අභිධර්මාර්ථ ප්‍රදීපිකා

3. දිට්ඨි විසුද්ධිය

නාම-රූප ධර්‍මයන්ගේ යථාවදර්‍ශනය හෙවත් ඇති සැටි දැකීම දිට්ඨි විසුද්ධි නම් වේ.

දිට්ඨි විසුද්ධිය ලබන පුද්ගලයෝ දෙදෙනෙකි. එනම්:-

  1. සමථයානිකයා - අරූප මුඛයෙන් විදර්‍ශනාවට බැසගනී.
  2. ශුඛ විදර්‍ශනායානිකයා - රූප මුඛයෙන් විදර්‍ශනාවට බැසගනී.

උපචාරධ්‍යාන සහිත වූ අෂ්ට සමාපත්තියෙහි පිහිටා විදර්‍ශනා වඩනු කැමැති සමථයානික යෝගාවචර තෙම පළමු කොට නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානය හැර සෙසු රූපාවචර-අරූපාවචර ධ්‍යානයන් අතුරෙන් යම් කිසි ධ්‍යානයකට සමවැද, එයින් නැගී, ඒ ධ්‍යානයෙහි අන්තර්‍ගත විතර්‍කාදී ඒ ඒ ධ්‍යානාඞ්ග හා ඒ හා සම්ප්‍රයුක්ත වූ ඵස්සාදී ධර්‍මයන් ද, ඔවුන්ගේ ලක්‍ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන වශයෙන් පිරිසිඳ දත යුතු. මෙසේ පිරිසිඳ දැන, ඒ සියලුම ධ්‍යානාඞ්ග හා සම්ප්‍රයුක්ත ධර්‍මයන් ද අරමුණට අභිමුඛව නැමෙන නාම යයි ව්‍යවස්ථා කට යුතු.

ඉක්බිති, යම්සේ පුරුෂයෙක් ඇතුළු ගෙයි සර්‍පයෙකු දැක ලුහුබැඳයන්නේ සර්‍පයාගේ වාසස්ථානය දක්නේ වේ ද, එ පරිද්දෙන් ම මේ යෝගාවචර තෙම ඒ නාමය නුවණින් පරික්‍ෂා කරනුයේ, කුමක් ඇසුරු කොට පවත්නේ දැයි නැවත නැවත සොයනුයේ, එයට නිශ්‍රයස්ථාන වූ හෙවත් වස්තු වූ හෘදය රූපය දකී. ඉක්බිති ඒ හෘදය රූපයට නිශ්‍රය වූ සතර මහා භූතයන් ද, ඒ සතර මහා භූතයන් නිශ්‍රයකොට ගෙන පවත්නා සෙසු උපාදාය රූපයන් ද, රුප්පනය වන හෙයින් රූපය යයි ව්‍යවස්ථා කට යුතු. මෙසේ අරමුණට නැමෙන ලක්‍ෂණය ඇති හෙයින් නාමය යයි ද, විකාරයට පැමිණීම හෙවත් රූප්පන ලක්‍ෂණය ඇති හෙයින් රූපය යයි සැකෙවින් නාම-රූප යන් ව්‍යවස්ථා කරන්නේ ය.