අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ප්‍රසාද රූප

කර්මයෙන් ජනිතවූ හෙවත් යම් කුසලාකුසල ජනක කර්මයක් නිසා හටගත්තාවූ රූප කලාපයකට අයත් රූප යන්ගේ ඔපගතියක් හෙවත් ප්‍රසන්න භාවයක් ඇති කරවන යම් රූප ධර්මයක් වේනම්, එය ප්‍රසාද රූප නමි. ධාතූන්ගේ ඔපය ඇතිකර වීමට ඍතු චිත්ත, ආහාර යන ප්‍රත්‍යයන්ට ශක්තියක් නැත. කර්මයෙන්ම හටගත් රූපයන් සමගම, එම රූප කලාපයටම ඇතුළත්ව උපදිමින්, එම රූපයන්ගේ විශේෂ ඔප ගතියක් ඇති කිරීමේ ශක්තිය කර්මයෙන්ම ඉපිද විය යුතුයි ශරීරයෙහි ඒ ඒ තන්හි කර්ම ශක්තියෙන් හටගත්තාවූ ප්‍රසාද රූපයෝ පස් දෙනෙකි. එනම්:-

  1. චක්ඛු ප්‍රසාද රූපය
  2. සොත ප්‍රසාද රූපය
  3. ඝාණ ප්‍රසාද රූපය
  4. ජිව්හා ප්‍රසාද රූපය
  5. කාය ප්‍රසාද රූපය

මේ ප්‍රසාද රූප, තමා හා එක්ව හටගත් හෙවත් සහජාත රූපයන්ට ඉන්ද්‍රිය හෙවත් අධිපති භාවය දක්වන හෙයින් මේ පසට ඉන්ද්‍රියෝ යයි කියති.