සෝභන සාධාරණ චෛතසිකයෝ
සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, තත්‍රමජ්ඣත්තතා, කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි, කායලහුතා, චිත්ත ලහුතා කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා යන එකුන්විසි (19) චෛතසිකයෝ සොභන සාධාරණ චෛතසික. නම්.
කාමාවචර කුසල, විපාක ක්‍රියා සිත් විසිහතර ද, මහග්ගත සිත් විසිහතද, ලොකොත්තර සිත් අට ද යන සොභන සිත් පනස් නව යෙහි ම මෙ සොභන සාධාරණ චෛතසික දහනවය නො අඩුවම එකවර ලැබෙන්නාහුය.
සද්ධාව (1)
ශ්‍රද්ධා චෛතසික තෙමේ බුද්ධාදී ඉෂ්ටාලම්බණයෙහි තමා හා සම්ප්‍රයුක්ත ධර්මයන් පැහැදවීම ලක්ෂණ කොට ඇත්තේය. බුද්ධ ධම්ම සඞ්ඝ යන රත්නත්‍රය, අතිඉෂ්ටවූ ද අති උත්තමවූද වස්තු බැවින් ඇදහිය යුතු වස්තුහු නම් වේ. මේ ශ්‍රද්ධාව, අප්‍රමාණ ගුණයන්ගෙන් යුක්ත වූ තුණුරුවන් කෙරෙහි විශ්වාසය ඇතිකොට, ඒ ගුණයන් සිහි කරවන්නාවූ චිත්තසන්තානයෙහි රාග, ද්වේෂ මොහාදී ක්ලේෂයන්ගේ පහළවීමට අවකාශ නොදී, පිරිසිදුකොට, සිතෙහිත් සම්ප්‍රයුක්ත ධර්මයන්ගේත් පැහැදීම හෙවත් ප්‍රසන්න භාවය ඇති කරවන්නේය. මඩ බොර හේතු කොටගෙන කැලැත්වූ ජලයෙහි, සක්විති රජුගේ මාණික්‍ය රත්නය දමාලූ කල්හි, මඩ බොර යටපත් වී ජලය ප්‍රසන්න භාවයට පත්වන්නාක් මෙන්, කෙලෙස් සහිත වූ චිත්ත සන්තානයෙක්හි, ශ්‍රද්ධා නමැති ගුණය උපදවාගත් කල්හි කෙලෙස් යටපත් කොට සසම්ප්‍රයුක්ත වූ සිත ප්‍රසන්න භාවයට පත්වන්නේය. ප්‍රසන්න වූ ජලය කැඩපතක් මෙන් අවට පවත්නා වස්තුන්ගේ ඡායාව වැදගන්නාක්මෙන්, ශ්‍රද්ධාවෙන් ප්‍රසන්න කරනලද හෙවත් ඔපදමන ලද සම්ප්‍රයුක්ත ධර්මයෝ බුද්ධාදී තුණුරුවන් ගුණ නම් වූ අති ඉෂ්ට අරමුණු වැදගැනීම හෙවත් පිළිගැනීම ඇති කරවති. තුණුරුවන් ගුණ විශ්වාස කිරීමත්, ඇදහීමත් ඇතිවන්නේ මේ පැහැදීම ඇති කල්හිමය. මෙසේ ප්‍රසන්න භාවයට පත්වූ චිත්ත සන්තානයෙහි කෙලෙස්හට නොගන්නා බැවින් සොභන චෛතසිකයන්ගෙන්ම යුක්ත වූ කුසල් සිතක්ම වන්නේය. කුසලය වලක්වන නීවරණාදී පාප ධර්මයන් හට නොගන්නා බැවින් දන්දීම්, සිල් රැකීම්, භාවනා කිරීම් ආදී පින්කම් කළ හැකිවේ. ගංගාවකින් හෝ සැඩ පහර කින් එතරවීම පිණිස රැස්ව සිටින පිරිසක් එතර කිරීම සඳහා ඔවුන් පෙරදැරි කොට ඉදිරියෙන් ගමන් කරන්නා වූ වීර පුරුෂයෙකුමෙන්, මේ ශ්‍රද්ධා චෛතසිකය ද කුසල් කිරීමේදී හැමටම පළමුව ඉදිරිපත් වී, අනිකුදු සම්ප්‍රයුක්ත ධර්මයන් තමාට අනුකූලකොට අධිපති භාවය දක්වන බැවින්, මෙයටම ශ්‍රද්ධා ඉන්ද්රිය යයි කියනු ලැබේ. මනා කොට පිහිටුවා ගන්නා ලද ශ්‍රද්ධාව, ප්රතිපක්ෂ ධර්මයන් විසින් නොසෙලවිය හැකි භාවයට පත් වූ කල්හි, එයට ශ්‍රද්ධා බලය යයි කියති. යහපත් වස්තුන් පිළිගැණීමට අත දිගු කරන්නාක් මෙන්, පින්කම්හි යෙදෙනවිට කුසලය පිළිගන්නා වූ හස්තයක් මෙන් මේ ශ්‍රද්ධාව ඉදිරිපත් වන්නේය. තවද ඉෂ්ට වූ කම්සැප ලබා ගැනීමට ධනය උපකාරවන්නාක් මෙන්, ලෞකික ලොකෝත්තර සියළු සම්පත් ලබාගැනීමට මේ ශ්‍රද්ධා නමැති ආර්‍ය්‍ය ධනය උපකාර වන්නේය. එබැවින් එයට ශ්‍රද්ධා ධනය යයි ද කියති. එමෙන් ම, සරු කෙතක රොපනය කරන ලද සරු බීජය, සරු ඵල ලබාදෙන්නාක් මෙන්, තුණුරුවන් ගුණ විෂයෙහි මනාකොට පිහිටුවා ගන්නා ලද චිත්ත සන්තානය, නිවණ් සැප වැනි උතුම් ඵල ලබා දෙන බීජයක් වන හෙයින් එයට ශ්‍රද්ධා බීජයයි ද කියනු ලැබේ.
තුණුරුවන් ගුණ මිස කෙලෙස් සහිත පුද්ගලයන් කෙරෙහි ඇති වන යම් පැහැදීමක් වේ ද, එයට ශ්රද්ධාවයයි නොකිය යුතුයි. එය ශ්‍රද්ධා මුහුණුවරින් පවතින මිථ්යාධි මොක්ඛය බව දතයුතුයි. පෘථග්ජන පුද්ගල තෙමේ බුදු ගුණ, දහම් ගුණ සහ සඟ ගුණ නොදත් බැවින් නොපැහැදිය යුතු නැන පහදින්නේය. කුසලයක්යයි සිතා ඉතා උත්සාහයෙන් ම අකුසලයක්ම කරන්නේය. ඵල ලැබෙන පිළිවෙතැයි සිතා නිෂ්ඵල වැඩෙහි යෙදෙන්නේය. ගිලන් උපස්ථානය, රොගීන්ට සත්කාරය, යනාදිය පිණිස ඇතැම් විට සත්ත්ව ඝාතනයද කරන්නේය. අකැප වස්තු කැප වශයෙන් සළකා පිළිගන්වති. කරුණා, මෛත්‍රිය යයි සිතා නොයෙක් පුද්ගලයන් කෙරෙහි වරදවා හැසිරෙන්නේය. මේ ආදී වශයෙන්, මෝහයෙන් මුළාවී, නොකට යුතු දෙය කටයුත්තකැයි වරදවාගෙන, ශ්‍රද්ධා ස්වරූපයෙන් අකුසල් කොට අනර්ථයම සිදුකර ගනිති. සමහර කෙනෙක් එයට මොඩ ශ්රද්ධාවයයි කියති. නමුත් එය නොකිය යුත්තකි. මොඩකම; මොහය නම්වූ අකුසලයකි. ශ්‍රද්ධාව පිරිසිදු කුසලයකි. කුසල් සිතක අකුසල චෛතසික නොයෙදේ. මෙයට මුග්ධ ප්‍රසාදය යයි කීමෙහි වරදෙක් නැත. මෙයද මිථ්යාධිමොක්ඛය වේ.
සතිය (2)
ස්වභාවයෙන්ම අකුසල පක්ෂය කරා ගමන් කරන චිත්ත සන්ත තිය එයින් වළක්වා, කුසල පක්ෂය මතක්කරවන, සිහිකරවන ශක්තිය සතිය නමී. ගංගා ජලයෙහි දමනලද භාජනය ජල වේගයෙන් එහා මෙහා පෙරළවමින් පහලටම ගසාගෙන යන්නාක් මෙන්, පෘථග් ජන චිත්ත සන්තතිය ද, ප්‍රිය අරමුණු හමුවූ කල්හි එහි ඇලීමෙන්ද අප්‍රිය අරමුණු හා ගැටීමෙන්ද, අකුසලටම බඳවී පවත්නේය. මෙසේ පවත්නා සිත් පරම්පරාව කුසල පක්ෂයට හරවාගෙන කුසල ක්‍රියාවන් කිරීමට විශේෂ ශක්තියක් ඇතිවිය යුතුයි. සිහිය හෙවත් සතිය යයි කියනුයේ මේ ශක්තියටය. මේ සතිය නැති කල්හි කුසල් කළ නො හැකිවේ. එබැවින් සති චෛතසිකය සියලුම සෝභන සිත්හි යෙදෙන බැවින් සෝභන, සාධාරණ චෛතසිකයෙකි. පෙර ඇසූ, දුටු, කළ, කී දෙයක් හෝ ඉදිරියෙහි කිරීමට අදහස් කරන කටයුත්තක් හෝ මතක් කරණ විට ද සිහිය යයි කීමට බොහෝ දෙනා පුරුදුවී සිටී. නමුත් මේ මතක් කිරීම සති චෛතසිකය නොව, සිත් රාශියකින් සිදුවන එක්තරා ක්‍රියාවකි.
තමා සතු වස්තුව අනුන්ට නොදී රැක බලාගැනීම පෘථග්ජන ගතියකි. දන්දී, නුපුරුදු කෙනෙකුට තමා සතු වස්තුවෙන් ස්වල්ප යක්වත් ලෝභය හැර අනුන්ට දීම ඉතා දුෂ්කර වැඩෙකි. ලෝභය වළක්වා අලෝභ චේතනාව ඇති කොට දානමය කුසල කර්මය සිදු කිරීමට මේ සති චෛතසිකය ඇති විය යුතු. කම්සැපෙහි ඇලී ගැලී සිටින පුද්ගලයාහට සිල් රැකීම මහත් හිරිහැරයක් මෙන් වැට හෙන්නේය. සතිය ඇති කල්හි කාමයන්හි ආදීනව සිහි කොට එයින් වළක්වා කායවාග් සංවරයෙහි පිහිටුවන්නේ ය. අනේකාරම් මණයන්හි විසිර පවත්නා නොසන්සුන් සිත යහපත් වැඩෙහි යෙදීම අති දුෂ්කරය. කුසල් කිරීමට සිත්හි තැන්පත් බව ඇති විය යුතුයි. සති චෛතසිකයෙන් ඒ බව සිහි කරවා භාවනාදියෙහි යොදවා නුවණ වැඩීමට වුවමනා චිත්තෙකග්ගතාවය හෙවත් සමාධිය උපදවා ගැනීමට උපකාරවන්නේය. මෙලෙසින් සියලුම කුසල යන්ගේ ඇති වීමට සතිය අවශ්‍ය බව සැලකිය යුතුයි.
තවද මේ සති චෛතසිකය රත්නත්‍රයෙහි ගුණ පමණක් නොව නාමරූපධර්මයන්ගේ අනිත්‍යාදී ස්වභාවය සිහිකරවීම ලක්ෂණ කොට ඇත්තේය. ගලෙහි කෙටූ අකුරක්මෙන් නොනැසී බොහෝ කලක් පවත්නා බැවින් ශිලාලෙඛනස්ථම්භයකට ද උපමා වේ. කුඩා කල පටන් ස්ථිර වශයෙන් ඉගෙනගත් ශිල්පශාස්ත්රාදීහු මුළා නොවී සිත්හි පවත්වා ගැනීමට සති චෛතසිකය උපකාර වේ. පඤ්ච මධ්‍යාන වඩා අභිඥා උපදවාගත් පුද්ගලයා මේ චෛතසිකය වඩා අතීත ජාතියෙහි අරමුණු පවා සිහිකරන්නේය. දොරටුසයක් ඇති ගෙයක් රක්නා දොරටුපාලක තෙමේ දොරටු සයෙන් එන සොර සතු රන් වළක්වා ගෘහය ආරක්ෂා කරන්නාක්මෙන් සති චෛතසිකයද, චක්ඛුසොතාදීවූ සදොරින් පාපධර්මයන්ට ඇතුල් විය නොදී රක්නේය. එමෙන්ම ඉන්ද්රබීලයක් මෙන් සතිචෛතසිකය අරමුණෙහි දැඩිව පිහිටා සිටින්නේය. කායානුපස්සනා, වෙදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධර්‍මානුපස්සනා යන සතර සතිපට්ඨාන භාවනා කරන පුද්ගලයාගේ චිත්තසන්තානය මනාකොට භාවනා අරමුණෙහි පිහිටුවා ත්රිලක්ෂණ මෙනෙහිකොට, විදර්ශනා වැඩීමට උපකාරවන්නේත් තියුණු වූ මේ සති චෛතසිකයමය. අනිකුත් සමප්‍රයුක්ත ධර්මයන්ට පෙරටුව ගමන්කොට නිවන් මග හෙළි කරන්නාවූ කල්හි අධිපති භාවයෙන් ප්රකටව පවත්නා මේ සතියට සතින්ද්රිය යයි කියති. ප්රතිපක්ෂ ධර්මයන් විසින්, මැඩලිය නොහැකි ලෙස ස්ථිරව පිහිටුවාගත් සතියට සතිබලය යයි ද චතුස්සත්‍යාවබෝධය පිණිස හෙවත් සතර මාර්ගඥානය උපදවන අඞ්ගයක් වශයෙන් යෙදුනකල්හි සතිසම්බොජ්ඣඞ්ගය යයි ද, ලොකොත්තර සිත්හි මාර්ගාඞ්ග යක් වශයෙන් යෙදෙන කල්හි සම්මාසති මාර්ගාඞ්ගය යයි ද කියනු ලැබේ.
හිරිය (3)
පාපයට පිළිකුල් කරවන, හැකිලෙන, ලජ්ජාවන ස්වභාවය හිරි නම්වේ. පාපය පිළිකුල් කටයුතු වරදෙක් බව නො සිතා අකුසල් කරන කල්හි අහිරිකය යෙදෙන බව දක්වන ලදී. මේ අහිරිකය මැඩපවත්වා නැවත නැවත නැගී එන්නට නොදී වළක්වාලීම වශයෙන් මේ හිරි චෛතසිකය සියලුම සෝභන සිත්හි යෙදෙන්නේය. හිරිය නැති කල්හි කුසල් කළ නොහැකි වේ.
අධ්‍යාත්මය අරමුණු කොට ලජ්ජාවීම් වශයෙන් පාපයෙන් වළකින කල්හි, හිරි චෛතසිකය ආත්මගෞරවය රකින්නේය. අසූචියෙන් වැකුණු සිහිල්වූ යකඩයක් ඇල්ලීම පිළිකුල් කරන්නාක් මෙන්, හිරි චෛතසිකයද පාපයට පිළිකුල් කරන්නේය. එ මෙන්ම හිරිය ඇති පුද්ගලයා තමාගේ උසස් කුලගෝත්රාදිය සළකා සත්ත්වඝාතනය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය, මුසාවාදය, සුරාපානය, ආදී පව් කම් කිරීම, නිවයයි සම්මත පුද්ගලයන්ගේ නිහීන ක්‍රියාවකැයි සළකා පාපයෙන් වළකින්නේය. එමෙන්ම සමහර පුද්ගලයෝ තමන්ගේ සූරවීර භාවයද, බහුශ්‍රැත භාවය හෙවත් මාගේ දෙමව්පියන් විසින් මේ මේ ශිල්පශාස්ත්රයන් උගන්වා මා උගතෙකු කළ බැවින්, උගත් මා විසින් නූගත් අඥානයන් කරන පහත් ක්‍රියා නොකළ යුතු යයි ද සිතා පාපයට පිළිකුල් කරන්නේය. මෙසේ ගෝත්‍රය, වයසය, සූරභාවය, බහුශ්‍රැතභාවය, යනාදී කරුණු සළකමින් පාපයෙන් වැළකී කුසල් කිරීමට මේ හිරි චෛතසිකය සියළු සෝභන සිත්හි යෙදෙන්නේය.
ඔත්තප්පය. (4)
කායවාග් දුශ්චරිතාදියට භයවීම හෙවත් තැතිගැනීම ඔත්තප්පය නම් වේ. ප්‍රාණඝාතාදි වූ කායදුශ්චරිතයන්හිද, මුසාවාදාදී වාග් දුශ්චරිතයන්හිද හැසිරෙන පුද්ගලයාහට, මෙලොවදීම අනුන්ගෙන් ඇතිවන හිරිහැර, කරදර, පීඩා වධ බන්ධන, දඬුවම් ආදියද, මරණින් මතු පැමිණෙන සතර අපා දුක්ඛයද සිහිකරන්නාවූ නුවණ ඇති තැනැත්තාහට මහත් භයක් හෙවත් තැතිගැන්මක් හටගන්නේය. මොහය හේතුකොටගෙන පාපයට භය නොවන්නාවූ ද මෙලොව පරලොව දෙක්හිම විඳින්නට සිදුවන දුක නොවැටහෙන්නාවූද අඥාන පුද්ගලයා අකුසල් කොට මහත් දුකට පැමිණෙන්නේය. කායවාග් දුශ්චරිතාදින්ට භය උපදවා කුසලයෙහි යෙදීමට උපකාරවන ධර්ම යක් වූ මේ ඔත්තප්ප චෛතසිකය බාහිරය අපෙක්ෂාකොට ලොක ගෞරවය රැකගැනීම පිණිස පාපයෙන් වැළකීම සිදුවන්නේය. අත පිළිස්සේ යැයි භයින් ගිනිගෙන දිලිසෙන යකඩයක් අත නො ගාන්නාක් මෙන් මේ ඔත්තප්පයද වධයට භයින් පව් පවිනා කරයි.
ඇතැම් පුද්ගලයෝ කායවාග් දුශ්චරිතාදීන්හි යෙදීමට අවස්ථා පැමිණිකල්හි ලොකයෙහි ශිෂ්ටසම්පන්න වූද, සිල්වත් වූද අය විසින් මට නින්දා කරනු ලබන්නේයයි සිතා පාපයන්ගෙන් වැළකෙති. සමහර කෙනෙක් මේ දේශය රත්නත්‍රයට ගරුකරන්නා වූද, ප්‍රාණ ඝාතාදී අකුසල් නොකරන්නාවූද, සත්පුරුෂයන් වාසය කරන ප්‍රදේශ යක් බැවින් මෙහි දී වරදක් කිරීම මා වැනි කෙනෙකුට නොහොබනේ යැයි සළකා පාපයෙන් වළකියි. ශාස්ත්‍ර උගත් පණ්ඩිත ජනයා වසන තැන්හිදී වරද කිරීමෙන් ඔවුන්ගේ නින්දාවට භාජන විය හැකි බැවින් ප්‍රඥාවන්තයන්ට භයින් ද අකුසලයෙන් වළකින්නේය. එමෙන්ම උසස් ගුණදම් පුරණ පුද්ගලයන් විසින්ද තමාගේ ගුණයට කැලලක් වේය යන භයින් පවෙන් වළකියි. මේ ආදී නොයෙක් කාරණා, අකුශලයන්ගෙන් වෙන්වී කුශලයෙහි යෙදීමට උපකාර වේ.
මේ හිරි ඔතප් ධර්ම දෙක රකින පුද්ගලයෝ ශිෂ්ට සම්පන්න පුද්ගලයන් ලෙස ලෝකයා විසින් ද පිළිගනු ලැබේ. දණ්ඩනීති ආදිය පැණවීමට වඩා මේ හිරි ඔතප් දෙක රැකීමෙන් ලොකය මනා කොට පාලනය වන බැවින් මෙයට ලොකපාලක ධර්මය යයි ද කියති. උසස් සත්ත්වයන් ගේ ධර්ම දෙකක් බැවින් දේවධර්මය යයි ද මෙයටම නමෙකි. නිවන් සැප ලැබීමට උපකාර වන ආර්ය්යධනයක් ද වන්නේය.
අලෝභය (5)
අලෝභය අරමුණෙහි නො ඇලීම ලක්ෂණ කොට ඇත්තේය. අරමුණෙහි ඇලීම නම් වූ ලෝභයට ප්රතිපක්ෂවූද, ලෝභයට අවකාශ නොදී එය මැඩපවත්වන්නාවූද ශක්තිය අලෝභය නම් වේ. පියුම් පතෙහි දිය නො ඇලෙන්නාක් මෙන්, අලෝභයද නො ඇලී අරමුණ ගන්නේය. ලෝභයාගේ අභාවය හෙවත් ලෝභය නැතිබව අලෝභය නොවේ. ලෝභය නසන ශක්තියම අලෝභය නම්. මේ අලෝභය, වස්තුන් පිළිබඳ ආශාව දුරුකොට පරිත්‍යාග වශයෙන් යෙදීමට උපකාර වන්නේය. තමා සතු වස්තුවට ආශා කිරීමෙන්, තණ්හාව දියුණුකොට, සසරම රඳාසිටීම පෘථග්ජන ගතියකි. නුවණ ඇති සත්පුරුෂ තෙමේ මේ බැව් දැන, සසරින් එතරවනු පිණිස, සියළු දුකට හේතුවූ මේ තණ්හාව දුරු කිරීම් වශයෙන් වස්තුන්හි නො ඇලීම පුරුදු කරන්නේය. වස්තුන්ගෙන් ප්‍රයෝජන ඇති පුද්ගලයන් බලා, ලොභය හැර ඔවුන්ට මෛත්‍රී සහගත සිතින් වස්තු ප්රදානය කරන්නේය. අප්‍රිය වූ ප්‍රතිග්‍රාහකයාට පවා යමකින් සංග්‍රහ කරණ කල්හි, මේ අලොභය ඇති විය යුතුයි. ලොභය ඇතිතාක් කල් තමා සතු වස්තුව අත් නො හරින්නේය. අලොභය නිර්වාණාවබෝධය පිණිස පූර්ව ප්‍රතිපදාව වශයෙන් පිරිය යුතු පාරමී ධර්මයක්ද වන්නේය.
දන්දීමේදී පමණක් නොව, සිල් රැකීම, භාවනාකිරීම ආදී සියළුම පින් කිරීමට මේ අලොභය ඇතිවිය යුතුයි. තමා පිළිබඳ අධ්‍යාත්මක වූද, බාහිරවූද, වස්තුන් පමණක් නොව සියළුම සැප සම්පත් ආදියද පරිත්‍යාග වශයෙන් නොපවත්වා තණ්හාව දුරුකළ නො හැකිවේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ආදී සියළුම තෘෂ්ණාවන් දුරු කිරීමට ප්‍රඥාවත් සමඟ යෙදුන අලොභය අවශ්‍යමය. එබැවින් මේ අලොභ චෛතසිකය, අකුසල මූලයක් වූ, ලොභයට ප්රතිපක්ෂ වූ, සියළුම කුසල් කිරීමේ දී ඇතිවන කුසල මූලයක් වශයෙන් ද පනස් නවයක් සොභන සිත්හි යෙදෙන්නේය.
අදෝෂය. (6)
ද්වේෂයට හෙවත් සිත්හි දූෂ්‍ය බවට විරුද්ධවූද, තම අදහසට එකඟවූ මිත්රයෙකුසේ, අරමුණෙහි සිත කිලිටි නොකරන්නාවූද, මොලොක්වීම ස්වභාවකොට ඇත්තාවූද, මෛත්‍රිය නම් වූ ශක්තියට අදෝෂ ය යයි කියනු ලැබේ. අරමුණ පිළිබඳව නොසැඩ බව, රෞද්‍ර නැති බව, අවිරුද්ධ බව අදෝෂයාගේ ලක්ෂණයෝයි. ද්වේෂයාගේ අභාවය හෙවත් ද්වේෂය නැතිබව අදෝෂය නොවේ. ද්වේෂය මැඩපවත්වන්නාවූද, ද්වේෂයට නැග එන්නට නොදී එයට විරුද්ධවන් නාවූද ස්වභාවය අදෝෂ නමි. මවක් දරුවකු අතගාන්නාක් මෙන් අරමුණ ඉතා මොලොක් ආකාරයෙන් ගන්නේය. පූර්ණ චන්ද්‍රයා මෙන් සෞම්‍යය. කෙලෙසුන් විසින් දවන ලද තවන ලද චිත්ත සන්තානය නිවා සිහිල් කොට සන්සිඳුවා ලන්නේය. සතුරෙකුට පවා තමා සතු වස්තුවෙන් කොටසක් වත් දෙන කල්හි ඔහු පිළිබඳව ඇති වූ පටිඝය හෙවත් ද්වේෂය යටපත් කොට දිය යුතුවේ. ද්වේෂය පවත්නා කල්හි පරිත්‍යාගයක් කළ නොහැකි වේ. එබැවින් අදෝෂ චෛත සිකය ද, අලෝභය මෙන් පනස්නවයක් (59) සොභන සිත්හි සොභන සාධාරණ චෛතසිකයක් වශයෙන් යෙදෙන්නේය. එ මෙන් ම අදෝෂය කුසල මූලයකි.
අනන්තවූ සත්ත්වප්රඥාප්තිය අරමුණු කොට ඔවුන් කෙරෙහි මෘදු මොලොක් ආකාරයෙන් අනුකම්පාව දක්වන කල්හි මේ අදෝෂය හෙවත් මෛත්‍රිය, සතර බ්‍රහ්ම විහරණය නම් වූ උතුම් චර්ය්යාවන්ගෙන් එකක් වන්නේය. ප්‍රමාණ කළ නොහැකි සත්ත්ව සමූහයා කෙරෙහි පුද්ගල විශේෂයක් නැතිව මෛත්‍රිය පැතිරවීම හේතුකොටගෙන අප්‍රමාණ්‍ය ධර්මයක් ද වන බව සැලකිය යුතුය. මේ අදෝෂ චෛත සිකය, තරහව, ක්‍රෝධය, වෛරය, ව්‍යාපදය නැති කරන මහා බලයෙකි. නිර්වාණාවබෝධය පිණිස පූර්වප්රතිපදාව වශයෙන් පිරියයුතු මෛත්‍රී නම් පාරමි ධර්මයක් ද වන්නේ ය.
තත්‍රමජ්ඣත්තතාවය (7)
තත්‍රමජ්ඣත්තතා චෛතසිකය වනාහී මැදහත් ආකාරයෙන් අරමුණු ගැනීම ලක්ෂණ කොට ඇත්තේය. සිතත් චෛතසික ධර්මත්, වෙන්වෙන් වූ කෘත්‍ය ඇති ධර්මයෝවෙති. යම් ක්‍රියාවක් සිදුකරන කල්හි මේ සිතත්, එහි සම්ප්‍රයුක්ත වූ ධර්මත්, සාමුහිකව, වුවමනාකටයුත්තට සුදුසු පරිදි යෙදී ක්‍රියා කරමින් කටයුතු සම්පාදනය කරන්නේය. අකුසල් කරනවිට මෝහ උද්ධච්ච ආදි පාපගති යෙදී නොසන්සුන් භාවය ඇති කරන බැවින් එම සිතෙහි යෙදෙන අනිකුත් අකුසල චෛතසිකයෝ තම තමන්ට පුරුදු පරිදි ස්ව උත්සාහයෙන් ම ක්‍රියා කරන්නේය. ඒ පාපගති ස්වභාවයෙන්ම නොහික්මුණු ධර්ම බැවින් අමුතුවෙන් හික්මවා ගැනීමක් හෝ රැක ගැනීමක් හෝ අන වශ්‍යය. නුමුත් කුසල් කරන කල්හි ස්වභාවික වූ පාපගති වළක්වා, එයින් චිත්තසන්තතිය මුදවා ගෙන කුසල මාර්ගයට හරවා ගැනීම උත්සාහයෙන්ම කළ යුත්තකි. මෙසේ උත්සාහයෙන් උපදවා ගනු ලබන චිත්ත චෛතසික ධර්මයන්, ඒ ඒ කටයුත්තට වුවමනා පරිදි සමතත්වයෙන් පිහිටුවා ගෙන ක්‍රියා කරවන ශක්තියට තත්‍රමජ්ඣත්තතා චෛතසික යයි කියනු ලැබේ. මෙසේ සම්ප්‍රයුක්ත ධර්මයන් මැදහත් ආකාරයෙන් හෙවත් කට යුත්තට ගැලපෙන පරිදි අඩු වැඩි නොවී සම තත්වයෙන් නොපිහිටි කල්හි නිසිලෙස කුසලය කිරීමට නො හැකිවේ.
අසුන් දෙදෙනෙකු බඳනා ලද රථය ඇදගෙන යන කල්හි රථා චාර්ය්යයා විසින් ඒ අසුන් දෙදෙනා ඉදිරි පසු වන්නට ඉඩ නොදී සමව ගෙන නොගියහොත්, යා යුතු තැනට රථය නිසිසේ ගෙනයාම අපහසු වන්නාක් මෙන් සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ ක්රියාවේගය කටයුත්තට වුවමනා පරිදි සම තත්වයෙන් මැදහත්ව තබා නොගතහොත් කුසල කර්මයට බාධා පැමිණෙන්නේය. එබැවින් මේ මැදහත්භාවය ඇති කිරීම පිණිස සෑම සෝභන සිතකම මේ තත්‍රමජ්ඣත්තතා චෛතසිකය යෙදෙන බව සැළකිය යුතුයි. මේ තත්‍රමජ්ඣත්තතා චෛතසිකයටම උපෙක්ෂාව යයි ද කියනු ලැබේ. මේ උපෙක්ෂාව, වෙදනා චෛතසිකයේ භේදයක් වූ උපෙක්ඛා වෙදනාව නොවන බව දත යුතුයි. අනන්ත වූ සත්ත්වප්රඥාප්තිය අරමුණු කොට මධ්‍යස්ථ භාවය ඇතිවන කල්හි උපදනා තත්රමජ්ඣත්තතාවයට උපෙක්ඛා බ්‍රහ්මවිහරණය යයි කියනු ලැබේ. බෝධිය නම් වූ සතර මාර්ගඥාන යන්ගේ අඞ්ගයක් වශයෙන් යෙදෙන කල්හි උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය යයි ද, නිර්වාණාවබෝධය පිණිස ප්‍රතිපදා වශයෙන් උපෙක්ඛාව වඩන කල්හි උපෙක්ඛා පාරමිතා යයි ද කියනු ලැබේ.
කායපස්සද්ධිය (8) සහ චිත්තපස්සද්ධිය (9)
කාය යනු සෝභන සිත්හි යෙදෙන චෛතසික සමූහයාට කියන නමෙකි. වෙදනා, සඤ්ඤා, සංඛාර යන ස්කන්ධත්‍රයට ඇතුළත් වන ධර්මයන්ගේ සමුදාය කාය බව දත යුතු. මෙහි චිත්ත යයි කියනු ලබන්නේ සෝභන සිත් වලටය. පස්සද්ධිය යනු සන්සුන් බවය. එබැවින් කායපස්සද්ධියෙන් සෝභන චෛතසිකයන්ගේ සන්සුන් බවද, චිත්ත පස්සද්ධියෙන් සෝභන සිතෙහි සන්සුන් බවද ප්‍රකාශ වේ.
සිතෙහි නොසන්සුන් බව ඇතිවන්නේ උද්ධච්ච චෛතසිකය යෙදුණු කල්හිය. අකුසල් සිත්හි මිස කුසල් සිත්හි උද්ධච්චය නො යෙදෙන්නේ ය. පුණ්‍යකර්මයක් කිරීමේදී උද්ධච්චය නැග එන්නට නොදී වළක්වා, චිත්තසන්තානය රැකගැනීමෙන් සංසිඳුනු ස්වභාව යක් ඇති කිරීමේ ශක්තියක් ඒ සිතෙහිම පහළ විය යුතුයි. සිතත් චෛතසික ධර්මත් එකටම ඇතුළත් ව උපදනේ වී නමුත් වෙන්වෙන් වූ ධර්ම බැවින්, සංසිඳවන ශක්ති දෙකක් ම කායපස්සද්ධි, චිත්ත පස්සද්ධි වශයෙන් පහළ වන්නේ ය. මෙසේ උද්ධච්චය යටපත් කිරීමට පස්සද්ධි ධර්ම දෙක උපකාර වන්නේ ය.
පස්සද්ධිය බලවත් වූ කල්හි චිත්ත සුවය ද ඇති වන්නේ ය. එවිට පින් කිරීම ඉතා මිහිරි වන්නේ ය. දුබල වූ පස්සද්ධිය ඇති කල්හි පින් කරන්නේ වී නමුත් එතරම් මිහිරි නොවන්නේ ය. බොධි නම් වූ සතර මාර්ග ඥාන ලැබීමේ දී අඞ්ගයක් වශයෙන් යෙදෙන කල්හි මේ චෛතසික දෙකට පස්සද්ධි සම්බොජ්ඣඞ්ග යයි කියනු ලැබේ.
සූර්ය්යතාපයෙන් පෙළනු ලබන පුද්ගලයා රුක්සෙවනට පැමිණි කල්හි විඩා සංසිඳුවීම ඇතිවන්නාක් මෙන්, පෘථග්ජන චිත්ත සන්තානයෙහි බලපවත්වන්නා වූ, අකුසල් සිත්හි යෙදෙන උද්ධච්චය නමැති සූර්ය්ය තාපයෙන් පෙළනු ලබන කල්හි, කෙලෙස් දාහය සංසිඳවීම පිණිස රුක්සෙවන නමැති පස්සද්ධිය උපදවා ගන්නේ ය. එබැවින් සෝභන සිත්හි සිථිල භාවය හෙවත් ශාන්තභාවය ඇති වන්නේ මේ පස්සද්ධි ධර්ම හේතුකොට ගෙන බව දත යුතුයි.
කාය ලහුතා (10) සහ චිත්ත ලහුතා (11)
සෝභන සිත්හි යෙදෙන්නා වූ සම්ප්‍රයුක්ත ධර්ම සමූහයාගේ සැහැල්ලු බව හෙවත් බර බව සන්සිඳවීමේ ශක්තියට කාය ලහුතා යයි ද, සෝභන චිත්තයාගේ සැහැල්ලු බවට චිත්ත ලහුතා යයි ද ව්‍යවහාර කරනු ලැබේ. කාය ලහුතාව, අකුසල් සිත්හි යෙදෙන්නා වූ මිද්ධ නම් වූ චෛතසික ධර්මයාගේ බර බව සන්සිඳවීම ලක්ෂණ කොට ඇත්තේ ය. චිත්ත ලහුතාව වනාහි ථීන නම් වූ සිතෙහි බරබව සංසිඳවීම ලක්ෂණ කොට ඇත්තේ ය. ථීන මිද්ධ දෙදෙනා සසංඛාරික අකුසල් සිත්හි එක්ව යෙදෙන්නාක් මෙන්, එයට ප්රතිපක්ෂ ධර්ම දෙකක් වූ මේ කාය ලහුතා චිත්ත ලහුතා චෛතසික දෙක සෝභන සිත්හි එක්ව යෙදෙන්නේ ය. ලහුතා ධර්ම පවත්නා කල්හි ථීන මිද්ධයන්ට නැග එන්නට අවකාශ නොලැබේ. නාම ධර්මයන් වූ ථීන මිද්ධ දෙදෙනාගේ බර බව, ද්‍රව්‍යයන් ගේ බර බවක් මෙන් නොව, සිතෙහි දුර්වලභාවය හේතුකොට ගෙන ස්ව උත්සාහයෙන් ම නැඟී සිටීමට නො හැකිව, බරක් මෙන් පවතින ස්වභාවයෙකි. එමෙන්ම එයට ප්රතිපක්ෂ වූ ලහුතා ධර්ම දෙක ද, චිත්ත චෛතසික ධර්මයන්ගේ සැහැල්ලු බව යයි කියන කල්හි, එයින් අදහස් කරනු ලබන්නේ බරක් ලෙස දැනෙන චිත්ත චෛත සික ධර්මයන්ගේ දුර්වල භාවය හෙවත් අලස බව, මැලි බව නැති කොට කටයුත්තට සුදුසු බව ඇති කරවන ශක්ති දෙකෙකි. දුර සිට බරක් ඔසවාගෙන විත් පසෙක බහා තබා බර සැහැල්ලු කොට නිදහස ලබන්නාක් මෙන්, මේ ලහුතා ධර්ම දෙක ද, ථීන මිද්ධ නීවරණ නමැති බර බහා තබා සැහැල්ලු බව ඇති කරවන්නේ ය.
කාය මුදුතා (12) සහ චිත්ත මුදුතා (13)
සෝභන සිතෙහි යෙදෙන සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ මොලොක් බව කාය මුදුතා නම්. සෝභන සිත්හි මොලොක් බව චිත්ත මුදුතා නම්. මිථ්‍යා දෘෂ්ටිය මානය ආදිකොට ඇති, චිත්ත චෛතසික යන්ගේ තද බව, කර්කශ බව ඇති කරවන පාප ධර්මයන්ට අවකාශ නොදී, සෝභන සසම්ප්‍රයුක්ත සිත්හි මෘදු මොලොක් භාවය ඇති කරවන්නේ මේ මුදුතා ධර්මයන්ගේ ශක්තියෙනි. එබැවින් මේ ධර්ම දෙක, දිට්ඨි මාන ආදි ක්ලේශයන්ගේ සන්සිඳවීම ලක්ෂණ කොට ඇත්තේය. ගොරෝසු හමක් වැඩට සුදුසු ලෙස සකස් කර ගැනීමට කැමැති තැනැත්තා විසින් ඒ සම, තෙල් දිය, ආදී යෙන් තෙමා තලා මොලොක් බවට පත්කර ගන්නාක් මෙන්, දිට්ඨි, මාන ආදී කෙලෙසුන්ගෙන් දැඩි බවට පත් වූ චිත්ත සන්තානය, මේ ධර්ම දෙක උපකාර කොට ගෙන මොලොක් බවට පත්කර ගැනීමෙන් කුසලයට හුරු කරනු ලබන්නේ ය. හැම කෙලෙසුන්ටම වඩා මිථ්‍යාදෘෂ්ටිය බලවත් පාපයෙකි. නැමිය නොහැකි වියලි දණ්ඩක් මෙන් ඉතා තදය, ලෝභ මෝහ ආදි පාප ධර්මයන්ගෙන් පිරිවරා ගත්, වැරදි ලෙස අරමුණු ගැනීමට පුරුදු වූ මේ දිට්ඨිය ඇති පුද් ගලයා, එම මිථ්‍යාදෘෂ්ටියෙන් මුදවා ගැනීම අති දුෂ්කරය. මිථ්‍යා දෘෂ්ටිය බල පවත්නා තෙක් කුසලයක් කළ නො හැකිය. එබැවින් මිථ්‍යාදෘෂ්ටියට විපක්ෂ වූ මේ කාය මුදුතා චිත්ත මුදුතා නම් වූ මුදුතා ධර්ම දෙක සෝභන සිතෙහි යෙදීමෙන් මිථ්‍යා දෘෂ්ටියගේ මතුවීම වළක්වා සිත මොලොක් බවට පත් කරවන්නේ ය.
කාය කම්මඤ්ඤතා (14) සහ චිත්ත කම්මඤ්ඤතා (15)
සෝභන චෛතසික ධර්මයන් කුසල කර්මයට යොග්‍ය කරවන ස්වභාවය හෙවත් කර්මණ්ය භාවය කාය කම්මඤ්ඤතා නමි. චිත්තයාගේ කර්මණ්ය භාවය හෙවත් කුසලයට යොග්‍ය කරවන ශක්තිය චිත්ත කම්මඤ්ඤතා නමි. කාම වස්තුව කෙරෙහි ඇලීම නම් වූ කාමච්ඡන්දය කාමච්ඡන්දය ආදි කොට ඇති නීවරණධර්‍මයන් පෘථග්ජන චිත්ත සන්තානයෙහි නිතර පහළවන බැවින්, එයින් මිදී කුසල් කිරීම ඉතා දුෂ්කර කටයුත්තකි. එබැවින් කුසලයට බාධා කරන, කුසලය වළක්වන මේ නීවරණ ධර්මයන් මර්දනය කරන, නීවරණ ධර්මයන්ගේ නැගී සිටීම වළක්වන, එයට ප්රතිපක්ෂ වූ ශක්තියක් හැම සෝභන සිතකම ඇතිවිය යුතුයි. එසේ නොයෙදුනහොත් ඒ සිත කුසලයට යොග්‍ය නොවන්නේය. මේ සිත කුසලයට යොග්‍ය කරවන්නේ හෙවත් කර්මණ්ය භාවය ඇති කරවන්නේ මේ කම්මඤ්ඤතා ධර්මයන්ගේ උපකාරයෙනි. රනින් ආභරණ තනාගනු කැමැති පුද්ගලයා, රත්රන් ගෙන, භාජනයක තබා උණු කොට, එහි අපිරිසිදු ලෝහ ආදිය ඉවත් කොට, පිරිසිදු කර ගත් කල්හි කැමැති සේ ආභරණ තනාගැනීම පහසුවන්නාක් මෙන්, කුසල් කරනු කැමැති පුද්ගලයා විසින්, නීවරණාදී පාපධර්මයන්ගෙන් අපිරිසිදු වූ මේ චිත්ත සන්තානය පිරිසිදු කොට, කැමැති සේ කුසල් කිරීමට යෝග්‍ය පරිදි සිත සකස් කරගනු ලබන්නේ මේ කම්මඤ්ඤතා ධර්ම දෙක උපදවා ගැනීමෙනි. කම්මඤ්ඤතා ධර්ම බලවත් වූ කල්හි පහසුවෙන් කුසල කර්මයෙහි යෙදෙන්නේ ය. එය දුබල වූ කල්හි පින්කම් කරන්නට සැරසුණේ වී නමුත් වහා ආපසු අකුසල පක්ෂයට බසින්නේය.
කාය පාගුඤ්ඤතාවය (16) සහ චිත්ත පාගුඤ්ඤතාවය (17)
සෝභන සිත්හි යෙදෙන චෛතසික ධර්මයන් ගේ ප්‍රගුණය, පුහුණු බව නොහොත් නොගිලන් බව කායපාගුඤ්ඤතා නමි. සොභන සිතෙහි ප්‍රගුණ බව, පුහුණු බව නොහොත් නොගිලන් බව චිත්තපාගුඤ්ඤතා නම් වේ. චිත්ත චෛතසික යන්ගේ ගිලන් බව හෙවත් රොගී භාවය ඇති කරවන අශ්‍රද්ධා ආදී ක්ලේශ යන් මර්දනය කිරීමේ ශක්තිය මේ පාගුඤ්ඤතා ධර්මයන්හි ඇත් තේය. යම් වැඩක් හොඳ හැටි කිරීමට ඒ වැඩය පිළිබඳව මනා පුරුද්දක් හෙවත් පුහුණුවක් ඇති විය යුතුයි. පුහුණු නොවූ තැනැත්තා වැඩට නුහුරු බැවින් කටයුත්ත කිරීමට අසමර්ථ වේ. එසේ ම දන්දීම්, සිල් රැකීම්, භාවනා කිරීම් ආදි පින්කම් කිරීමට ද පුරුද්ද හෙවත් පුහුණු කළ බවක් ඇති විය යුතුයි. පුහුණුවක් නැති කල්හි කුසලයෙහි යෙදිය නොහැකි වේ. සසර දී ඒ ඒ පින්කම් කොට මනා පුරුද්දක් ඇති පුද්ගලයාහට ඒ පුහුණු කළ පින්කම්හි යෙදීම ඉතා පහසු වන්නේය. දන් දීම පුරුදු කළ තැනැත්තාට දන්දීම ඉතා පහසුය. සිල්රැක භාවනා කොට පුරුදු තැනැත්තාට සිල් රැකීම භාවනා කිරීම ඉතා මිහිරි වන්නේය. දන්දීම සිල් රැකීම් භාවනා කිරීම් ආදියට මැලි වන්නේ භයවන්නේ ලජ්ජා වන්නේ ඒ පින්කම් කළ පුරුද්දක් නැති බැවිනි. ශ්‍රද්ධාව සතිය, හිරිය, ඔත්තප්පය, යනාදී යහපත් ගති පුහුණු නොකළ තැනැත්තාගේ චිත්ත සන්තානයෙහි අශ්රද්ධාව, මුට්ඨස්සතිය, නීවරණ ධර්මාදිය වැඩෙමින් චිත්තයාගේ රොගී භාවය හෙවත් ගිලන් බව ඇති කරන් නේය. රොගාදියෙන් පීඩිත වූ ශරීරය දුර්වල වී කටයුතු කිරීමට අසමර්ථ වන්නාක් මෙන්, අශ්රද්ධාදී පාපධර්මයන් නිසා රොගී වූ චිත්ත සන්තානය කුසල් කිරීමට අසමර්ථ වන්නේය. චිත්ත චෛතසික ධර්ම යන්ගේ ගිලන් බව නැති කොට අන්තරායෙන් මුදවා කුසල් කිරීම පිණිස හුරු බවක් හෙවත් පුහුණුවක් ඇති කරවන මේ කායපාගුඤ්ඤතා චිත්තපාගුඤ්ඤතා නම් වූ චෛතසික දෙක සියලු සොභන සිත්හි යෙදෙමින් සිත් සතන් ශක්තිමත් කොට කුසලයෙක ම යොදවන්නේය. පාගුඤ්ඤතා ධර්මයන් බලවත් වූ කල්හි ඉතා පහසුවෙන් වෙහෙසක් නැතිව කැමැති පරිද්දෙන් ම කුසල කරන්නේ ය. දුබල වූ කල්හි වෙහෙසට පත් වන්නේ ය.
කායජ්ජුකතාවය (18) සහ චිත්තුජ්ජුකතාවය (19)
සොභන චෛතසිකයන්ගේ අවඞ්ක බව, ඇද නැති බව හෙවත් සෘජු භාවය ඇති කරවන ශක්තිය කායුජ්ජුකතා නම්. චිත්තයා ගේ අවඞ්ක බව, ඇද නැති බව හෙවත් ඍජු බව ඇති කරවන ශක්තිය චිත්තුජ්ජුකතා නම් වේ. මායාසාඨෙය්ය ආදී ක්ලෙශයෝ සිතෙහි වඞ්කභාවය ඇති කරවන පාප ධර්මයෝ යි. කළවරද නැතහොත් ඇති වරද සඟවා අනුන් රැවටීම මායා නම් වේ. නැති ගුණ පෙන්වා රැවටීම සාඨෙය්‍ය නම්. මේ වඞ්ක ගති, සිත් සතන්හි පවත්නා තෙක් කුසල් කළ නො හැකි වේ. එබැවින් මේ වංක ගති වළක්වා, ඇද නැති කොට, සිතෙහි හා සම්ප්‍රයුක්ත ධර්මයන් ගේ ද ඍජු භාවය ඇති කරවන මේ කායුජ්ජුකතා, චිත්තුජ්ජු කතා නම් වූ චෛතසික දෙක සියළුම සොභන සිත්හි ඇති වන්නේය. මේ චෛතසික දෙක බලවත් වූ කල්හි ඉතා මැනවින් සිහි නුවණින් යුක්තව, කලබල නොවී, නො හැකිලී උඩගු නොවී පින් කරන්නේය. දුබල වූ කල්හි සිතෙහි කලබල ස්වභාවය ඇති විය හැකි බැවින් පින්කමෙහි ස්ථිරව නොපිහිටන්නේය. වහා අකුසල පක්ෂයට බසින්නේය.
මේ වඞ්ක භාවය තුන් ආකාරයකට දක්වනු ලැබේ. එනම් ගොමුත්‍ර වඞ්කය, චන්ද්‍ර වඞ්කය, නඟුලකොටි වඞ්කය යනුයි.
ගමන් කරන්නා වූ ගවයා මුත්‍ර පහ කරණ කල්හි පොළොවෙහි ඇතිවන රේඛාවේ ඇදයට ගෝමුත්‍ර වඞ්කයයි කියති. තමා තුන් දොරින් ම පව් කරමින් පව් නොකරමි කියන පුද්ගලයාගේ ඇදය මේ ගෝමුත්‍ර වඞ්කය මෙනැයි දත යුතු. මෙතෙමේ වරක් පව් කිරීම නිසා එක පැත්තකට බර වී, පව් නො කරන බව පෙන්වීමේ දී අනිත් පැත්තට බරවන්නේ ය.
අමාවකට පසුව පායන චන්ද්‍රයාගේ ඉතා වක් බවට චන්ද්‍ර වඞ්කයයි කියති. ඇතැම් පුද්ගලයෝ පව් කරමින් ම අනුන්ට පව් නොකරන්නටත්, පව්වලට භය විය යුතු බවත් කියති. මොව්හු ඉතාම වඞ්ක බැවින් චන්ද්‍ර වඞ්කය හා සමානය. මෙතෙමේ ද්වාර දෙකෙකින් පව් සිදු කරගන්නා කෙනෙකි.
නගුලෙහි දණ්ඩ ඍජු නමුත් වියගස බඳින කෙළවර ඇදය. මෙයට නඞ්ගුලකොටි වඞ්කය යයි කියනු ලැබේ. සමහරු පව් කරමින්, පව් නොකරණ බව ඉදිරියෙහි නොකියා වට පිටින්, පව් නොකරන බව හැඟවීමට උත්සාහ කරති. පව් කිරීමෙහි වරද අනුන්ට කියා දෙයි. එය අසන අය මෙතෙමේ අවඞ්ක යයි පිළිගනී. මෙසේ වූ වඞ්කය නඞ්ගුලකොටි වඞ්කයයි මෙනැයි කියනු ලැබේ. මෙතෙම එක් දොරකින් පමණක් අකුසල් කරන කෙනෙකි.
කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා යන මේ ධර්ම දෙක සියළුම අකුසල යන්ට ප්රතිපක්ෂය.
මෙහි විස්තර කරණ ලද සෝභන සාධාරණ චෛතසික දහනවය, සෝභන සිත්හි එකවර යෙදෙමින් ඒ ඒ අකුසල ධර්මයන් මැඩ පවත්වා කෙලෙස් නැග එන්නට නොදී චිත්ත සන්තානය ආරක්ෂා කොට කුසල කර්මයන්හි යොදවන්නා වූ බලවත් නාම ධර්ම සමූහයකි.