ඝාණ ප්‍රසාද රූපය
ගන්ධය ආඝ්‍රාණය කරන්නේ හෝ මෙයින් ගන්ධය ආඝ්‍රාණය කරත්නුයි යන අර්ථයෙන් ඝාණ නම් වේ.
මේ ඝාණය ද සසම්භාර ඝාණය, ප්‍රසාද ඝාණය ය යි විවිධ වේ. සසම්භාර ඝාණය නම් නාසය යි. සසම්භාර ඝාණය හෙවත් නාසය තුළ එළුකුරයක සටහන් ඇති පෙදෙ සෙහි පඨවි ආදි සතර මහා භූතයන් විසින් උවටැන් කරණ ලදුව, ඍතු, චිත්ත, ආහාරයන් විසින් උපස්ථම්භ කරණ ලදුව, ජිවිතෙන්ද්රිය විසින් රක්ෂා කරණ ලදුව වර්ණ ගන්ධාදීන් විසින් පිරිවරණ ලදුව, ඝාණ විඤ්ඤාණාදි සිත්වලට වස්තු හා චාර භාවය සිදුකරන්නාවූ කර්මජවූ සතර මහා භූතයන්ගේ ඔපය හෙවත් ප්‍රසාදය ඝාණ ප්‍රසාද රූප නම් වේ.
ගන්ධාලම්බනයාගේ ගැටීමට හෙවත් ගන්ධ ස්පර්ශයට සුදුසු මහා භූතයන්ගේ ප්‍රසාදය හෝ ගන්ධාඝ්රාණය කිරීමේ කැමැත්ත නිදාන කොට ඇති කර්මජ භූතයන්ගේ ප්‍රසාදය ලක්ෂණ කොට ඇත්තේය. ගන්ධාලම්බණයෙහි විඤ්ඤාණය ඇදගැනීම නැතහොත් ගඳ සුවඳ විඳ ගැනීම එහි කෘත්‍යය හෙවත් රසය වේ. ඝාණ විඤ්ඤාණයට ආධාර භාවය එහි වැටහෙන ආකාරය හෙවත් පච්චුපට්ඨානය වේ. ගන්ධා ඝ්‍රාණය කැමැත්ත නිදාන කොට ඇති කර්මජ භූත එහි ආසන්න කාරණය හෙවත් පදඨ්ඨානය වේ.
මේ ඝාණ ප්‍රසාද රූපයෝ ද පඨවි, ආපො, තෙජො, වායො වර්ණ, ගන්ධ, රස ඕජා, ජීවිතෙන්ද්රිය යන කර්මජ රූප නවයත් සමග ඝාණ දසක කලාපයක් වශයෙන්ම පවත්නේ ය.