතාන්තය තෙක් භික්ෂූන් මත්ස්‍ය මාංශයෙන් මුළුමනින් ම වැළකිය යුතු යි” යන මොහු යි.
එක් දිනෙක දෙව්දත් භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් මෙ කී වස්තු පස පණවා වදාරන සේ ඉල්ලීමක් කෙළේ ය. එ විටැ භාග්‍යවතුන් වහන්සේ කැමැති කෙනෙක් ඒ ආරණ්‍යක වීම් ආදිය කෙරෙත්වා” යි ද “නො කැමැති කෙනෙකුන් ඒ නො කළාට වරදක් නැතැ” යි ද වදාරා දෙව්දත් තෙරුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂිප්ත කළ සේක.
තමා අදහස් කළ සංඝ භේදයට මඟ පෑදුණ බව සැලකූ දෙව්දත් තෙම මහත් සතුටට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට සිය පිරිස හා පිටත් වැ ගියේ, රජගහ පුර පිවිස තමන් වස්තු පසක් පණවන ලෙස ඉල්ලූ නමුත් බුදුරජාණන් වහන්සේ එය නො පිළිගත් බවත් නමුත් තමන් ඒ සමාදන් ව වසන බවත් කියා ඇවිද්දේ ය.
ඒ ඇසූ අනුවණ මිනිස්සු “මේ ශ්‍රමණවරු හෑල්ලු පැවතුම් ඇත්තෝ ය. ශ්‍රමණ ගෞතමයෝ සැප සේ කල් යවන්නෝ ය” යන ආදීන් කියා දෙව්දතුට ප්‍රශංසා කළහ. ඒ කථාව භික්ෂූහු අසා භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. බුදුරජාණන් වහන්සේ දෙව්දතු කැඳවා “සංඝ භේදය කරන්නට තැත් කරන බව සැබෑ දැ?” යි ඇසූ සේක. “සැබෑව, වහන්සැ” යි හේ කීය. එ විටැ කල්පයක් නිරයෙහි පැසෙන බලවත් අකුශලයක් බව වදාරා එ බන්දක් නො කරන ලෙස අවවාද කළ සේක.
ඉන් නික්ම ගිය දෙව්දත් තෙම රජගහ පුර පිඬු පිණිස හැසිරෙන අනඳ තෙරුන් දැක සමීපයට ගොස් “ඇවැත් ආනන්දය, අද පටන් භාග්‍යවතුන් වහන්සේ ගෙන් වෙන් ව පොහොය කරන්නෙමි. සංඝ කර්ම කරනෙමි” යි කීයේ ය. පිණ්ඩපාතයෙන් පසු අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ දෙව්දත් කී කාරණය දැන්වූහ.
එ විට භාග්‍යවතුන් වහන්සේ:
“සත්පුරුෂයා විසින් හොඳ දෑ පහසුවෙන් කට හැක්ක. පාපී පුද්ගලයා විසින් හොඳ දෑ කට නො හැක්ක. පාපියා විසින් පාපය සුව සේ කට හැක්ක. ආර්‍ය්‍යන් විසින් පාපය නො කට හැකි යැ”යි174 වදාළ සේක.
නැවත දෙව්දත් තෙම එක් පොහෝ දිනෙක භික්ෂු සංඝයා මැද නැඟී සිට තමා භාග්‍යවතුන් වහන්සේ ගෙන් පංච වස්තූන් පණවන ලෙස ඉල්ලීම් කළ නමුදු එය උන්වහන්සේ ප්‍රතික්ෂේප කළ බවත් ඒ පංච වස්තූන් සමාදන් ව විසීමේ වටිනා කමත් දන්වා “මගේ මේ අදහසට එකමුතු තැනැත්තේ සලාක ගනීවා” යි කියා සලාක ගැන්වී ය. අළුත පැවිදි උපසපන් වූ පන්සියයක් පමණ වජ්ජිපුත්තක භික්ෂූහු දෙව්දතු ගේ වචනයට රැවටී ඔහුට පක්ෂ වූහ. දෙව්දත් තෙමේ ද ඒ පන්සියය ගෙන ගයා ශීර්ෂයෙහි අරමට ගියේ ය.
ඉක්බිති සැරියුත් මුගලන් දෙනම භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ඒ පවත් දැවූහ. ඒ භික්ෂූන් විනාශයට පැමිණෙන්නට පළමු කැඳවා ගෙනෙන ලෙස භාග්‍යවතුන් වහන්සේ ඒ තෙරුනට වදාළහ. දෑගසව්වෝ ද ගයා ශීර්ෂයට ගියහ. එ සමයෙහි දෙව්දත් තෙර මහා පිරිස් මැද බණ කියමින් හුන්නේ තමන් වෙත එන සැරියුත් මුගලන් දෙ නම දැක “මහණෙනි, බලවු. මගේ ධර්මය කොතරම් ස්වාඛ්‍යාත ද? ශ්‍රමණ ගෞතමයන් ගේ අග සවු සැරියුත් මුගලන් දෙදෙනාත් සතුටු ව මා වෙත එන්නෝ යැ” යි කී ය. එ විට කෝකාලික තෙම “සැරියුත් මුගලන් දෙ නම නො ඇදහිය යුතු යැ” යි කී ය. දෙව්දත් ඒ වචනය නො පිළිගත්තේ ය. ඉක්බිති දෙව්දත් තමා ගේ ආසනයට අඩක් මිටි ආසනයක් සැරියුත් තෙරුනට පෙන්වා එහි ඉඳ ගන්නට කීය. සැරියුත් තෙරණුවෝ එහි නො හිඳ අන් අස්නෙක ඉඳ ගත්හ. මුගලන් තෙරණුවෝ ද පසෙක අස්නෙක ඉඳ ගත්හ. දෙව්දත් රෑ බොහෝ වේලා බණ දෙසා තමා ගේ පිට රිදෙන බව කියා බණ කීම සැරියුත් තෙරුනට පැවැරී ය. සැරියුත් තෙරණුවෝ ආදේශනා ප්‍රාතිහාර්යයෙනුත් අනුශාසනා ප්‍රාතිහාර්යයෙනුත් බණ දෙසූහ. ඉන් පසු මුගලන් තෙරණුවෝ සෘද්‍ධිප්‍රාතිහාර්යයෙන් බණ වදාළහ. ඒ අසා පන්සියයක් පමණ ඒ වජ්ජිපුත්‍රක භික්ෂූහු සෝවාන් වූහ. ඉක්බිති දෑගසව්වෝ ඒ භික්ෂු පිරිස ගෙන අහසින් භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩියහ. කුපිත වූ කෝකාලික තෙම දෑගසවන් ඒ භික්ෂූන් ගෙන ගිය බව කියා පරොස් බසින් දෙව්දතු පුබුදු වන්නේ, වැලමිටින් ඔහු ගේ ළය මැදට පහරක් දින. පිබිදුණු දෙව්දතුට එ තැන ම උණු ලේ වමන විය.
“වහන්ස, සැරියුත් තෙරණුවෝ තමන් දෙවෙනි කොට ගියෝ ය. දැන් මහ පිරිවර ඇති ව එන්නෝ හොබනෝ යැ” යි භික්ෂූහු කීහ. එය ඇරැබැ බුදුරජාණන් වහන්සේ ලක්ඛණමිග ජාතකය වදාළ සේක.
දෙව්දතු දෑගසව්වන් දෙ පස හිඳුවා බුද්‍ධ ලීලායෙන් දම් දෙසමියි භාග්‍යවතුන් වහන්සේ ට සම ව ක්‍රියා කරන්නට තැත් කළ සැටිය භික්ෂූන් කී විට ද එ වැනි කථා ඇති වූ ඉන් පසු දිනවල ද භාග්‍යවතුන් වහන්සේ බොහෝ ජාතක කථාවන් වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ කලක් රජගහ පුර වැස ඉන් නික්ම සැවැත් පුර වැඩ. එහි ජේතවනාරාමයෙහි වුසූ සේක.