ධර්මය ලියැවීමක් - ඍෂිදත්ත

අවන්ති රටැ වර්ධග්‍රාම නම් ගමෙහි එක් ගැල් නායකයකු ගේ සෘෂිදත්ත නම් පුතෙක් වී ය. තරුණ වයසට පත් හෙතෙම මච්ඡිකාසණ්ඩ නුවර චිත්‍ර ගෘහපතිහුගේ අදෘෂ්ට මිත්‍රයෙක් වි ය. චිත්‍ර ගෘහපති තෙම සරණ ගත උපාසකයෙකි. හෙතෙම සිය මිතුරාට බුද්‍ධ ධර්මය ගැන කරුණු දන්වා යවනු කැමති වූයේ, බුදුරජාණන් වහන්සේ ගේ රහත් බව, සම්‍යක්සම්බුද්ධ බව, විද්‍යාචරණ සම්පන්න බව ආදී ගුණ රාශිය විස්තර කොට ලියා දීර්ඝ ලියුමක් යැවුයේ ය. ඒ ලියුම ලැබ කියවා බැලූ සෘෂිදත්ත තෙම අප්‍රමාණ ප්‍රීතියටත් ශාසනය කෙරේ මහත් පැහැදීමටත් පැමිණියේ, ගිහිගේ හැර මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ වෙත පැමිණ පැවිදි වී ය. විදසුන් වැඩු හෙතෙම නොබෝ කලෙකින් ෂඩභිඥාලාභී රහතෙක් වී ය.

මේ කාලයෙහි කුටිකණ්ණසෝණ සිටුපුත් ද පැහැදී කච්චායන තෙරුන් වෙත පැවිදි විය. කණ්ඩරායන බ්‍රාහ්මණ ආදී තවත් බොහෝ ප්‍රභූහු ද සස්නෙහි පැහැදුණාහ. බොහෝ කුලපුත්‍රයෝ ශාසන ගත වූහ. නො බෝ කලෙකින් උජ්ජේනි පුරය කසාවතින් බැබලුණේ ය.

මෙ සමයෙහි අවන්ති රට කුරරඝර පුරයෙහි ප්‍රපාත[1] පර්වතයෙහි ද මක්කරකටක නම් නිගමයෙහි ද සස්නෙහි පැහැදුණු ජනයා විසින් ආරාමයෝ කරවන ලදහ.

  1. පවත්ත’ පර්වතයැ යි ද කියත්.