එකොළොස් වන වස ඒකනාලා බමුණු ගමෙහි

star_outline

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් නික්ම දනවු සැරි සරන සේක්, මගධ රටැ දක්ෂිණාගිරි ජනපදයට වැඩි සේක. එකොළොස්වන වැසි සෘතුයෙහි ඒකනාලා නම් බමුණු ගමෙහි වුසූ සේක.

භාග්‍යවතුන් වහන්සේ කසීභාරද්වාජ 164 නම් බමුණකු හික්මවූයේ මෙහි දී ය. ශාසනය කෙරෙහි දෘඪ භක්ති ඇති වේළුකණ්ටකී නන්දමාතු උපාසිකාව මෙහි උපාසිකා පිරිසේ මාර්ගදෙශිකා වැ සිටියා ය.

සිවුරු කැපීමට නියමය

ප්‍රසිද්‍ධ වූ මගධ ක්ෂේත්‍රය මේ ගම නො දුරෙහි ය. ඒ සමීපයට වැඩි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූනට කුඹුර පෙන්වා එහි මියරවලින් ලියැදි වෙන් කොට ඇත්තා සේ සිටින්නට සිවුරු කඩ කපා මසා ගත යුතු බව වදාළ සේක.

වේරංජා පුර වැඩීම

වස්සාන කාලයේ අවසන්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් පුර වැඩ එහි වුසූ සේක. නැවැත සැරි සරා වඩනා සේක්, ශූරසේන ජනපදයෙහි මධුරා පුරයට වැඩි සේක. එහිදී පැමිණි පැමිණි කාරණයෙහි ධර්මානුශාසන කොට ඉන් නික්ම වේරංජා පුරය බලා පිටත් වූ සේක. අතර මගදී ගැහැවි පිරිසක් හමු වැ ගෘහ්‍ය ජීවිතය සම්බන්ධ ධර්ම කථාවෙකින් ඔවුනට අවවාද කළ සේක. ඉක්බිති ඉන් නික්ම වඩනා සේක් වේරංජා පුරයට සම්ප්‍රාප්ත වූ සේක.

වේරංජා පුරයෙහි නලේරු නම් යකකු විසින් අරක්ගන්නා ලදැ”යි සලකා ඔහුට පුද පවත්වන දෙවොලක් වූ විශාල කොසඹ රුකෙක් විය, එය නලේරු පුචිමන්ද නමින් ප්‍රකට විය. වේරංජා පුර වැඩි භාග්‍යවතුන් වහන්සේ ඒ කොසඹ රුක් මුලැ ආවාසයෙහි වුසූ සේක.