අභිධර්මාර්ථ ප්‍රදීපිකා

කාය ප්‍රසාද රූපය

ලාමකවූ කෙස් ලොම් නිය දත් ආදි ශරීරාවයවයන්ට හෝ පාප ධර්‍මයන්ට උත්පත්ති ස්ථාන වන අර්‍ත්‍ථයෙන් කාය නම් වේ. මේ කායද සසම්භාර කාය, ප්‍රසාද කාය යයි විවිධ වේ.

සසම්භාර කාය නම් ශරීරයයි. සසම්භාර කයෙහි හෙවත් ශරීරයෙහි කර්‍මජ තේජොධාතු නොහොත් ජටරාග්නිය පවත්තා ස්ථානය හා කෙස් ලොම් නිය අග සහ වියලි සමද හැර, සෙසු සියළුම ශරීරයෙහි කපු පුළුන් පෙදක වත්කළ තලතෙලක් සේ පැතිර පවත්නාවූද, පඨවි ආදි සතර මහා භූතයන් විසින් උවටැන් කරණ ලදුව, ඍතු චිත්ත ආහාරයන් විසින් උපස්ථම්භ කරණ ලදුව, ජීවිතෙන්‍ද්‍රිය විසින් රක්‍ෂාකරණ ලදුව, වර්‍ණගන්‍ධාදීන් විසින් පිරිවරණ ලදුව කාය විඤ්ඤාණාදී සිත්වලට වස්තු හා චාර භාවය සිදු කරන්නාවූ, කර්‍මජවූ සතර මහා භූතයන්ගේ ඔපය හෙවත් ප්‍රසාදය කාය ප්‍රසාද රූපය නම් වේ.

ස්පර්‍ශාලම්බණයාගේ හෙවත් පඨවි, තේජො, වායො යන මහා භූතත්‍රයාගේ ගැටීමට යෝග්‍යවූ මහා භූතයන්ගේ පැහැදීම හෝ ස්පර්‍ශ තෘෂ්ණාව නිදාන කොට ඇති කර්‍මජ භූතයන්ගේ ප්‍රසාදය ලක්‍ෂණ කොට ඇත්තේය. ස්පර්‍ශාලම්බණයෙහි විඤ්ඤාණය ඇදගැනීම හෙවත් පහස විඳ ගැනීම එහි කෘත්‍යය හෙවත් රසය වේ. කාය විඤ්ඤාණයට ආධාර භාවය එහි වැටහෙන ආකාරය හෙවත් පච්චුපට්ඨානය වේ. ස්පර්‍ශ තෘෂ්ණාවෙන් යුත් කර්‍මයෙන් නිපන් මහා භූත ආසන්න කාරණය හෙවත් පදට්ඨානය වේ.

මෙයද අනිකුත් ප්‍රසාද රූප මෙන් කාය දසක කලාපයට ඇතුළත්වම පහළවේ.