සෝභන චෛතසික
කුසල් සිත්හි යෙදෙන්නාවූ ද, යහපත්වූ ද, මනාගති හෙවත් සෝභන චෛතසිකයෝ විසිපස් දෙනෙකි. ඔවුන් යෙදෙන සිත් දැක්වීමේ පහසුව සඳහා මේ සෝභන චෛතසිකයෝ සතර කොටසකට බෙදා දක්වනු ලැබේ. මෙයින් දහනවයක් (19) සියළුම සෝභන සිත්හි නො අඩුවම යෙදෙන බැවින් සෝභන සාධාරණ චෛතසිකයෝ යයි ද, තුන් දෙනෙක් විරති චෛතසිකයෝ යයි ද, දෙදෙනෙක් අප්රමාණ්යයෝ යයි ද, එක් චෛතසිකයක් පඤ්ඤින්ද්රිය යයි ද ව්‍යවහාර කරනු ලැබේ.
අසූනවයක් සිත් අතුරෙන් අකුසල් සිත් දොළොස සහ අහේතුක සිත් අටළොස යන අසෝභන සිත් තිහ හැර ඉතිරි සෝභන සිත් පනස් නවයෙහි මේ සෝභන චෛතසිකයෝ යෙදෙන්නාහුය. දාන සීල භාවනා ආදී මහා කාමාවචර කුසල් කරන කල්හි ද, රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදවන කල්හි ද, මාර්ග ඵලයන්ට පැමිණිමේ දී ද මේ සෝභන සාධාරණ චෛතසිකයෝ දහනව දෙන නියත වශයෙන් ද, ඉතිරි චෛතසිකයෝ යෙදෙන ඒ ඒ සිත්හි ද පහළවන්නාහුය. එමෙන් ම, මහා කුසල් සිත්හි ද, කුසල විපාක සිත්හි ද මහා ක්‍රියා සිත්හි ද මේ සෝභන චෛතසිකයෝම යෙදෙන්නාහ. මේ සෝභන චෛතසිකයෝ උපදනා කල්හි අකුසල චෛතසිකයන්ගේ පහළවීමක් නොවන්නේය. ක්ලේශයන් නැසීමට උපකාර වන්නේත් මේ සෝභන චෛතසිකයෝමය.