5. සංක්ෂෙප වශයෙන් නාම රූප පරිග්‍රහ කිරීම
රුප්පන ලක්ෂණයෙන් යුත් සියලු පඨවි, ආපො, තෙජො, වායො යන සතරමහා භූතරූප ද, ඒ භූත රූප ඇසුරු කොට පවත්නා සෙසු සූවිසි (24) උපාදා රූප ද යන මේ ආත්මභාවයෙහි ලැබෙන සියලු ම රූප සමූහය රූප යයි ද, මනායතන සහ ධර්මායතනයෙහි එක දෙශයක් වූ චෛතසික දෙපනස (52) හා විඤ්ඤාණය ද, නාම යයි ද ඉගෙන මේ නාමය ද, මේ රූපය ද, නාම- රූප යයි සැකෙවින් නාම-රූප ව්‍යවස්ථා කෙරේ.
ඉදින්, එසේ ඒ ඒ මුඛයෙන් රූප පරිග්‍රහ කොට, අරූප පරිග්‍රහ කරන ඒ යොගීහට, ඉතා සියුම් හෙයින් අරූපය මනාව නොවැටහේ ද, එහෙයින් ම වීර්‍ය්‍යය අත් නොහැර රූපය ම නැවත නැවත මෙනෙහි කළ යුතු. නුවණින් විමසිය යුතු. පිරිසිඳ දත යුතු. විනිශ්චය කළ යුතු.
යම් යම් පරිද්දෙකින් ඕහට රූපය මනාකොට, නිරවුල් ව පිරිසුදු ව වැටහේ නම් ඒ ඒ පරිද්දෙන් ම ඒ රූපය අරමුණු කොට පවත්නා නාම ධර්මයෝ ද ප්‍රකට වෙත්.
අපිරිසුදු කැඩපතකින් මුහුණ බලන්නාහට මුහුණ නො පෙනෙන්නේ නම්, එය ඉවත නො දමා, කැඩපත නැවත නැවත පිරිසුදු කොට මුහුණ බලන කල, ඒ කැඩපත පිරිසුදු හෙයින් මුහුණ හෙවත් මුඛ නිමිත්ත තෙමේ ම ප්‍රකට වේ.
තලතෙල් ලබා ගැනීම පිණිස තලපිටි බඳුනක දමා දිය ඉස වරක් දෙකක් මිරිකීමෙන් තෙල් නො ලැබුණු පමණින් එය ඉවත නො දමා, නැවත, නැවත ද උණුදිය ඉස මඩින කල ඔහුට තලතෙල් ලැබේ.
ජලය පිරිසුදු කරනු කැමැති පුද්ගල තෙම ඉගිනි ඇට ගෙන කළය තුළ අත බහා වරක් දෙකක් ගැටූ පමණින් ජලය පිරිසුදු නො වේ යයි කියා ඉගිනි ඇට ඉවත නො දමා නැවත නැවත ගැටෙන කල තුනී මඩ යටට බැස ජලය මනාව පැහැදීමෙන් ඔහුට පිරිසුදු ජලය ලැබේ.
එ පරිද්දෙන් යෝගාවචරයා විසින් ද භාවනාව අත් නොහැර, වීර්‍ය්‍යය අඩු නො කොට රූපය ම නැවත නැවත සම්මර්ශනය කට යුතු, මෙනෙහි කට යුතු, පරිග්‍රහ කට යුතු. විනිශ්චය කට යුතු.
මෙසේ රූපය යම් පරිද්දෙකින් මනා ව, ප්‍රසන්න ව, නිරවුල් ව, පිරිසුදු ව වැටහේ නම් එ පරිද්දෙන් ම මඩ මතුයෙහි ජලය පිරිසුදු වන්නාසේ, ඒ අරූප ධර්ම සම්මර්ශනය කරන්නා වූ ඥානයට ප්රතිපක්ෂ වූ ක්ලේශයෝ යටට බසිත්, සිත ප්‍රසන්න වේ. ඒ රූප ධර්මයන් අරමුණු කොට ඇති අරූප ධර්මයෝ තුමූ ම ප්‍රකට වෙත්.
පිරිසුදු කොට රූප පරිග්‍රහය කළ යෝගාවචරයාහට අරූප ධර්මයන් තුන් ආකාරයෙකින් වැටහෙත්. එනම්:-
- ස්පර්ශ වශයෙන්
- වේදනා වශයෙන්
- විඥාන වශයෙන්
1. පඨවි ධාතුව - කර්කශ බව ලක්ෂණ කොට ඇත්තේ ය. යනාදි වශයෙන් ධාතූන් පරිග්‍රහ කරන්නාවූ යෝගාවචරයාහට ඇතැම් විට ස්පර්ශය පළමු කොට අරමුණු වේ. ඒ ස්පර්ශ සම්ප්‍රයුක්ත වේදනාව, වේදනා ස්කන්ධය ය, සංඥාව සංඥාස්කන්ධය ය, ඵස්සය ඇතුළු වූ චේතනාදී චෛතසික සමූහය සංස්කාරස්කන්ධය ය, සිත විඥානස්කන්ධය යයි වැටහේ.
එසේම කේශයෙහි කර්කශ බව පඨවි ධාතුය, ලොම යෙහි කර්කශ බව ද පඨවි ධාතුය යනාදි වශයෙන් සියලු කොටස්හි ම කර්කශ බව පඨවි ධාතු යයි ගෙන එම අරමුණෙහි පළමුව පතිතවූයේ ස්පර්ශය ය. ඒ හා යෙදුණ වේදනාව, වේදනාස්කන්ධය ය, සංඥාව සංඥාස්කන්ධය ය, ඵස්සය ඇතුළු චේතනා දී චෛතසික සමූහය සංස්කාර ස්කන්ධය ය, සිත විඥානස්කන්ධය ය යනාදී වශයෙන් අරූප ධර්මයන් ස්පර්ශ වශයෙන් වැටහෙත්.
2. අනෙක් යෝගාවචරයෙකුහට පඨවි ධාතුව කර්කශ බව ලක්ෂණ කොට ඇත්තේ ය. ඒ පඨවි ධාතු නම් වූ අරමුණෙහි රස අනුභව කරන වේදනාව, වේදනාස්කන්ධය ය. ඒ හා යෙදෙන සංඥාව, සංඥාස්කන්ධය ය, ඒ හා යෙදෙන ස්පර්ශය හා චෙතනාදී චෛතසිකයෝ සංස්කාරස්කන්ධය ය, සිත විඥානස්කන්ධය යයි වැටහේ.
එසේම කේශාදී කොට්ඨාසයන්හි පඨවි ධාතුව කර්කශ බව ලක්ෂණ කොට ඇත්තේ ය. ඒ අරමුණු කොට ඇති, රසානුභවණය ලක්ෂණ කොට ඇති වේදනාව වේදනාස්කන්ධය ය, සංඥාව සංඥාස්කන්ධය ය, ඵස්සය හා චෙතනාදී සම්ප්‍රයුක්ත ධර්මයෝ සංස්කාරස්කන්ධය ය, සිත විඥානස්කන්ධය ය යයි වැටහේ. මෙසේ වේදනාවශයෙන් අරූප ධර්මයන් වැටහෙත්.
3. අනෙක් යෝගාවචරයෙකුහට පඨවි ධාතුව කර්කශ බව ලක්ෂණ කොට ඇත්තේ ය. ඒ අරමුණු දැනගන්නාවූ විඥානය, විඥානස්කන්ධය ය, ඒ හා සම්ප්‍රයුක්ත වේදනාව වේදනාස්කන්ධය ය, සංඥාව, සංඥාස්කන්ධය ය, ස්පර්ශය සහිත වූ, චෙතනාදී චෛතසික ධර්මයෝ සංස්කාරස්කන්ධය යයි වැටහෙත්. මෙසේ විඥාන වශයෙන් අරූප ධර්මයෝ වැටහෙත්.
මේ ක්‍රමයෙන් ම, කර්මයෙන් හටගන්නා කෙස්හි පඨවි ධාතුව කර්කශ ලක්ෂණය ය යනාදී වශයෙන් සියලු ම දෙසාළිස් ධාතු කොටස්හි සතර සතර ධාතු වශයෙන් සෙසු චක්ඛු ධාතු ආදී රූප පරිග්‍රහ මුඛයන්හි සියලු නය භෙදය අනුව ගොස් අර්ත්ථ යොදා ගත යුතු.
මෙසේ මනා කොට, පිරිසුදු කොට පවත් වන ලද රූප පරිග්‍රහ ඇත්තා වූ යෝගාවචරයාහට ම නාම ධර්මයන් එස්ස, වේදනා, විඥාන යන තුන් ආකාරයෙන් ප්‍රකට වන හෙයින් ඒ එවැනි සුපරිශුද්ධ රූප පරිග්‍රහ ඇත්තහු විසින් ම නාම ධර්මයන්, පරිග්‍රහ කිරීම පිණිස යෝග කට යුතු. එසේ නැත්තකු විසින් යෝග නො කට යුතු.
මේ පරිද්දෙන් යෝගාවචර තෙම, සතර නාමස්කන්‍ධයෝ නාම යයි ද, ඔවුන්ට අරමුණු වූ සතර මහා භූත හා සූවිසි උපාදාය රූපයෝ ද රූප යයි ද මෙසේ නාම-රූප ධර්ම ව්‍යවස්ථා කෙරේ.
මෙසේ අටළොස් ධාතුය, දොළොස් ආයතනය, පඤ්චස්කන්ධය යනාදි වශයෙන් සියලු ත්‍රෛභූමික ධර්මයන් කඩුවකින් සුමුගුවක් විවෘත කරන්නහු මෙන් ද, යමක තල්කඳක් දෙබෑ කොට පළන්නකු මෙන් ද, නාමය ද, රූපය ද දෙපරිද්දෙකින් විනිශ්චය කෙරේ. නාම රූප මාත්‍රයක් මුත් අන්‍ය වූ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ නැතැයි නිෂ්ඨාවට පැමිණේ. යෝගාවචර තෙම ඇති සැටියෙන් නාම-රූප ධර්මයන් නියම කොට දැන සත්ත්වය ය, පුද්ගලය ය යන මුළාව දුරු කරනු පිණිස, නුමුළා බැව්හි සිත පිහිටුවීම පිණිස, අන්‍යවූ බොහෝ සූත්‍ර දේශානුසාරයෙන් ද “මේ ධර්ම ස්වභාවය, නාම-රූප මාත්‍රයක් ම වේ. සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නැත්තේය”යි දැන විනිශ්චය කෙරේ.
“රථය සෑදීමට උවමනා උපකරණ රැස් කොට සාදා ගත් කල්හි රථය යයි වචනයෙන් එය හඳුනාගනු ලැබේ ද, එ පරිද්දෙන් රූපාදී ස්කන්ධයන් ඇති කල්හි සත්ත්වයෙක් යන ව්‍යවහාරය පවතී”.
“ලී දඬු ද, වැල් ද, මැටි ද, තණ ද නිසා අහසින් පිරිවරන ලද්දේ ගේ යයි ව්‍යවහාර වන්නාසේ ඇට, නහර, මස්, සම නිසා අහස පිරිවරන ලද්දේ ශරීරය යි ව්‍යවහාරයට යේ.”
“දුකම උපදී, දුකම පවතී, දුකම වැනසෙති, දුකින් පිට අන් කිසිවක් නූපදී. දුකින් පිට අන් කිසිවක් නො නැසේ.”
මෙසේ නොයෙක් ආකාරයෙන් විමසා, පඤ්චුපාදාන ස්කන්ධයන් ඇති කල්හි සත්ත්වය ය, පුද්ගලය යන ව්‍යවහාර මාත්‍රය වේ. පරමාර්‍ත්‍ථ වශයෙන් රූපාදී එක එක ධර්මයක් වෙන් වෙන් වශයෙන් පරීක්ෂා කරන කල්හි “මම වෙමි” යන අස්මිමානය ද, මම ය යන ආත්මවාදය ද ගැනීමට වස්තු වූ කිසි සත්ත්වයෙක් නැත. හුදෙක් පරමාර්ථ වශයෙන් නාම - රූප මාත්‍රයක් ම ඇත්තේ ය යි මෙසේ නුවණින් බලන්නහුගේ දැකීම, ඇති සැටි දැකීම නම් වූ යථාභූත දර්ශනය නම් වේ.
යමෙක් සත්ත්වයෙක් ඇතැයි ගනී නම්, හෙතෙම ඒ සත්ත්වයාගේ විනාශය හෝ භවයෙන් භවයට යන්නේ යයි යන අවිනාශය හෝ අනුදන්නේ ය. ඉදින් අවිනාශය අනුදන්නේ නම් ශාස්වත දෘෂ්ටියෙහි වැටේ. විනාශය අනුදන්නේ නම් උච්ඡේද දෘෂ්ටියෙහි වැටේ.
තවද, භාග්‍යවතුන් වහන්සේ වදාරණ සේක්:-
“මහණෙනි, ශාස්වත - උච්ඡේද යන දෘෂ්ටි දෙකින් වැඩුණු දිව්‍ය, මනුෂ්‍යයන් අතුරෙන් ඇතැම් කෙනෙක් ශාස්වත වශයෙන් භවයෙහි ඇලෙති. සමහරෙක් උච්ඡේද වශයෙන් අතිධාවනය කෙරෙත්. ඇති තතු පිරිසිඳ දන්නා නුවණැස් ඇත්තේ පරමාර්ථ සත්‍යය දකී.
“මහණෙනි, ඇතැම් දෙවි - මිනිස් කෙනෙක් භවයෙහි ඇළුනාහු භවයෙහි සතුටු වූවාහු වෙති. ඔවුනට භවය නැති කිරීම පිණිස ධර්ම දේශනා කරන කල්හි සිත එහි නො පිවිසේ, නො පැහැදේ, නො පිහිටයි, නිශ්චයට නො පැමිණේ. මහණෙනි, මෙසේ ඇතැම් දෙවි - මිනිස්සු භවයෙහි ඇලෙති.
“මහණෙනි, ඇතැම් දෙව් - මිනිස් කෙනෙක් භවයෙන් පීඩිත වන්නාහු ගර්භාවට පැමිණියාහු, පිළිකුලට පැමිණියාහු, විභව සඞ්ඛ්‍යාත උච්ඡේදය කැමැති වෙයි. යම් හෙයකින් මේ ආත්මය මරණින් මතු උච්ඡේද වේ ද, විනාශ වේ ද, මරණින් මතු නොවේ ද, මේ විභවය, ශාන්තය, ප්‍රණීතය, ඇති ස්වභාව යැයි මෙසේ උච්ඡේදය පිළිගනී. මහණෙනි, මෙසේ ඇතැම් කෙනෙක් උච්ඡේද වශයෙන් අතිධාවනය කෙරෙති.
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙමේ පඤ්චස්කන්ධය, පඤ්චස්කන්ධය වශයෙන් දකී. පඤ්චස්කන්ධය පඤ්චස්කන්ධය සේ දැක, භූත සඞ්ඛ්‍යාත පඤ්චස්කන්ධයෙහි කළකිරීම පිණිස, නො ඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ. මහණෙනි, මෙසේ ඇස් ඇත්තෝ දකිති. යම්සේ දාරු යන්ත්‍රය ශුන්‍ය වූයේ, නිර්ජීව වූයේ, උත්සාහ නැත්තේ වේද, එතකුදු වුවත් දැවය, රැහැන් ය, යන මේ දෙය එකතුවීමෙන් යන්නේ වේද, සිටින්නේ වේද, උත්සාහ ඇත්තක්හු මෙන් වැටහේ ද, එසේ මේ නාම රූප දෙක ද සිස්වූයේ ජීවයක් නැත්තේ, උත්සාහ නැත්තේ, වේ. එතකුදු වුවත් ඔවුනොවුන් එකී භාවයෙන් යන්නේ ද, සිටින්නේ ද වේ. උත්සාහ සහිත වූ ව්‍යාපාර සහිත වූවක් මෙන් වැටහෙන්නේ ද වේ.”
තවද, බට මිටි දෙකක් එකිනෙක නිසා පවත්නා කල එකක පැවැත්මට එකක් වහල් වේ. එකක් වැටෙන කල දෙකම වැටේ. එසේම පඤ්චවොකාර භවයෙහි නාම - රූප දෙක ඔවුනොවුන් නිසා පවතී. එකක් එකකට උපස්ථම්භක වේ. මරණ වශයෙන් එකක් වැටෙන කල අනික ද වැටේ.
තවද, දඬුවෙන් පහළ බෙරය නිසා ශබ්දය පවත්නා කල බෙරය හා ශබ්දය අමිශ්‍රය. බෙරය ශබ්දයෙන් ශුන්‍යය. ශබ්දය ද බෙරයෙන් ශුන්‍යය.
එපරිද්දෙන් ම වස්තු ය, චාරය, ආලම්බනය යන රූපයන් නිසා නාම ධර්මයන් පවත්නා කල රූපය අනිකෙක. නාමය ද අනිකෙක්ම ය. නාම - රූප දෙක ඔවුනොවුන් හා අමිශ්‍රය. නාමය රූපයෙන් ශුන්‍යය. රූපය ද නාමයෙන් ශුන්‍යය. එහෙත් රූපය නිසා නාමය පවතී.
නාම රූප - දෙකින් නාමය තෙද නැත්තේ ය. ස්වකීය තේජසින් පැවතිය නොහේ. නොකයි, නොබොයි, නොබෙණේ, ඉරියව් නොපවත්වයි. රූපය ද තෙද නැත්තේ ය. ස්වකීය තේජසින් පැවතිය නොහේ ඒ රූපයට කනු කැමැති බවක්, බොනු කැමැති බවෙක්, බණනු කැමැති බවෙක්, ඉරියව් පවත්වනු කැමැති බවෙක් නැත. නාමය නිසා රූපය පවතී. රූපය නිසා නාමය පවතී. නාමයට කනු කැමැති බවක් ද, බොනු කැමැති බවක් ද, බණනු කැමැති බවක් ද, ඉරියව් පවත්වනු කැමැති බවක් ද ඇති වූ කල්හි රූපය කයි, බොයි, බෙණෙයි, ඉරියව් පවත්වයි.
ජාත්යන්ධයෙක් ද, පිළෙක් ද ගමනක් යනු කැමැත්තාහු, ජාත්යන්ධයා පිළාට කියනුයේ, “යහළුව, මට පයින් යා හැකිය, නමුත් මාර්ගයෙහි සමවිසම තැන් බැලීමට ඇස් නැත.” පිළාද, “යහළුව, මම ඇසින් බැලිය හැක්කෙමි. එහෙත් යාම් - ඊම් කිරීමට පා නැතැයි අන්ධයා කීය. එවිට ජාත්යන්ධයා පිළාව තම උරහිස නංවා ගත්තේය. පිළාද අන්ධයාගේ උරහිස නැග මෙසේ යව, මෙසේ හැරෙව දකුණට යව, දකුණට හැරෙව යනාදී වශයෙන් කියයි. මෙහි ජාත්යන්ධයා ද තෙද නැත්තේය. දුබලය, තමාගේ තේජසින් හෝ බලයෙන් ද යා නොහැකිය. පිළාද තෙද නැත්තේය, දුබලය, තමාගේ තේජසින් හෝ බලයෙන් ද යා නොහැකිය, එහෙත් ඔව්හු දෙදෙන, ඔවුනොවුන් නිසා ගමන කෙරෙත්.
එමෙන් ම නාමය ද තෙද නැත්තේ ය. තමා තෙදින් නූපදී. ඒ ඒ ක්‍රියාවන්හි නො පවතී. රූපය ද තෙද නැත්තේ ය. තමා තෙදින් නූපදී තමා අයත් ඒ ඒ ක්‍රියාවන්හි නො පවතී. එහෙත් නාම - රූප ඔවුනොවුන් නිසා උපදනේ ද, පවත්නේ ද වේ.
මෙසේ නා නා නයින් නාම - රූප විනිශ්චය කරන යෝගාවචරයාගේ සත්ත්ව සංඥාව මැඩ, නුමුළා බැව්හි සිටී.
නාම - රූපයන්ගේ ඇති තතු දැනීම හෙවත් යථා දර්ශනය දිට්ඨි විසුද්ධි නම් වේ. මේ දිට්ඨිවිසුද්ධියට ම නාම රූප ව්‍යවස්ථානය යයි ද සංස්කාර පරිච්ඡේදය යයි ද කියනු ලැබේ. මෙසේ විදර්ශනා භාවනා කරන යෝගාවචර තෙම සීලවිසුද්ධි වශයෙන් සිල් පිරිසුදු කොට ගෙන, උපචාර අර්පණාදී වශයෙන් චිත්තවිසුද්ධිය ලබා නාම රූප යන්ගේ ඇති සැටි දැකීමෙන් දිට්ඨිවිසුද්ධි වශයෙන් ද පිරිසුදු වෙයි.