4. ස්කන්‍ධ වශයෙන් පරිග්‍රහ කිරීම
මේ ශාසනයෙහි භික්‍ෂු තෙම මේ ශරීරය පිළිබඳ වූ කර්ම, චිත්ත, ඍතු, ආහාර, යන සතර ප්‍රත්‍යයෙන් හටගත් පඨවි, ආපො, තෙජො, වායො, යන ධාතු සතරය. ඒ ධාතු නිශ්‍රය කොට ඇති වණ්ණ, ගන්‍ධ, රස, ඔජා සතරය. චක්‍ෂු ප්‍රසාද, සොත ප්‍රසාද, ඝාණ ප්‍රසාද, ජිව්හා ප්‍රසාද, කාය ප්‍රසාද යන ප්‍රසාද පසය. හදය වත්‍ථු රූපය, භාව රූපය, ජිවිතින්‍ද්‍රිය රූපය, චිත්ත, ඍතු දෙකින් නිපන් ශබ්දය දැයි මේ සතළොස් (17) රූපයෝ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් බැලීමට සුදුසු වූවාහු, කර්මාදි සතර ප්‍රත්‍යයෙන් නිපන්නාහු, රූප්පන ස්වභාවයෙන් යුක්ත හෙයින් රූප-රූප නම් වෙති.
කාය විඥප්තිය, වාග් විඥප්තිය, ආකාශ ධාතුය, රූපයාගේ ලහුතා, මුදුතා, කම්මඤ්ඤතාය, උපචය, සන්තති, ජරතා, අනිච්චතාය යන මේ රූප දසය, අනිත්‍යාදි වශයෙන් බැලීමට සුදුසු නො වන හෙයින් ද, රූපයන්ගේ ආකාර, විකාර හා අතර පිරිසිඳීම් මාත්‍රය වූ හෙයින් ද නිෂ්ඵන්ත රූපයෝ ද නො වෙති, රුප්පන ලක්‍ෂණයෙන් යුක්ත නොවූ හෙයින් ද රූප- රූපයෝ ද නොවෙති. එහෙත් රූපයන්ගේ ආකාර විකාර හා රූපාන්තර පරිච්ඡේද මාත්‍ර හෙයින් රූපය යයි ගණනට යෙති. මෙසේ මේ සත්විසි (27) රූපය රූපස්කන්‍ධ යයි ව්‍යවස්ථා කෙරේ.
එක් අසූවක් ලෞකික සිත් හා සම්ප්‍රයුක්ත වේදනාව වේදනාස්කන්‍ධ යයි ව්‍යවස්ථා කෙරේ.
එක් අසූවක් ලෞකික සිත් හා සම්ප්‍රයුක්ත සංඥාව සංඥාස්කන්‍ධය යයි ව්‍යවස්ථා කෙරේ.
එක් අසූවක් ලෞකික සිත් හා සම්ප්‍රයුක්ත සෙසු ඵස්සාදි සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධය යයි ව්‍යවස්ථා කෙරේ.
එක් අසූවක් ලෞකික සිත් විඤ්ඤාණ ස්කන්‍ධය යයි ව්‍යවස්ථා කෙරේ.
මෙසේ රූපස්කන්‍ධය රූපය යයි ද සතර අරූප ස්කන්‍ධයෝ නාම යයි ද පඤ්චස්කන්‍ධ මුඛයෙන් නාම- රූප ව්‍යවස්ථා කෙරේ.