සෝතප්‍රසාද රූපය
ශබ්දය අසන්නේ හෝ මෙයින් ශබ්දය අසන්නුයි යන අර්ථයෙන් සෝත නම් වේ. මේ සෝතයද සසම්භාර සෝතය, පසාද සෝතය යයි දෙවැදෑරුම් වේ. සසම්භාර සෝතය නම් කන යි. සසම්භාර සෝත බිලය හෙවත් කන් සිදුර තුළ තඹවන් රෝමයෙන් ගැවසීගත් ඇඟිලි මුදුවකට බඳු සටහන් ඇති පෙදෙසෙහි සතර මහා භූතයන් විසින් උවටැන් කරණ ලදුව, ඍතු චිත්ත ආහාරයන් විසින් උපස්ථම්භ කරණ ලදුව, ජීවිතෙන්ද්රිය විසින් පාලනය කරන ලදුව, වර්ණ ගන්ධාදීන් විසින් පිරිවරණ ලදුව, සෝත විඤ්ඤාණාදි සිත්වලට වස්තු හා ද්වාරභාවය සිද්ධ කරන්නාවූ කර්මජ වූ සතර මහා භූතයන්ගේ ඕපය හෙවත් ප්‍රසාදය, සෝතප්‍රසාද රූපය නම් වේ.
ශබ්දායතනය හෙවත් ශබ්ද රූපයාගේ ගැටීමට සුදුසු වූ මහා භූතයන්ගේ ප්‍රසාදය හෝ ශබ්ද ඇසීමේ කැමැත්ත නිදානකොට පැවති කර්මජ භූතයන්ගේ ප්‍රසාදය ලක්ෂණ කොට ඇත්තේය. ශබ්දාලම්බනයෙහි විඤ්ඤාණය ඇදගැනීම හෙවත් ශබ්ද විදගැන්ම එහි කෘත්‍යය හෙවත් රසය වේ. සෝතවිඤ්ඤාණයට ආධාර භාවය එහි වැටහෙන ආකාරය හෙවත් පච්චුපට්ඨානය වේ ශබ්ද අසනු කැමැත්ත නිදාන කොට ඇති කර්මජ භූත එහි ආසන්න කාරණය හෙවත් පදට්ඨානය නම් වේ.
මේ සෝතප්‍රසාද රූපයෝ ද තනිවම නූපදී චක්ඛුප්‍රසාද රූපය මෙන් කර්මජ වූ පඨවි, ආපො, තෙජො, වායො වර්ණ ගන්ධ, රස, ඕජා, ජීවිතෙන්ද්රිය යන රූප නවයත් සමඟ සෝත දසක කලාපයක් වශයෙන්ම උපදී. සෝත දසක කලාප පළමු වරට ශරීරයෙහි පහළවූ තැන් සිට සෑම කුඩා චිත්තක්ෂණයක් පාසාම, මේ සොත දසක රූප කලාපයෝ හටගෙන චිත්තක්ෂණ සතළොසකින් (17) නිරුද්ධ වෙති. පළමු කී පරිදි සොත දසක කලාපයෝ ද, එක් පණසක් (51) සෑම කල්හිම ශරීරයෙහි ඇති බව සැළකිය යුතුයි. එයින් එක් කලාපයක් උප්පාද අවස්ථාවේද එකක් භඞ්ග අවස්ථාවේද, ඒ අතරවූ සතළිස් නවය (49) ඨිතියෙහිද පවතී.