චතු ධාතු වශයෙන් පරිග්‍රහ කිරීම
1. රූප ධර්මයන් ව්‍යවස්ථා කරන ශුද්ධ විදර්ශනායානිකයා හෝ සමථයානිකයා හෝ චතු ධාතු වවත්ථානයෙහි දක්වන ලද පරිදි ස්තබ්ධ ලක්ෂණය පඨවිධාතුය යනාදි වශයෙන් ඒ ඒ ධාතු පරිග්‍රහ මුඛයන් අතුරෙන් එක්තරා මුඛයකින් සංක්ෂෙප වශයෙන් හෝ විස්තර වශයෙන් හෝ පඨවි, ආපො, තෙජො, වායො යන සතර ධාතූන් පරිග්‍රහ කෙරේ.
මෙසේ පරිග්‍රහ කොට සතර ධාතූන් ප්‍රකට වූ කල්හි පළමු කොට කර්මයෙන් හටගත් කෙශයෙහි, පඨවි, ආපො, තෙජො, වායෝ යන ධාතු සතර ද, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතින්ද්රිය, කාය ප්‍රසාදය යයි කාය දසක වශයෙන් රූප දසයක් ද, එසේම කර්මජ වූ, භාවරූපය සහිත වූ භාව දසක වශයෙන් රූප දසයක් ද, ආහාර සමුට්ඨාන වූ ශුද්ධාෂ්ටකය, ඍතු සමුට්ඨාන වූ ශුද්ධාෂ්ටකය, චිත්ත සමුට්ඨාන වූ ශුද්ධාෂ්ටකය දැයි, කර්ම, චිත්ත, ඍතු, ආහාර සමුට්ඨානයන්ගේ වශයෙන් සුසාළිස් (44) රූපයෙක් වෙයි. මෙසේ කෙශාදි සූවිසි කොට්ඨාසයන්හි එකක් පාසා චතුසමුට්ඨානික රූප සුසාළිස (44) බැගින් සූවිසි කොටසෙහි ම රූප එක් දහස් සපනසක් (1056) වේ යයි දකී.
එසේම, සෙදො, අස්සු, ඛෙලො, සිඞ්ඝාණිකා යන සතරකොටස්හි උතුසමුට්ඨාන ශුද්ධාෂ්ටකය, චිත්ත සමුට්ඨාන ශුද්ධාෂ්ටකය යයි එක එක කොටසෙහි රූප සොළොස (16) බැගින් ඒ සතර කොටසෙහි ඍතු චිත්ත සමුට්ඨාන රූප සූසැටක් (64) වේ යයි දකී.
එසේම, උදරියං, කරීසං, පුබ්බං, මුත්තං යන සතර කොටස්හි උතුසමුට්ඨාන ශුද්ධාෂ්ටකය බැගින් දෙතිස් රූපයෙක් (32) වෙයි.
මෙසේ දෙතිස් කොට්ඨාසයන්හි රූපයෝ එක්දහස් එක්සිය පණස් දෙදෙනෙක් (1,152) වෙති. (1056 + 65 + 32 = 1152).
මේ දෙතිස් කොටස්හි රූපයන් ප්‍රකට වූ කල්හි, තේජෝ කොටස් සතර ද, වායු කොටස් සය ද යන දස කොටස්හි ද රූප පරිග්‍රහය කෙරේ.
තේජෝ කොටස් සතර අතුරෙන් අසිත, පීත, ඛායිත, සායිත, අහර පැසවන කර්මජ තේජො ධාතු කොටසෙහි ජීවිතින්ද්රිය සහිත වූ ඕජාට්ඨමක රූප යයි රූප නවයක් (9) වෙයි.
සෙසු, තවන, දිරවන, දවන තේජෝ කොටස් තුනෙහි ජීවිත නවක කලාපයක් හා චිත්තජ, සෘතුජ, ආහාරජ වශයෙන් ඕජාට්ඨමක කලාප තුන තුන බැගින් (9 + 24 = 33) තෙතිස් රූපයන්ගේ වශයෙන් රූප අනු නවයක් වෙති. (33 × 3 = 99).
වායෝ ධාතු කොටස් සය අතුරෙන් චිත්තජ ආශ්වාස ප්‍රශ්වාස කොටසෙහි ශබ්ද නවක කලාපයෙක් වෙයි. රූප නවයකි (9).
සෙසු උඩඞ්ගම වාත, අධොගම වාත, කුච්ඡිසය වාත, කොට්ඨසය වාත, අඞ්ගමඞ්ගානුසාරි වාත යන වායු කොටස් පසෙහි ද ජීවිත නවක කලාපයක් හා චිත්තජ, සෘතුජ, ආහාරජ වශයෙන් ඕජාට්ඨමක කලාප තුන තුන බැගින් (9 + 24) තෙතිස් රූපයන්ගේ වශයෙන් රූප එක්සිය සැටපසෙක් වෙති (33 × 5 = 165).
මෙසේ තේජෝ කොටස් සතරෙහි සහ වායෝ කොටස් සයෙහි ද යන දස කොටස්හි රූපයෝ (9 + 99 + 9 + 165 = 282) දෙසිය අසූදෙකක් වෙති.
සතර ධාතු කොට්ඨාසයන්ගේ වශයෙන් පඨවි කොටස් (20) ය, ආපො කොටස් (12) ය, තෙජො කොටස් (4) ය, වායො කොටස් (6) ය යයි දෙසාළිස් (42) කොටස්හි මේ භූත රූප සතරත්, උපාදාය රූප සූවිස්සත් (24) ප්‍රකට වූ කල්හි, යෝගාවචර තෙම වස්තුද්වාර වශයෙන් රූප පරිග්‍රහ කරන්නේ ය. ඒ ෂඩ්වස්තුහු නම්, චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය, හදයවත්ථු යන වස්තුහු ය. පඤ්චද්වාර නම් චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය යන ද්වාරයෝ ය. මොවුන්ගේ වශයෙන් චක්ඛු දසකය, සොත දසකය, ඝාණ දසකය, ජිව්හා දසකය, කාය දසකය, හදයවත්ථු දසක යයි දසක සයක් හෙවත් රූප සැටක් (60) වෙතියි ප්‍රකට වේ.
ඒ යෝගාවචර තෙම, මෙසේ ප්‍රකට වූ සියලු ම රූපයෝ රූප්පන ලක්ෂණයෙන් එකක් කොට ගෙන රූපය යයි නුවණින් දකී. ඉක්බිති හෙතෙම ද්වාර වශයෙන් අරූප ධර්ම ද පරිග්‍රහ කරන්නේ ය.
දෙපස් විඤ්ඤාණයෝ ය, මනෝධාතුත්රිකය, සෙසු අටසැටක් මනෝවිඤ්ඤාණ ධාතුය යනාදි වශයෙන් එක් අසූවක් (81) ලෞකික සිත් ඔහුට ප්‍රකට වේ. ඒ සිත්හි සහජාත වූ එස්සය, වෙදනාය, සංඥාය, චෙතනාය, එකග්ගතාය, ජීවිතින්‍ද්‍රියය, මනසිකාරය යන සබ්බ චිත්ත සාධාරණ චෛතසික සත ද එසේ ම ප්‍රකට වෙති. මේ අරූපී ධර්මයන්හි අරමුණ කරා නැමෙන ලක්ෂණය ඇති හෙයින් නාමය යි දකී.
මෙසේ මේ යෝගාවචර තෙම චතු ධාතු ව්‍යවස්ථාන කිරීම් වශයෙන් නාම-රූප ධර්මයන් විනිශ්චය කරන්නේ ය.