අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අප්පමඤ්ඤා චෛතසික.

අප්‍රමාණවූ හෙවත් ප්‍රමාණය කළ නො හැකි සත්ත්ව ප්‍රඥාප්තිය අරමුණු කරන ධර්ම අප්‍රමාණ්‍ය ධර්ම නමි. අප්‍රමාණ්‍ය ධර්මයෝ සතර දෙනෙකි. එනම්: මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන සතරය. බ්‍රහ්ම විහරණයෝ යයි කියනු ලබන්නේත් මේ සතරට මය. මෙයින් මෙත්තා යනු අදෝෂයට නමෙකි. උපෙක්ඛා යනු තත්‍රමජ්ඣත්තතා වට නමෙකි. මේ චෛතසික දෙකම සොභන සාධාරණ චෛතසිකයන් වශයෙන් ගන්නා ලද බැවින්, කරුණා මුදිතා, දෙක පමණක් අප්‍රමාණ්‍ය චෛතසිකයන් වශයෙන් මෙහි විස්තර කරණු ලැබේ.

කරුණාව (23)

කරුණාව වනාහී අප්‍රමාණවූ - දුක්ඛිත සත්ත්ව ප්‍රඥප්තිය අරමුණු කොට ගෙන පවත්නා අනුකම්පා කරන ස්වභාවය ලක්ෂණ කොට ඇත්තේය. ලෝකයෙහි දුක්ඛිත සත්ත්වයෝ අප්‍රමාණය. ඔවුන්ගේ දුක්ඛිත භාවය අරමුණු කරන්නා වූ සත්පුරුෂයන්ගේ චිත්ත සන්තා නයෙහි ඇතිවන්නාවූ පර දුක්ඛය පිළිබඳව කම්පා වන්නාවූ ද, ඔවුන්ගේ දුක නො ඉවසන්නාවූද, ඒ දුකින් ඔවුන් මුදවනු කැමැති වන්නාවූද පරදුක්ඛයට විරුද්ධ ආකාරයෙන් පවත්නාවූ ද, ස්වභාවයට කරුණාව යයි කියනු ලැබේ. තම මව්පිය, අඹු දරු, නෑදෑ මිතුරු ආදින් කෙරෙහි ඇතිවන්නා වූ අනුකම්පාව දයාව, ලෝභයාගේම විශේෂයක් බැවින් කරුණා චෛතසිකය නොවන්නේය. දසදිසාවන්හි වසන සත්ත්වයන් කෙරෙහි, සතුරු මිතුරු, ආදී විශේෂයක් නො මැතිව, සමාන වශයෙන් පවත්නා කල්හිම අප්‍රමාණ්‍ය ධර්ම වන්නේය. එසේ පුද්ගල විශේෂයක් නො කොට, දුක්ඛිත භාවයම අරමුණු කොට, මේ සත්වයෝ කවර කලෙක්හි දුකින් මිදෙත් ද, දැන් දැන් දුකින් මිදෙන්නේ නම් යහපතැයි යනා දී වශයෙන් හටගන්නා වූ දයාව, අනුකම්පාව, හෙවත් කාරුණිකභාවය කරුණා චෛතසිකය නම් වේ.

ඇතැම් විටෙක පරදුක්ඛය ඇසූ දුටු පමණින්ම, සිතේ නොසන්සුන් භාවයක් ඇතිවී ඔහුගේ සුවය පතමින්ම ශෝකයක් ද, ඇති වන්නේය. එයද ඉවසා ගත නොහී හඬන්නට ද, වැලපෙන්නට ද සැරසෙන්නේය. මේ ශෝක කිරීම, කරුණාවගේ විලාසයෙන් ඇතිවන ද්වේෂයාගේ එක් ආකාරයක් බැවින් අකුසලයක්ම වන්නේය. මෙය කරුණාව වඩන්නාවූ පුද්ගලයාගේ සතුරෙකි. ශෝකය හැඬීමට කරුණක් වන නමුත් කරුණාව හැඬීමට කාරණයක් නො වන්නේය. මේ ශෝකය වේදනාස්කන්ධයට ඇතුළත් වේ. කරුණා ව සංස්කාරස්කන්ධයට අයත් ය. කරුණාව වඩන්නාවූ පුද්ගලයා ශාන්ත ගති ඇති සත්පුරුෂයෙකි. බුද්ධාදී උතුමන් ගේ විහරණයක් බැවින් බ්‍රහ්ම විහරණයක් ද වන්නේය.

මුදිතාව (24)

මුදිතා චෛතසිකය වනාහී අප්‍රමාණ වූ ද, සුඛිත වූ ද සකල සත්ත්ව ප්‍රඥාප්තිය අරමුණු කොටගෙන, සතුටු වීම් ආකාරයෙන් පවත්නාවූද, පරසම්පත දකින, අසන කල්හි සිත්හි හටගන්නාවූද එයට අනුකූල වූ ආකාරය හෙවත් ඊෂ්‍යාවට ප්‍රතිපක්ෂ වූ ද ස්වභාවයකි. තම දු දරු, නෑදෑ හිත මිතුරු ආදීන් ගේ යස ඉසුරු සැප සම්පත් ආදිය දැකීමෙන් ඇසීමෙන් ඇතිවන සතුටු ආකාරය ලෝභයාගේම විශේෂයක් මුත් කුසල චෛතසිකයක් වූ මුදිතාව නොවන්නේ ය. සීමා රහිත වූද, දස දිග්හි වසන සුඛිත සත්ත්ව ප්‍රඥාප්තිය අරමුණු කොට විශේෂ විභාගාදිය නොසළකා ඔවුන්ගේ සුඛිත භාවය පිළිබඳව ඇති වන්නාවූ සතුටුවන ආකාරයම මුදිතා චෛතසිකය වන බව දත යුතුයි.