අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ජිව්හා ප්‍රසාදය

ජීවිතය කැඳවන්නේ යන අර්‍ත්‍ථයෙන් ජිව්හා නම් වේ. මෙයද සසම්භාර ජිව්හා ය, ප්‍රසාද ජිව්හා ය යි විවිධ වේ.

සසම්භාර ජිව්හා නම් දිවයි. සසම්භාර ජිව්හය හෙවත් දිව මැද මතුපිට උපුල්පතෙක අගට බඳු සටහන් ඇති පෙදෙසෙහි පඨවි ආදි සතර මහා භුතයන් විසින් උවටැන් කරණ ලදුව, ඍතු චිත්ත ආහාරයන් විසින් උපස්ථම්භ කරණ ලදුව, ජීවිතෙන්‍ද්‍රිය විසින් රක්‍ෂා කරණ ලදුව, වර්‍ණ ගන්‍ධාදීන් විසින් පිරිවරණ ලදුව, ජිව්හා විඤ්ඤාණාදි සිත්වලට වස්තු සහ චාර භාවය සිදුකරන්නාවූ කර්‍මජවූ සතර මහා භූතයන්ගේ ඔපය හෙවත් ප්‍රසාදය, ජිව්හා ප්‍රසාද රූපය නම් වේ.

රසාලම්බණයෙහි ගැටීමට හෙවත් රසාස්වාදයට සුදුසුවූ කර්‍මයෙන් නිපන් මහා භුතයන්ගේ ප්‍රසාදය ලක්‍ෂණකොට ඇත්තේ ය. රසාලම්බණයෙහි විඤ්ඤාණය ඇදගැනීම හෙවත් රස විඳ ගැනීම එහි කෘත්‍යය හෙවත් රසය වේ. ජිව්හා විඤ්ඤාණයට ආධාරවීම වැටහෙන ආකාරය හෙවත් පච්චුපට්ඨානය වේ. රසාස්වාදන කැමැත්ත නිදානකොට ඇති කර්‍මජ භුත එහි ආසන්න කාරණය හෙවත් පදට්ඨානය වේ.

ආහාර පානාදියෙහි රසය එහි ස්පර්‍ශවූ කල්හි ජිව්හා විඤ්ඤාණය උපදී. මෙයද අනිකුත් ප්‍රසාද රූප මෙන්, ජිව්හා දසක කලාපයට ඇතුළත්වම හටගනී.