චක්ඛු ප්‍රසාද රූපය
දැකීමට උපකාර වන්නේ චක්ඛුවයි. මේ දැකීම නුවණින්ම දක්නා කල්හි එයට නුවණැසින් හෙවත් ප්රඥාචක්ෂුෂයෙන් දකී යයි කියති. මේ ප්රඥාචක්ෂුව බුද්ධ චක්ඛු, සමන්ත චක්ඛු, ඤාණ චක්ඛු, දිබ්බ චක්ඛු, ධම්ම චක්ඛු ය යි පඤ්චවිධ වේ. රූපයන් දැකීමට උපකාර වන්නාවූ මාංශ චක්ෂුවක් හෙවත් මසැසක්ද ඇත්තේය. ඒ මාංශ චක්ෂුවද සසම්භාර චක්ඛූ, ප්‍රසාද චක්ඛූ ය යි විවිධ වේ.
ඇස් ගුහායෙහි පිහිටි මේ මාංස පිණ්ඩය යයි සලකන සසම්භාර චක්ඛුව සංක්ෂෙපයෙන් තුදුස් සම්භාරයකින් යුක්ත වේ. ඒ තුදුසු නම්:-
- පඨවි
- ආපො
- තෙජො
- වායො
- චණ්ණ
- ගන්ධ
- රස
- ඔජා
- සම්භව
- සණ්ඨාන
- ජීවිත
- භාව
- කාය ප්‍රසාද
- චක්ඛු ප්‍රසාද
සැකෙවින් තුදුසක්වූ මේ සම්භාරයෝ විස්තර වශයෙන් සුසාළිසෙකි. ඒ මෙසේයි.
කම්ම, චිත්ත, සෘතු, ආභාර, යන සතර ආකාරයෙන් ලැබෙන මහා භූත සතරත් වණ්ණ, ගන්ධ, රස, ඔජා, සම්භව සණ්ඨාන යන දස දෙනාගේ වශයෙන් සතළිසක් හා කර්මජවූ ජීවිත, භාව, කාය ප්‍රසාද, චක්ෂු ප්‍රසාද, යන සතරත් සමග සුසාළිස් සම්භාරයෙක් වෙති.
මේ සසම්භාර චක්ඛුව ඇසුරු කොට ගෙණ පවත්නා දෘෂ්ටි මණ්ඩලයෙහි සිවි සතකින් යුක්තවූ එක්තරා කුඩා ප්‍රදේශයෙක්හි කර්මයෙන් හටගත්තාවූ රූප කලාපයන්ට ඇතුළත්ව, ඉදිරියෙහි ඇති රූපයන්ගේ ඡායාව වැද ගැනීමට සමත්වූ මහා භූත රූපයන්ගේ යම් ඔපයක් වේද, එයට චක්ඛු ප්‍රසාදය යයි කියනු ලැබේ. චක්ෂු ප්‍රසාද සහිතවූ රූප කලාප සමූහය ප්‍රමාණයෙන් උකුණු හිසකට සමානකර තිබේ. මතුමත්තෙහි තබන ලද පුළුන් පෙද සතෙක්හි වත් කරණ ලද තෙල් බිඳක් සේ, දෘෂ්ටි මණ්ඩලයෙහි පිහිටි මේ කුඩා ප්‍රදේශයෙහි ඇත්තාවූ, පටල සතක පැතිරී පවත්නාවූ මේ චක්ඛු ප්‍රසාද රූපයෝ, දැරීමය, බැඳීමය, මිහි කිරීමය, සැළිමය යන සතර කෘත්‍යයක් ඇති, එහිම පැතිර සිටි පඨවි, ආපො, තෙජො, වායො යන සතර මහා භූතයන් විසින් උවටැන් කරන ලදුව, වණ්ණ, ගන්ධ, රස, ඕජා වන් විසින් පිරිවරණ ලදුව, සෘතු, චිත්ත, ආහාරයන් විසින් උපස්ථම්භ කරණ ලදුව, ජීවිතේන්ද්රිය විසින් රක්නා ලදුව, චක්ඛු විඤ්ඤාණ සිත් දෙකට වස්තු භාවයද, ආවජ්ජන සම්පටිච්ඡන, සන්තීරණ, ජවන, තදාලම්බණයන්ට වාර භාවයද සිද්ධ කරමින්ම හට ගන්නේය.
කර්මජවූ චක්ඛු ප්‍රසාද රූපය තනිවම පහළ නොවන්නේය. පඨවි, ආපො, තෙජො, වායො, යන මහා භූත රූප සතරත්, වණ්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්රිය යන උපාදාය රූප පසත් යන රූප නවයත් සමඟ එකම කලාපයකට ඇතුළත්වම උපදී. මෙයට චක්ඛු දසක කලාපය යයි කියති.
මේ රූපයාගේ ආයුෂයද චිත්තක්ෂණ සතොළොසකි. චක්ඛු ප්‍රසාද රූපය, පළමුවරට ශරීරයෙහි පහළවූ තැන් සිට සෑම සිතකම උප්පාද, ඨිති, භඞ්ග යන තුන් අවස්ථාවන්හිම චක්ඛු දසක රූප කලාපයට ඇතුළත්ව පහළ වන්නේය. එක් සිතක උප්පාදක්ෂණයේදී පහළවූ රූප කලාපය එයට සතළොස්වන චිත්තයාගේ භඞ්ගක්ෂණය හා සමඟම නිරුද්ධ වේ. ඒ රූප කලාපය නිරුද්ධ වන කල්හි එම රූප කලාපයත් සමඟ චක්ඛු දසක කලාපයෝ එක් පණසක් (51) පහළවී ඇත්තේය. සියලුම කර්මජ රූපයෝ චුති චිත්තයාගේ භඞ්ගක්ෂණයේදීම නිරුද්ධවන බැවින් චුතියට චිත්තක්ෂණ සතොළොසක් තිබියදී අවසාන කර්මජ රූප කලාපයාගේ උප්පාදය වන බව දත යුතුයි.
මේ චක්ඛු ප්‍රසාද රූපය රූපාලම්බණයාගේ හෙවත් වර්ණයාගේ ගැටීමට සුදුසුවන සේ, රූපයන්ගේ ප්‍රසාදය හෝ රූප දැකීමෙහි කැමැත්ත මුල්කොට ඇති තෘෂ්ණාවෙන් යුත් කර්මයාගේ ශක්තියෙන් නිපන් මහා භූතයන්ගේ ප්‍රසාදය ලක්ෂණ කොට ඇත්තේය. රූපාලම්බණයෙහි විඤ්ඤාණය ඇදගැනීම එහි කෘත්‍යය හෙවත් රසය වේ. චක්ඛුවිඤ්ඤාණආධාර භාවය එහි වැටහෙන ආකාරය හෙවත් පච්චුපට්ඨානය වේ දක්නා කැමැත්ත නිදාන කොට ඇති කර්මජ භූත ආසන්න කාරණය හෙවත් පදට්ඨානය වෙයි.