දොළොස් වන වස වේරංජායෙහි

star_outline

භාග්‍යවතුන් වහන්සේ එහි පැමිණීමත් උන් වහන්සේ ගේ ගුණ කීර්තියත් ඇසූ වේරංජා වාසී උදය නම් වේරංජායෙහි ධනවත් බමුණෙක් එහි ගියේ ය. ගොස් කථා කොට පැහැදී ඒ වර්ෂාණ කාලයෙහි එහි වස් වසන්නට ආයාචන කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සහිත ව ඒ දොළොස් වන වර්ෂයෙහි වේරංජා පුරැ නලේරු කොසඹ රුක අසැ පන්සලෙහි වුසූ සේක. භාග්‍යවතුන් වහන්සේ ට එහි වස් වසන්නට ආයාචනා කළ බව වේරංජා බමුණාට සිහි නො වීය. පුරවාසීනට ද ඒ ගැන නො සිහි වීය. (එයට හේතුව මාරාවේශයෙකැ යි කියන ලදී) එ කාලයෙහි තද දුර්භික්ෂයෙක් ඒ පළාතේ ඇති විය. භාග්‍යවතුන් වහන්සේටත් භික්ෂූනටත් එහි නිවැසි කිසිවකු ගෙන් කිසි සංග්‍රහයෙක් නො ලැබුණේ ය. එහෙත් උත්තරාපථයෙහි සිට අස් වෙළෙඳාමෙහි යන වෙළෙඳුන් සමූහයෙක් ඒ වැසි සමයෙහි එහි නවාතැන් ගත්තේ ය. ඔහු භික්ෂූනට දින පතා එක නමකට යව නැළිය බැගින් දී සත්කාර කළහ. භික්ෂූහු සත් අට දෙනා ද දස දොළොස් දෙනා ද එකතුව ඒවා කොටා දියෙන් තෙමා වළඳමින් මහණ දම් පිරූහ. එ වෙළෙඳහු භාග්‍යවතුන් වහන්සේට දින පතා යව නැළියකුත් එයට සුදුසු පමණ ගිතෙල් මී හා සකුරුත් දුන්හ. අනඳ තෙරණුවෝ එය අඹරා පිටි කැර ගිතෙල් ආදිය හා නිසි ලෙස සංයෝග කොට භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූහ.

මෙසේ ඒ වස් කාලය ගත කොට, වස් පවරා ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් හා වේරංජ (උදය) බමුණාගේ ගෙදරට වැඩි සේක. බමුණාගේ මෙහෙකරුවෝ එ පවත් ඔහුට දැන් වූහ. බමුණු තෙමේ සිහි ලැබ කනගාටුවට පත් වැ වහා නැඟිට අගනා අස්නක් පණවා, පෙරගමන්කොට භාග්‍යවතුන් වහන්සේ කැඳවා, වඩා හිඳුවා, වැඳ පසෙක හිඳ, ගිහි ගෙයි කටයුතු බහුල බැවින් උන් වහන්සේට සත්කාර කළ හැකි නො වූ බව කියා, භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සමූහයාට මහ දන් දී සත්කාර කළේ ය. භාග්‍යවතුන් වහන්සේ බමුණා සහිත පිරිසට දම් දෙසා උනස්නෙන් නැගී සිට නික්මුණු සේක. බමුණු තෙමේ අඹුදරුවන් කැටු ව අවුත් භාග්‍යවතුන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් නමස්කාර කොට “වහන්ස, මතුත් අප ට අනුග්‍රහ කළ මැනවැ”යි ආදීන් කියා මඳක් දුර පසුගමන් ගොස් කඳුළු පිරුණු මුහුණින් යුතු වැ නැවැතුණේ ය.