විරති චෛතසික
සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යයි විරති ධර්ම තිදෙනෙකි. විරතිය වනාහි පාපයෙන් වැළකීම, ප්‍රාණ ඝාතාදි දුෂ්චරිතයන්ගෙන් වැළකෙන ස්වභාවය, දුෂ්චරිතයන්ගෙන් වැළකීමට සත්ත්වයාහට උපකාරවන්නා වූ ස්වභාවය ද ලක්ෂණ කොට ඇත්තේය.
විරවිතබ්බ වස්තු හෙවත් වැළකිය යුතු වස්තු සතකි. එනම් මුසාවාද, පිසුණාවාච, ඵරුසාවාච, සම්ඵප්පලාප, ප්‍රාණඝාත අදත්තාදාන, කාමමිථ්‍යාචාරය යන සතය. මෙයින් මුසාවාද, පිසුණාවාච, ඵරුසාවාච සම්ඵප්පලාප යන සතර, වාග්දුෂ්චරිතයෝ වෙති. ප්‍රාණඝාත අදත්තාදාන, කාමමිථ්‍යාචාර යන තුන කායදුෂ්චරිත යෝයි. සප්ත දුෂ්චරිත සඞ්ඛ්‍යාත විරවිතබ්බ වස්තූන්ගෙන් වළක්නා හෙයින් විරති නම් වෙත්. විරවිතව්ය වස්තූන්ගෙන් වැළැක්මක් නැති කල්හි විරති නොවන බව සැළැකිය යුතුයි. යහපත් වචන කීම, යහපත් කර්මාන්ත කිරීම, යහපත් වෙළඳාම් ආදිය කිරීම ඒකාන්ත විරති සඞ්ඛ්‍යාවට නොගැණෙන්නේය.
සම්මාවාචා විරතිය (20)
ආජීව හේතු අපෙක්ෂා නොකොට, මුසාවාද, පිසුනාවාචා, ඵරුසා- වාචා, සම්ඵප්පලාප යන සතර වාග්දුශ්චරිතයන්ගෙන් වැළකී ම හෝ, වළක්නා ස්වභාවය හෝ, වැළකීමට උපකාරවන ස්වභාවය හෝ සම්මාවාචා විරති නමි. සතර වාග්දුශ්චරිතයන්හි යෙදෙන්නා වූ පුද්ගලයාහට මෙලොවදීම රාජ්යපාලකයන්ගෙන් හා ශිෂ්ඨ ජනසමාජ යෙන්ද ඇතිවන නින්දා, අපභාස, හිරිහැර, කරදර, දඬුවම් ආදිය ද, පරලොව දී ඇතිවන අපාය භය ආදිය සළකන්නා වූ පුරුෂතෙමේ, මෙසේ බහිද්ධ සන්තානය අපේක්ෂා කිරීම් වශයෙන් වාග්දුශ්චරිතයන්ගෙන් වළකින්නේ ය. මෙසේ සතර විරවිතව්ය වස්තූන්ගෙන් වැළකීමක් නැතිව යහපත් වචන කීම, දහම් පත් පොත් කියවීම, අනුන්ගේ ගුණ කථනය කිරීම යන ආදිය, පුණ්‍යක්‍රියාවන් වූ නමුත් එකාන්ත විරති නොවන්නේ ය. එයට වොහාරසම්මාවාචා යයි ද කථා සම්මාවාචා යයි ද කියනු ලැබේ. යහපත් වචන කීමේ දී ඇතිවන කුසල් සිත්හි යෙදෙන චෛතනාවට චෛතනා සම්මාවාචා යයි කියති. මේ දෙකම විරති නොවන්නේ ය. විරතියක් වූ මේ සම්මාවාචා චෛතසිකය ශීලයට ඇතුළත්වන ධර්මයකි. සිල් රැකීමේ දී වාග්දුශ්චරිතයන්ගෙන් වළකින බව මෙනෙහිකරන්නා වූ මහා කුසල් සිත්හි පමණක් මේ චෛතසිකය යෙදෙන්නේ ය. ලොකොත්තර චිත්තයන්හි මේ විරති සම්මාවාචා චෛතසිකය යෙදෙන්නේ මාර්ගාඞ්ගයක් වශයෙනි.
සම්මාකම්මන්ත විරතිය (21)
ආජීව හේතු අපෙක්ෂා නොකොට, ප්‍රාණඝාතය, අදත්තාදානය කාමමිථ්‍යාචාරය යන ත්‍රිවිධ කාය දුශ්චරිත නම් වූ විරවිතව්ය වස්තූන්ගෙන් වැළකෙනු පිණිස, ශික්ෂා පද සමාදන් වන්නා වූ හෝ අධිෂ්ඨාන කරගන්නා වූ හෝ පුද්ගලයාගේ කාය දුශ්චරිතයෙන් වළක්නා වූ හෝ වළක්නා ස්වභාවය හෝ, වැළකීම හෝ සම්මාකම්මන්ත විරති නම් වේ. යහපත් කායික ක්‍රියා කරණ කල්හි විරවිතව්ය වස්තූන්ගෙන් වැළකීමක් නොවන හෙයින් සම්මාකම්මන්ත විරතිය නොවන්නේ ය. නිවැරදියහපත් කර්මාන්ත කිරීමට වොහාර සම්මා- කම්මන්තය හෙවත් ක්රියාසම්මාකම්මන්තය යයි කියති. එසේ කිරීමේ දී ඇතිවන චෙතනාව, චෙතනා සම්මාකම්මන්ත නමි. විරතිය ඇතිවන්නේ කාය දුශ්චරිතයන්ගෙන් වළකින කල්හි පමණය. මෙය ද ශීලමය පුණ්‍යකර්මයට ඇතුළත් වේ. ලොකොත්තර සිත්හි මේ සම්මාකම්මන්ත විරති චෛතසිකය යෙදෙන්නේ මාර්ගාඞ්ගයක් වශයෙනි. මෙලොව පරලොව දුක්ඛයන්ට භය වී බහිද්ධ සන්තානය අපේක්ෂා කරමින් මේ සම්මාකම්මන්ත චෛතසිකයේ උපකාරයෙන් ත්‍රිවිධ කාය දුශ්චරිතයන්ගෙන් වළ කින්නේ ය.
සම්මා ආජීවය (22)
පව් කරන්නන් අතර ජීවිකාව පිණිස පව් කරන්නෝ ද වෙති. ජීවිකාව සඳහා හෙවත් ආජීව හේතු අපේක්ෂාකොට සප්තවිධ විරමිතව්ය වස්තූන්ගෙන් වැළකීම හෙවත් සතර වාග්දුශ්චරිතයෙන් හා ත්‍රිවිධ කාය දුශ්චරිතයෙන් ද වළක්නා ස්වභාවය හෝ වැළකීමට උපකාර ධර්මය හෝ සම්මා ආජීව නම් වේ. මෙය අධ්‍යාත්ම සන් තානය අපේක්ෂා කොට අකුසලින් හෙවත් සප්තවිධ දුශ්චරිතයන් ගෙන් වළකින්නේ ය. ස්වභාවයෙන් ම නිවැරදි වූ යහපත් වෙළඳාම් ආදී වූ කර්මාන්ත කිරීම් වශයෙන් ඇතිවන නිවැරදි ජීවිකාව මේ විරති සම්මා ආජීවය නොවේ. ආජීව පාරිශුද්ධ ශීලය ආදී වශයෙන් ශීලමය පුණ්‍යකර්මය වන්නේ, සප්තවිධ දුශ්චරිතයන් ගෙන් වැළකී නොහොත් මිථ්‍යා ආජීවයෙන් වෙන්ව යහපත් ජීවි කාවක් කරන කල්හි ය.
තම ජීවිකාව පිණිස ලාභ සත්කාර ලබා ගැනීමේ අදහසින් තමා තුළ නැති ශීලාදී උතුම් ගුණ දහම් ඇතැයි හැඟවීම, බොරු කියා අනුන් රවටා, වංචා කොට ලාභ ලැබීම, අනුන් කෙරෙහි නැති ගුණ වර්ණනාකොට ප්‍රයෝගයෙන් ඔවුන් සතුටු කරවා ප්‍රයෝජනය ලබා ගැනීම, තමා තුළ ස්වභාවයෙන් නැති ශාන්ත ඉරියව් ආදිය අනුන් ඉදිරියෙහි පවත්වා සිල්වතෙක, ගුණවතෙක, සමාධි ඇත් තෙක, ධ්‍යාන මාර්ගඵලාදි උත්තරී මනුෂ්‍ය ධර්ම ඇත්තෙක, යනාදී වශයෙන් අනුන් රවටා ප්‍රයෝජනය ලැබීම යනාදිය මිථ්‍යා ආජීවය බව සැලකිය යුතුයි. අමාරුවට පත් කෙනෙකු දැක ඔහුගේ ඉඩ කඩම් පසුව අත් පත් කර ගැනීමේ අදහසින් ඔහුට මිල මුදල් දී සත්කාර කොට අයුතු පොලී එකතු කොට, ඔහුට එය ගෙවාගත නො හැකි කල්හි එය තමා සතු කර ගැනීම ආදිය ද, තමාට ඇති වන සුළු ලාභයක් නිසා අනුන් අන්තරාවට පත් කිරීම් යනා දී නොයෙක් අධම ක්‍රියාවන් ද මිථ්‍යා ආජීව නම් වන්නේ ය. මෙවැනි ජීවිකා වන්ගේ දෙස් දැක මිථ්‍යා ආජීවයෙන් වෙන්ව යහපත් ජීවිකාව කරන කල්හි මේ සම්මා ආජීව විරතිය ලැබෙන්නේ ය.
තවද ආජීව හේතු අපේක්ෂා කොට ගෙන උපසම්පන්න භික්ෂූන්ට පණවා වදාළ සැවැදෑරුම් ශික්ෂාපද නම් වූ, පාරාජිකාවය, සංඝාදිසේසය, ථුල්ලච්චය, පාවිත්තිය, පාටිදෙසනීය, දුක්කටය යන ශික්ෂාපදයන් ව්‍යතික්‍රමණය කිරීම හෙවත් කඩ කිරීම් වශයෙන් කුහන, ලපන, නෙමිත්තකතා නිප්පෙසිකතා, ලාභෙනලාභං නිජිගිංස නතා දී පාප ධර්මයන්ගේ වශයෙන් ද පවත්නා වූ මිථ්‍යා ආජීවයෙන් වැළැක්මේදී ආජීව පාරිශුද්ධ ශීලය වශයෙන් මේ සම්මා ආජීව විරති චෛතසිකය කුසල් සිත්හි යෙදෙන්නේ ය. ආජීවට්ඨමක සීල සමා දානයෙහි ද මේ විරති ත්‍රය ලැබෙන්නේ ය.
දශපුණ්‍ය ක්‍රියාවන් අතුරෙන් ශීලමය පුණ්‍ය කර්මය කරන කල්හි පමණක් කාමාවචර කුසල චිත්තයෙහි මේ විරතීහු යෙදෙති. කාමාවචර විපාක ක්‍රියා සිත්හි ද, මහග්ගත සිත්හි ද, සීලය නොයෙදෙන බැවින් විරතීහු නො ලැබෙති. කාමාවචර සිත්හි ලැබෙන විරතීහු, අවිද්‍යාප්‍රත්‍යයෙන් ලැබෙන්නා වූ කුසල සංස්කාර යන්ට උපකාර වෙති. ඒ පටිච්චසමුප්පාද චක්‍රයේ අඞ්ගයක් හෙවත් මතු සංසාරයෙහි ඉපදීමට හේතුහු වෙති. මාර්ග චිත්තයෙහි මාර්ගාඞ්ග වශයෙන් ලැබෙන්නා වූ විරතිත්රය, පටිච්චසමුප්පාද ක්‍රමයෙන් බැහැර යාමට හේතු වූ නෛර්ය්යාණිකාඞ්ගයන්ගෙන් යුක්ත වූ මාර්‍ගාඞ්ගයෝ වෙති. මෙසේ කාමාවචර විරතීහු, ලොකොත්තර විරතීන්ට අසමාන වන්නේ වී නමුත් ලොකොත්තර විරතීන් ගේ ලැබීමට ඒකාන්ත යෙන් ම උපනිශ්‍රය වන්නේ ය.
මේ විරතීහු තුන් ආකාරයෙකින් පහළවෙත් එනම්: සම්පත්ත විරතිය, සමාදාන විරතිය, සමුච්ඡේද විරතිය යන තුන් ආකාරයයි.
ශික්ෂාපද සමාදානයක් නැතිව, වරදක් කිරීමට අවස්ථා පැමිණි කල්හි, තමාගේ තත්වය, වයස, කුලය, උගත්කමය, පාපය යනාදිය සළකා වරදින් වැළකීම සම්පත්ත විරතිය නම්. චක්කණ නම් එක්තරා පුද්ගලයෙකුගේ මහළු මව් රොගාතුර වී වෙදකු කැඳවා පරික්ෂා කරවා, රොගයට ප්‍රතිකාර පිණිස සාලෙයින් ඖෂධයක් තනාදිය යුතු බව සැළකෙළෙන්, චක්කණ තෙමේ වනයට ගොස් උගුල් අටවා පැටවුන් සහිත වූ සාදෙනක් එයට අසු වූ බව දැක, ලඟටවිත් සාදෙන පිරිවරා සිටි කුඩා සා පැටවුන් දැක, අනුකම්පාව උපදවා මගේ මව් මළහොත් අපට වන දුකට සමාන දුකක් මේ සාදෙන මැරීමෙන්, සා පැටවුන්ට ඒකාන්තයෙන්ම ඇති වේයයි සංවේගය උපදවා, සාදෙන මුදවා වනයට යවා තම ගෙට ආපසු ගොස් මෙපවත් තම සොහොයුරුට කී කල්හි ඔහු විසින් තර්ජනය කරන ලදින්, මව් සමීපයට ගොස් පැටවුන් සහිත වූ සාදෙනගේ ජීවිත දානය දුන් සැටි කියා එම සත්‍යය කරණකොට ගෙණ මෑනියන්ගේ රොගය සංසිඳේවායි සත්‍යක්‍රියා කිරීමත් සමඟම මව්ගේ රොගය සුවවීය. කලින් සමාදානයක් නොවී අවස්ථාව පැමිණි කල්හි ප්‍රාණඝාත අකුස ලින් මිදූනු ඒ පුරුෂයාගේ විරතිය සම්පත්ත විරතිය නම් වේ.
ශික්ෂාපද සමාදන්වූ කෙනෙකු වරදක් කිරීමට අවස්ථා පැමිණි කල්හි ඔහු විසින් සමාදන් වන ලද ශික්ෂාපද ගැන සිතා ජීවිතය නැති වුවත්, ශික්ෂාපද කඩ නොකරන්නෙමි යි තරයේ අධිෂ්ඨාන කොට පාපයෙන් වැළකීම සමාදාන විරති නම්. එක්තරා පුරුෂයෙක් පන්සිල් සමාදන්ව, දරකැපීම සඳහා පොරවක් රැගෙන වනයට යන්නේ, මගදී මහා පිඹුරෙක් ඔහු වෙලාගත් කල පොරොවෙන් කපා පිඹුරා නසන්නට සිතා, නැවත සිතනුයේ මා විසින් සමාදන් වන ලද ශික්ෂාපද බිඳුනේ වී නම් නපුරෙක, ජීවිතය නැතිවුවත් ශික්ෂාපද බිඳීම නුසුදුසුය යනාදීන් තුන්වරෙකම සිතා, මේ පොරව අත තිබෙන තෙක් පිඹුරා මැරීමට අදහස් වන බැවින් පොරොව ඉවත දමාලූ කල්හි, පිඹුරාද වෙළුම හැර වනයටම ගියේය. සමාදන්වූ ශික්ෂාපද ඇති හෙයින් ශීල භේදයට භයින්, මෙසේ ජීවිතය පුදා ප්‍රාණඝාතයෙන් වැළකී සිටි අවස්ථාවේ මොහුට ඇති වූ විරතිය සමාදාන විරතියකි.
ආර්‍ය්‍ය මාර්ග ඥානයෙන් නැවත හටනොගන්නා ආකාරයෙන් සමුච්ඡේද වශයෙන් කෙලෙස් නසා, ප්‍රාණඝාතාදි පාප ධර්මයන් ගෙන් වැළකීම සමුච්ඡේද විරති නම් වේ. සද්ධාතිස්ස නම් රජු විසින් සෝවාන්වූ තිස්ස නම් අරක්කැමියාහට කුකුළෙක් යවා ඉදින් තා කුකුළා නොමරන්නේ නම් වධකයන් ලවා තාගේ හිස සිඳවා ලන්නෙමියි නියෝග ලත් කල්හි, කුකුළා නොමරා තමා වධයට පැමිණීම ඉවසන්නේ යයි කියා වධකයන් සමඟ ගොස් ගෙල සිඳිනා තෙක් බලා සිටියේය. තමාගේ ජීවිතය හානිවූයේ නමුදු ප්‍රාණඝාතාදී සප්තවිධ දුශ්චරිතයන් නොකරන්නාවූ ආර්‍ය්‍ය පුද්ගලයාගේ විරතිය සමුච්ඡේද විරති නම් වේ.
සම්මාවාචා, සම්මාආජීව, යන විරති දෙක දැක්වීමට ද උපමාවක් දක්වනු ලැබේ. අන්සතු කෙතක් අඳයට ලබා ගත් එක්තරා පුරුෂ යෙක්, පසු කලෙක දී එම කෙත තමන් සතු කර ගැනීමේ අදහසින් කෙත හිමියාහට දිය යුතු සස්‍ය නොදී සිටි කල්හි කෙත හිමියා අධිකරණයට පැමිණිලි කෙළේය. එවිට වංචා කරුණු කැමැති පුද්ගලයා නීතිඥයෙකු වෙත පැමිණ පඬුරු දී කෙත හිමිකර දෙන ලෙස අයැද සිටියේය. නීතිඥ තුමා ද එය පිළිගෙන නැවත සිතනුයේ, බොරු කියා අන්සතු වස්තුවක් අහිමියෙකුට හිමිකර දීම මුසාවාද අකුසලයක් බැවින් ඒකාන්තයෙන්ම අපා දුක් විඳිමට සිදුවන්නේයයි සිතා පඬුරු ආපසු දී, මුසාවාද අකුසලයෙන් වැළකුණේය. මෙසේ වැළකීමේදී ඇතිවන කුසල් සිතෙහි සම්මාවාචා විරතිය ලැබෙන්නේ ය. නැවත මේ නීතිඥයා මෙසේ ද සිතන්නේ ය. බොරු කියා මෙසේ මුදල් උපයා ජීවත්වීම මහත් වරදෙකි. ඒ වැරැදි ජීවිකාව නිසා බොහෝ කලක් අපා දුක් විඳිමට ද සිදු වනවා ඇත. එබැවින් මා විසින් මිථ්‍යා ආජීවයෙන් වැළකිය යුතුයයි සිතා ප්‍රතික්ෂේප කරන්නේය. මෙසේ වළක්නා කල්හි ඒ කුසල් සිතෙහි යෙදෙන්නේ සම්මා ආජීව විරති යයි.