අභිධර්මාර්ථ ප්‍රදීපිකා

3. ද්වාදසායතන වශයෙන් පරිග්‍රහ කිරීම

යට කී පරිදි චක්‍ෂු ධාතුව නිශ්‍රය කොට ඇති තෙපනස් ධර්මයන් හැර චක්‍ෂු ප්‍රසාද මාත්‍රය ම චක්ඛායතන නම් වේ. මෙසේ සොතප්‍රසාදය, සොතායතනය යයි ද, ඝාණප්‍රසාදය, ඝාණායතන යයි ද, ජිව්හාප්‍රසාදය, ජිව්හායතනය යයි ද, කාය ප්‍රසාදය, කායායතනය යයි ද, ඔවුන්ට විෂය වූ රූප, ශබ්ද, ගන්‍ධ, රස, පොට්ඨබ්බ යන පස රූපායතන, ශබ්දායතන, ගන්‍ධායතන, රසායතන, පොට්ඨබ්බායතන යයි ද, මෙසේ ආයතන දසයක් ද, ලෞකික වූ සප්ත විඤ්ඤාණ ධාතුහු මනායතන යයි ද, ඒ සිත් හා සම්ප්‍රයුක්ත ධර්මයෝ ද සෙසු රූපයන් ද එක්කොට ගෙන ධම්මායතන යයි ද, මෙසේ දොළොස් ආයතන කෙනෙක් වෙති. එයින් චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය, රූප, ශබ්ද, ගන්‍ධ, රස, පොට්ඨබ්බ යන දස ආයතනයන් හා ධම්මායතනයට අයත් සූක්‍ෂම රූපයෝ දැයි අඩ එකොළොස් (10½) ආයතන කෙනෙක් රූප යයි ද මනායතනයත් ධම්මායතනයට ඇතුළත් සම්ප්‍රයුක්ත ධර්මත් යන අඩක් සහිත වූ එක් (1½) නාම යයි ද, මෙසේ දොළොස් ආයතනයන්ගේ වශයෙන් නාම-රූප ධර්ම විනිශ්චය කෙරේ.