2. අටලොස් ධාතු වශයෙන් පරිග්‍රහ කිරීම
මේ ශාසනයෙහි ඇතැම් මහණ කෙනෙක්, මේ ආත්ම භාවයෙහි චක්ඛු ධාතු, සෝත ධාතු, ඝාණ ධාතු, ජිව්හා ධාතු, කාය ධාතු, ඇතැයි ආවර්ජනා කොට, ලෝකයා විසින්, සුදු, කලු, මණ්ඩලයෙන් විසිතුරු වූ දිග-පුළුල් ඇස්වළෙහි නහර හුයින් බඳනා ලද මස්පිඬුව චක්ෂුස යයි හඳුනා ද, එය නොගෙන යට රූප නිර්‍දෙශයෙහි දක්වන ලද පරිදි උපාදාය රූපයන්ට ඇතුළත් වූ චක්ෂු ප්‍රසාද රූපය, චක්ඛු ධාතුව යයි ව්‍යවස්ථා කෙරේ.
එයට නිශ්‍රය වූ පඨවි, ආපො, තෙජො, වායො යන සතර මහා භූතයෝ ද, එහි පිරිවර වූ වණ්ණ, ගන්ධ, රස, ඕජා යන සතර රූපයෝ ද අනුපාලක ජීවිතින්ද්රිය රූපය දැයි මේ සහජාත රූප නවය ද, එහි ම පිහිටි කාය දසකය ද, භාව දසකය ද යනාදී වශයෙන් විසි කර්මජ රූපයෙන් ද ආහාර, ඍතු, චිත්ත යන ත්‍රිවිධ සමුට්ඨාන වශයෙන් ඕජට්ඨමක තුන බැගින් සූවිසි අනුපාදින්නක රූප දැයි මෙසේ චක්ෂු ප්‍රසාද රූපය හැර සෙසු තෙපනස් රූපයෝ (9+20+24=53) චක්ඛු ධාතුව නො වේ යයි ද ව්‍යවස්ථා කෙරේ.
සෝත ධාතු ආදියෙහි මේ ක්‍රමයෙන් සෝත ප්‍රසාද රූපය සෝත ධාතු යයි ද එයට නිශ්‍රය වූ අවශේෂ තෙපනස් රූපයෝ සෝත ධාතු නොවේ යයි ද, ඝාණ ප්‍රසාද රූපය, ඝාණ ධාතුව යයි ද එයට නිශ්‍රය වූ අවශේෂ තෙපනස් රූපයෝ ඝාණ ධාතු නොවේ යයි ද, ජිහ්වා රූපය ජිව්හා ධාතුව යයි ද එයට නිශ්‍රය වූ අවශේෂ තෙපනස් රූපයෝ ජිව්හා ධාතු නොවේ යයි ද, කාය ප්‍රසාද රූපය, කාය ධාතු යයි ද, එයට නිශ්‍රය වූ සහජාත රූප නවය භාවදසකය, ආහාරාදී ත්රිසමුට්ඨාන ඕජාට්ඨමක රූප වශයෙන් සූවිසි රූප දැයි (9+10+24=43) තෙසාළිස් රූපයෝ කාය ධාතු නොවෙති යි ද ව්‍යවස්ථා කෙරේ.
මෙසේ පඤ්චප්රසාදයන් හා පඤ්ච ගොවර රූප වූ රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ඨබ්බ ධාතු යයි ද දස ධාතු කෙනෙක් වෙති. සෙසු සුඛුම රූපයෝ ධම්ම ධාතු නම්.
“චක්ඛුං නිස්සායං රූපං ආරබ්භ පවත්තං චිත්තං චක්ඛු විඤ්ඤාණ ධාතු නාම” යනුවෙන් චක්ෂු ප්‍රසාදය නිසා රූපය අරමුණු කොට පැවැති සිත චක්ඛු විඤ්ඤාණ ධාතු නම් වේ. මෙසේ ද්විපඤ්ච විඤ්ඤාණයෝ පඤ්ච විඤ්ඤාණ ධාතූහු වෙති.
මනොධාතුත්රය හෙවත් පඤ්චද්වාරාවර්ජනය සහ සම්පටිච්ඡනද්වය එකම මනොධාතු නම්.
සෙසු අටසැටක් (68) මනොවිඤ්ඤාණ ධාතු චිත්තයෝ මනොවිඤ්ඤාණ ධාතු නම්.
මෙසේ සියලුම එක්අසූ (81) ලෞකික චිත්තයෝ සප්ත විඤ්ඤාණ ධාතු නම් වෙත්.
මේ එක් අසූ චිත්තයන්හි සම්ප්‍රයුක්ත එස්සාදි චෛතසික ධර්මයෝ ධම්ම ධාතු නම් වෙත්.
මෙසේ චක්ෂුරාදි පස හා රූපාදි පස යන සම්පූර්ණ රූප දසය ද ධම්ම ධාතුවට අයත් ධර්මයන් අතුරෙන් සොළොස් සුඛුම රූප ද ගෙන අඩ එකොළොස් (10½) ධාතූහු රූප යයි ව්‍යවස්ථා කෙරේ.
පඤ්ච විඤ්ඤාණ ධාතු, මනො ධාතු, මනො විඤ්ඤාණ ධාතු යන ධාතු සත (7) හා ධම්ම ධාතුවට අයත් ධර්මයන් අතුරෙන් දෙපනස් (52) චෛතසික හා නිර්වාණය යයි අඩ්ඪට්ඨම (7½ ක්) නාම ධාතූහු නාම ධර්මයො යයි ව්‍යවස්ථා කෙරේ.
මෙසේ අඩක් අඩු එකොළොසක් (10½) රූප ධාතු හා අඩක් අඩු අටක් (7½) නාම ධාතු දැයි, අටළොස් (18) ධාතූහු වශයෙන් නාම රූප විනිශ්චය කෙරේ.