අභිධර්මාර්ථ ප්‍රදීපිකා

පඤ්ඤින්ද්‍රිය (25)

අරමුණ තත්වාකාරයෙන් හෙවත් ඇති සැටියෙන් දැන ගන්නා ස්වභාවය පඤ්ඤින්ද්‍රිය නම් වේ. මෝහයට ප්‍රතිපක්ෂ වූ ද, නිවැරැදි ලෙස ආරම්මණයන් ගනු ලබන්නා වූද, හෙවත් සත්‍ය වශයෙන් ආරම්මණ තත්වය ගැනීමට උපකාරවන්නා වූද, මේ ස්වභාවයට අමෝහය යයි ද, විද්‍යාව යයි ද, ප්‍රඥාව යයි ද කියනු ලැබේ. ඒ ඒ වස්තූන්ගේ විශේෂ ලක්ෂණ හා අනිත්‍ය, දුක්ඛ, අනාත්මාදී සාමාන්‍ය ලක්ෂණ පිළිබඳ දැනීම අමෝහයේ ලක්ෂණයෝයි. යමක ඇති සැටි අවබෝධ කිරීමේ දී අධිපති වන බැවින් පඤ්ඤින්ද්‍රිය යයි ව්‍යවහාර වේ. මේ පඤ්ඤින්ද්‍රිය චෛතසිකය ඤාණසම්ප්‍රයුක්ත සෝභන සිත්හි යෙදෙමින් පළපුරුදු මාර්ගදේශකයෙකු මෙන් මුළා නොවී ආරම්මණයාගේ ඇති තත්වයම දක්වන්නේය. දක්ෂ දුනුවායෙකු ඝණ වෘක්ෂාදිය විනිවිද යන ලෙස ඊය විදින්නාක් මෙන් පඤ්ඤින්ද්‍රිය ද සියළු ධර්මයන් විනිවිද පවතින්නේ ය. අන්ධකාරය දුරු කොට වස්තු ආලෝක කරන පහනක් මෙන් මෝහයෙන් වැසී තිබෙන, ආරම්මණයාගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්මාදී, ස්වභාවයන් මනාකොට අවබෝධ කරන්නේය. චතුස්සත්‍යය අවබොධ කරන්නේත් ලොකෝත්තර සිත්හි යෙදෙන මේ පඤ්ඤින්ද්‍රියමය. චතුස්සත්‍යය නොදන්නාහට දුෂ්ප්‍රාඥයා යයි ද, චතුස්සත්‍යය දන්නා හට ප්‍රාඥයා යයි ද ව්‍යවහාර වේ.

පඤ්ඤින්ද්‍රිය හෙවත් ප්‍රඥාව සත්ත්වයාහට ඇති රත්නයකි. හෙවත් මහාසාර ධනයෙකි. හැම කෙලෙසුන්ගෙන්ම පිරිසිදු වී රහත් වන්නේත් මේ ප්‍රඥාව හේතුකොට ගෙනමය.

පටිසන්ධියත් සමඟ ලැබූ ප්‍රඥා බීජය හෙවත් ජාති ප්‍රඥාව, පූර්ව ජන්මයන්හි දහම් ඇසීම, නිරවද්‍ය විද්‍යා ඉගෙනීම, යොනිසොමනසි කාරය, ධර්මය මෙනෙහි කිරීම, පණ්ඩිත සත් පුරුෂ ආශ්‍රය යනාදී කුසල හේතූන්ගේ විපාක වශයෙන් ලැබෙන ත්‍රිහේතුක ප්‍රතිසන්ධිකවූ සත්ත්වයාටම ලැබෙන්නේය. දිව්‍ය මනුෂ්‍යාදීන්ට මේ ප්‍රඥා බීජය ලැබෙන්නේ වී නමුත් තිරිසනුන්ට හා නිරිසතුන්ට ද නොලැබෙන්නේය. ඔවුන්ට ජන්මයෙන් ලැබී ඇත්තේ සංඥා, විඤ්ඤාණ හෙවත් හැඟීම හා දැනීම යන දෙක පමණකි. එබැවින් ඔවුන්ගේ සිත් සතන්හි නුවණ වැඩිය හැකි නොවේ. ජාති ප්‍රඥාව හෙවත් ප්‍රඥා බීජය ඇති පුද්ගලයා හට නුවණ වැඩීම් වශයෙන් ප්‍රඥාව දියුණු කළ හැකි වේ. මෙසේ දියුණු කළ කල්හි ප්‍රඥා, විද්‍යා, දර්ශන ද, සම්මා, දිට්ඨි, විජ්ජා, ධම්මවිචය සම්බොජ්ඣඞ්ග, පඤ්ඤින්ද්‍රිය, පඤ්ඤාබල විමංසිද්ධිප්පාද ආදිය ද ලැබෙන්නේය.

විඥාන, සංඥා, ප්‍රඥා වන්හි වෙනස ද දත යුතුයි. ඒ ඒ දොරටුවලට හමුවන අරමුණු ඇතුළට ගෙන යන්නාක් මෙන් දැනෙන කෘත්‍යය කරන්නේ විඥානය හෙවත් චිත්ත යයි. සදොරින් ගන්නා ලද අරමුණෙහි ලකුණු මාත්‍රයක් හෙවත් නැවත හැඳිනීමට සටහන් ගන්නාක් වැනි පැවැත්ම නම් වූ හැඟීම, සංඥා නමි. මෙහිදී ලකුණු තතු සේ ගැනීමට යථාව සඤ්ඤා යයිද, නොතතු සේ ගැනීමට විපරීත සඤ්ඤා යයි ද කියනු ලැබේ. සදොරට හමුවූ අරමුණු ඇති සැටියටම හෙවත් තත්වාකාරයෙන්ම අවබෝධ කරන්නාවූ චෛතසිකය ප්‍රඥා නමි. ප්‍රඥාව යෙදුන සිතෙහි හෙවත් ඤාණසම්ප්‍රයුක්ත කුසල් සිතෙහි, අරමුණු සංඥාවෙන් හැඳින, විඤ්ඤාණයෙන් දැන, ප්‍රඥාවෙන් ඇති තතු හෙළිවේ. එබැවින් ප්‍රඥාව ආලෝකයක් මෙනැයි කියනු ලැබේ.

ඥාන බීජය ලත් පුද්ගලයා හට තම ඥානය ක්‍රමවත්ව වැඩීම නොකළහොත් එයින් ඵල ලබාගත නොහැකි වන්නේය. සියල්ලන්ගේම ඥාන බීජයෝ සමාන නොවෙති. උත්පත්තියෙන්ම පෙර ජාතීන්හි පුරුද්දෙන්ම ආ වාසනා හේතුවෙන් එකිනෙකාගේ හුරු බව එකි එකී විෂයෙහි බැවින් තම තමන්ට හුරුවූ විෂයෙක්හිම නුවණ වැඩීමෙන් ඒ ඒ විෂයෙහි විශේෂඥ විය හැකි වේ. ඒ ඒ පසට සරිලන වැවිලි, ඒ ඒ බිමෙහි වැඩීමෙන් සරු ඵල ලබන්නාක් මෙනි. මෙසේ ක්‍රමයෙන් නුවණ වැඩීමෙන් සර්වඥතා ඥානය දක්වා දියුණු කළ හැකිය.

ශ්‍රද්ධාවත්, සමාධියත්, වීර්‍ය්‍යයත්, ප්‍රඥා වැඩීමට උපකාර වේ. එය ද සමතත්වයෙන්ම තිබිය යුතුය. ශ්‍රද්ධාව වැඩි වී නුවණ මදවී නම් මුග්ද ප්‍රසන්නයෙක් වෙයි. නුවණ වැඩිවී ශ්‍රද්ධාව අඩු වී නම් කෛරාටිකයෙක් වේ. සමාධිය අඩුව වීර්‍ය්‍ය වැඩිවී නම් නොසන් සුන් බවට හා උදහස් බවට ද යට වේ. සමාධිය වැඩිවී වීර්‍ය්‍යය අඩුවී නම් කුසිත භාවයට යට වේ. එබැවින් මේ ඉන්‍ද්‍රියයන්ගේ සමතත්වය, නිසි ලෙස නුවණ වැඩීමට හේතුවේ.

ලෞකික ඥානය, ලොකොත්තර ඥානය යයි ඥාන දෙකෙකි. ශිල්ප, ශාස්ත්‍ර, දර්ශන, විද්‍යා ලොක තත්වය ආදිය පිළිබඳව දැනීම ලෞකික ඥානය වේ. චතුරාර්‍ය්‍ය සත්‍යාවබෝධය ලොකොත්තර ඥානයෙන් සිදුවේ. ශිල්ප ශාස්ත්‍රාදීන් පිළිබඳව විශේෂ උසස්දැනීමක් ඇති වීමට ද ජාති ප්‍රඥාව තිබිය යුතුයි. ජාති ප්‍රඥාව හෙවත් ප්‍රඥා බීජය නැති කල්හි ලෞකික ධ්‍යානාදි උසස් ඵල ලබා ගැනීමට නොහැකි වුවත් බොහෝ උත්සාහ කළහොත් ස්වල්ප ඵලයක් ලබාගත නො හැකි වන්නේ නැත. මේ භවයෙහි අහේතුක ප්‍රති සන්ධි ලැබූයේ වී නමුත් පෙර ජාතීන්හි කළ කුසල් ඇති හෙයින් කල්‍යාණ මිත්‍ර සේවනය ආදි වශයෙන් උපකාර ලැබීමෙන් ප්‍රමාණ වත් ඥානයක් ලබා ගැනීමට හැකි වේ. මෙසේ කිරීමෙන් මතු භවයන්හි ඵල ලැබීම පිණිසත් නුවණ දියුණුකරගත හැකි වන්නේය. සරු බීජය සරු කෙතක වපුරා මනාව රැක ගැනීමෙන් සරු ඵල ලැබෙනු මිස නිසි කල විධි ලෙස නො වැපුරුවහොත් ඵල නො ලැබෙන්නේ ය. ලෞකික ප්‍රඥාව චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ නො කරන්නේ වී නමුත්, නිර්වාණාවබෝධයට බලවත් උපනිශ්‍රයක් වන්නේය.

මේ ලෞකික ඥානය වුවත් ඉතා දීර්ඝ කාලයක් ඒ ඒ භවයන්හිදී නිසි ලෙස වැඩීමෙන් දියුණු කරගත යුතු වේ. නුවණ වැඩීමට උපකාරවන කරුණු මහත් රාශියකි. කුඩා කල පටන් ම ඥානය වැඩීමේ අගය දැන එය වැඩීමට උත්සාහ කළ යුතුයි. කාලය මොහො තක්වත් අපතේ නොයවා පත් පොත් බැලීම් ආදියෙහි නිතර යෙදිය යුතු වේ. උගතුන්ගෙන් අසා දැන, ඇසූ දුටු දේ එකක් එකක් පාසා කරුණු සහිතව විමසා බලන්නට ද පුරුදු විය යුතුයි. යමක් ගැන සිතන කල්හි සිත විසිර යන්නට ඉඩ නොදී එහිම සිත පවත්වා ගැනීමට ද, සිත් සතන් නොයෙක් අරමුණුවල විසිරෙන්නට හේතුවූ පැවැත්මෙන් තොරව, චාම් පැවැතුම් ඇති කෙනෙකු වීමට ද උත්සාහ කළ යුතුයි. දූ කෙළි ආදියෙන් වැළකී දොඩමලු නොවී, අනුන් දොස් නො සොයා, අර්ථය පිණිසම ක්‍රියා කිරීම ද, නිදිබර නොවී, කලට වේලාවට කටයුතු කිරීම ද, උගතුන් සේවනය කිරීම ද, අනවශ්‍ය විතර්ක අඩු කිරීම ද, නින්ද, ප්‍රශංසා, සතුරුකම් ආදිය අමතක කිරීම ද, පළිගැනීම්, ඊර්‍ෂ්‍යා කිරීම් ආදියෙන් කුඩා කල්හි සිටම වෙන් වීමද, ලාභ අලාභ ආදියෙහිද උපෙක්ෂක භාවය වැඩීමද, ඉගෙන ගත් දෙය අමතක විය නොදී නැවත නැවත සිහි කිරීම ද යනාදී කරුණු ඥානයාගේ වැඩීමට උපකාර වන්නේය.

මේ පඤ්ඤින්ද්‍රිය චෛතසිකය හෙවත් ඥානය, කාම සොභන සිත් අතුරෙන් ඤාණසම්ප්‍රයුක්ත සිත් දොළොසෙහි ද, මහග්ගත සිත් විසිහතෙහි ද, ලොකොත්තර සිත් අටෙහි ද යෙදෙන්නේය. නුව ණින් යෙදී දාන ශීලාදී සියලුම පින්කම් කරන කල්හි ඇතිවන කාමා වචර කුසල් සිත්හි මේ ඤාණය යෙදෙන්නේ ය. එමෙන් ම නිරවද්‍ය ශාස්ත්‍රාදිය ඉගෙන ගන්නාකල්හි ද, මෙනෙහි කරන කල්හි ද නුවණ යෙදෙන්නේ ය. මෙකී ලෞකික ශාස්ත්‍රඥානය ද තමාගේ හෝ අනුන්ගේ අයහපත සඳහා යොදවන කල්හි කුසල් සිත් ඇති නොවන්නේය. ඇතැම් පුද්ගලයෝ දස අකුසල් ආදිය කරන කල්හි ඉතා තීක්ෂණ බුද්ධියකින් මෙන් නොයෙක් උපක්‍රම යොදා සත්ත්ව ඝාතනය, අදත්තාදානය, මුසාවාදය, සම්ඵප්පලාපය, ආදිය කරන්නේය. එය ඤාණය නොව අකුසල් කිරීමෙහි දක්ෂ බව, ශූර බව, දැක්වීමය. කුසල් සිතකින් යහපතක් මිස අයහපතක් කිසි විටෙක සිදු නොවන්නේ ය. යහපත යහපත වශයෙන් ද, අයහපත අයහපත වශයෙන් ද, සත්‍යය සත්‍යය වශයෙන් ද අසත්‍යය අසත්‍යය වශයෙන්ද දැනීම ඥානය නම්. එමෙන්ම කුසලය, අකුසලය, කර්මය, කර්ම විපාකය, අතීතය, අනාගතය, එසේම ඉපැද්මට, පැවැත්මට නැවැත්මට හේතු, හේතූන් නිසා ඇතිවන ඵල යනාදිය දැනීම, නුවණින්ම දත යුතු වේ. මෙසේ ඇති තතු දන්නා පුද්ගලයා අකුසලින් වැළකී කුසල් ම කරන්නේ ය. යම් අකුසලයක් කරන්නේ නම්, එකල් හි ඇති තතු නොදැනීමෙන්, නොවැටහීමෙන්, මුළාවී මෙන්ම කරන්නේ වේ. එබැවින් අකුසල පක්ෂයෙහි යෙදෙන දක්ෂභාවය, සූරභාවය, ඥානය යයි වරදවා නොගත යුතුයි. ශාස්ත්‍ර ඥානය අතින් ඉතා දියුණු පුද්ගලයන් අතර මිථ්‍යා දෘෂ්ටිකයෝ බොහෝ දෙනෙකි. මිථ්‍යාදෘෂ්ටිය හෙවත් වැරැදි දැකීමත් සමඟ කුසල් සිත් කිසි කලෙක හටනොගන්නේය. සම්‍යග් දෘෂ්ටිය නොවූයේ වී නමුත්, මිථ්‍යාදෘෂ්ටියෙන් වෙන්ව දන් දීම, ගිලන් උපස්ථානාදි යහපත් කටයුතු කරණ කල්හි ඤාණවිප්‍රයුක්ත කුසල් සිත් ඇතිවිය හැකිය. ඤාණසම්ප්‍රයුක්ත කුසල් සිත්හි යෙදෙන ඥානය වනාහී සද්ධා සති, හිරි, ඔතප් ආදී කොට ඇති දහනවයක් සොභන සාධාරණ චෛතසිකයන් පිරිවර කොට ඇති, අනර්ථය වළක්වා අර්ථයම සළසන යහපත් වූ සොභන චෛතසිකයකි.