සුදින්න කුලපුතුන් පැවිදි වීම

විසල් පුර වැඩීම

භාග්‍යවතුන් වහන්සේ බරණැස ටික දිනක් වැස ඉන් නික්ම සැරි සරන සේක්, විසාලා මහනුවරට වැඩ එහි මහාවනයෙහි කූටාගාරශාලා - විහාරයෙහි වුසූ සේක.

සුදින්න කුලපුත්‍ර මහණවීම

එ සමයෙහි පුර අසල කලන්දග්‍රාම යැ යි ප්‍රසිද්‍ධ ගමෙක් වීය. එහි ප්‍රධාන සිටු තෙම සතළිස් කෝටියක් ධන ඇත්තේ, රාජ සම්මත වූයේ, ගමේ නමින් ම කලන්ද සිටු යැ යි ප්‍රසිද්‍ධ විය. ඔහු පුත් සුදින්න නම් තරුණයෙකි. බුදුරජාණන් වහන්සේ එහි වැඩි කාලයෙහි කාර්තිකෝත්සවය පැවැත්තේ ය. කලන්ද පුත්‍ර සුදින්න තෙම උත්සව සඳහා එහි පැමිණියේ, උදේ බොජුනෙන් පසු සුවඳ මල් ගඳ විලෙවුන් ගෙන විහාරයට යන උපාසකයන් දැක ඔවුන් හා ගොස් පිරිස් කෙළවර හිඳ බණ ඇසුයේය. බණ අවසානයෙහි හෙතෙම පිරිස හා මඳක් තන් ගොස් යලි ආපසු අවුත් භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ඉල්වීය. “මා පියන් ගෙන් අවසර ලබා එව” යි බුදුරජාණන් වහන්සේ වදාළෙන් හෙතෙම ගෙට ගොස් මා පියන් ගෙන් මහණ වන්නට අවසර ඉල්ලූයේ ය. ඔහු අවසර නො දුන්හ. හෙතෙම දින කීපයක් නො කා නො බී බිම වැතිර හිඳ අමාරුවෙන් ඔවුන්ගෙන් අවසර ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් පැවිදි උපසපන් වී ය. (මේ තෙම මින් අට වන වර්ෂයෙහි ප්‍රථම පාරාජිකා ශික්ෂා පදය පැනවීමට ආදිකර්මික වූයේ ය.)

භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වතට වැඩීම

බුදුරජාණන් වහන්සේ ටික දිනක් වෛශාලි පුරයෙහි වැස, ඉන් නිම කපිලවස්තු පුරයට වැඩ එහි න්‍යග්‍රෝධාරාමයෙහි වුසූ සේක. උන් වහන්සේ වැඩි බව ඇසූ මහානාම ශාක්‍ය රජ ගොස් වැඳ, පසෙක හිඳ, “ස්වාමීනි, භික්ෂු සංඝයා වහන්සේ වේරංජායෙහි දී භික්ෂාව නිසි සේ නො ලැබීමෙන් හිරිහැර වින්ද සේක් ලු. එ බැවින් සිවු මසක් මම උන්වහන්සේ පෝෂිත කරන්නෙමි” යි කියා අයැද ගොස්, පසුදා සිට බුද්‍ධප්‍රමුඛ සංඝයාට මධුර වූ ඕජස් සම්පන්න ආහාර පානයෙන් සත්කාර කෙළේ ය.