අභිධර්මාර්ථ ප්‍රදීපිකා

වායො ධාතු

පිරවීම, පිම්බීම, සෙලවීම කරවන ස්වභාවය වායො ධාතු නම්. ආපො ධාතුව හා බැඳී එහි ගැලී සිට පඨවි ධාතුවට හැකිලෙන්නට ඉඩ නොදී පිම්බීමෙන් හා රුකුල් දීමෙන් රඳවාගැනීම වායො ධාතුව විසින් කරනු ලබන්නකි. මේ වායො ධාතුවේ සෙලවන ලක්‍ෂණයක්ද තිබේ. වායෝ ධාතුව අධිකවූ සුලඟ සැහැල්ලු බැවින් නිතරම සෙලවෙයි.

වායුවද සතරාකාර වේ:-

  1. සසම්භාර වායුව. එනම් වාතය යි.
  2. ආරම්මණ වායුව. භාවනා අරමුණක් වශයෙන් ගන්නාවූ වායො කසිණය යි.
  3. සම්මත වායුව. වායු කසිණය වඩා බඹලොව උපන් පුද්ගලයන්ට සම්මතයෙන් වායුදෙව යයි කියති.

4. ලක්‍ෂණ වායුව. යම් වායු ගතියක්, පිපෙන බවෙක් වේ නම් අධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ උපාදින්න වූ හෝ අනුපාදින්න වූ හෝ යම් ධාතුවෙක් වේ නම් එය වායොධාතුව හෙවත් ලක්‍ෂණ වායුව නමි.

වායුවේ ලක්‍ෂණය විත්‍ථම්භනයයි එහි කෘත්‍යය සැලෙන බවයි සහජාත රූප නොවැටෙන සේ උසුලා සිටින්නේ වායො ධාතුව බව දත යුතුයි.

මේ මහාභූත හෙවත් ශක්තීන් සතර දෙනා තනි තනිවම නොව එකටම බැඳී එක් කලාපයකටම ඇතුළත්ව, එකවර ඉපිද, ඔවුනොවුන්ට උපකාර වෙමින්, චිත්තක්‍ෂණ සතළොසක්ම (17) ආයුවළඳා එකවරම නිරුද්ධ වන්නාහ.

එක් මහා භූතයෙක් ඉතිරි භූත තුනටද, ඒ තුන ඉතිරි එකටද, දෙකක් ඉතිරි දෙකටද, ඉතිරි දෙක අනිත් දෙකටද නිශ්‍රය වෙමින් පවතී.

මෙසේ එකිනෙකට බැඳී හිලගෙන, වැළඳගෙන පහළ වන්නා වූ රූප කලාපයන් මහත් රාශියක් එකතුවීමෙන් පරමානු සෑදේ එවැනි පරමානු බොහෝ ගණනක් එක්වී මෙන් ගල්, වැලි, පස්, දිය, සුලං ආදිය හටගනී. මේ රූප කලාපයන්ගේ සංයෝගයේ හැටියට එයින් සෑදෙන ද්‍රව්‍යයන්ද වෙනස් වන්නේය.

මේ ධාතු සතර සෑම දෙයකම ඇත්තේ එකම ප්‍රමාණය කටම නොවේ. පඨවි ධාතුව අධික වූ කල්හි තද ගතිය අධික වේ. ආපො ධාතුව අධික වූ කල්හි දිය ගතිය අධික වේ. තෙජො ධාතුව අධික වූ කල්හි උෂ්ණත්වය අධික වේ. වායො ධාතුව අධික වූ කල්හි සැළෙන ස්වභාවය අධික වේ. එක් කලාපයක එක් ධාතුවක් උත්සන්නවී ඉතිරි ධාතු තුන හීන විය හැකියි. ධාතු දෙකක් උත්සන්නවී ඉතිරි ධාතු දෙක හීන විය හැකියි. ධාතු තුනක් උත්සන්නවී ඉතිරි ධාතුව හීන විය හැකියි. මේ ආදී නොයෙක් ආකාරයෙන් ධාතු සංයෝගය ඇති කල්හි එයින් හටගත්නා ද්‍රව්‍යයන්ගේ ආකාරයද, වර්ණයද, සටහනද, රසයද, කෘත්‍යයන්ද වෙනස්වේ.