2. 5. 9.
9. සුභ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේ පිඩු සිටුහු විසින් කරවූ දෙව්රම් වෙහෙර වැඩ වාසය කරණ සේක. එකල්හි වනාහි තොදෙය්‍ය පුත්‍රවූ සුභමානවකයා එක්තරා ගෘහපතියෙකුගේ ගෙදර කිසියම් කටයුත්තක් සඳහා සැවැත් නුවර වාසය කරයි. එකල්හි තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා යම් ගෘහපතියෙකුගේ ගෙදර වසයිද, ඒ ගෘහපතියාට මෙසේ කීය. “ගෘහපතිය, සැවැත් නුවර රහතුන්ගෙන් හිස් නුවූයේයයි මා විසින් අසනලදී. අද කිනම් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහමණයෙකු හෝ ඇසුරු කරන්නෙමුදැයි”ඇසීය.
“ස්වාමිනි, මේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුහු විසින් කරවූ දෙවුරම් වෙහෙර වාසය කරණ සේක. ස්වාමිනි, ඒ භාග්‍යවතුන් වහන්සේ ඇසුරුකරනු මැනව”
ඉක්බිති තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා ඒ ගෘහපතියාට පිළිතුරුදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුට විය යුතුවූ සිහි කටයුතුවු කථාව කොට නිමවා එක් පැත්තක උන්නේය. එක් පැත්තක හුන් තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ මෙසේ කීහ. ‘ගිහියා නිරවද්‍යවූ කුශලමාර්ගය සම්පූර්ණ කරන්නේ වෙයි. පැවිද්දා නිරවද්‍යවූ කුශලමාර්ගය සම්පූර්ණ නොකරන්නේවේ යනුයි.’ මේ කරුණෙහිදී භවත් ගෞතමයන් වහන්සේ කුමක් කියන සේක්ද?”
“මානවකය, මම මේ කරුණෙහිදී විභජ්ජවාදියෙක් (කරුණු බෙදා කියන්නෙක්) වෙමි. මම එක් පැත්තක් බලා කියන්නෙක් නොවෙමි. මානවකය, මම ගිහියෙකුගේ හෝ පැවිද්දෙකුගේ හෝ වැරදි පිළිපැදීම වර්ණනා නොකරමි. මානවකය, වැරදි මාර්ගයෙහි පිළිපන් ගිහියා හෝ පැවිද්දා හෝ වැරදි මාර්ගයෙහි පිළිපැදීම හේතුකොට ගෙන නිවැරදි කුශල මාර්ගය සම්පූර්ණ කරන්නෙක් නොවේ. මානවකය, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ යහපත් පිළිපැදීම වර්ණනා කරමි. මානවකය, හරි මාර්ගයෙහි පිළිපන් ගිහියා හෝ පැවිද්දා හෝ හරිමාර්ගයෙහි පිළිපැදීම හේතු කොට ගෙන නිවැරදි කුශල මාර්ගය සම්පූර්ණ කරන්නෙක්වේ”.
“භවත් ගෞතමයන් වහන්ස, බ්‍රහමණයෝ මෙසේ කීහ. “වතාවත් කිරීම් උපකරණ රැස්කිරීම්, ආදී බොහෝ කටයුතු ඇති නම් තබන මඩ්ගල්‍යාදී මහත් කටයුතු ඇති මෙය අද කළ යුතුය, සෙට කළයුතුයයි මෙසේ අධික කටයුතු ඇති බොහෝ දෙනා කර්මාන්තයන්හි යෙදීම් යෙදවීම් ආදී බොහෝ කරදර ඇති, ගිහිගෙයි කටයුතු මහත් ඵල ඇත්තේ වෙයි. ස්වල්ප කටයුතු ඇති ස්වල්ප වැඩ ඇති ස්වල්ප යෙදවීම් ඇති අඩු කරුණු ඇති පැවිදිකම අල්ප ඵල ඇත්තේය’කියාය. භවත් ගෞතමයන් වහන්සේ මෙකරුණෙහිදී කුමක් කියන සේක්ද?”
”මානවකය, මම මෙහිද කරුණු බෙදා කියන්නෙක්මි. එක් පැත්තක් බලා කරුණු කියන්නෙක් නොවෙමි. මානවකය, මහත් කටයුතු ඇති බොහෝ වැඩපල ඇති අධික කටයුතු ඇති බොහෝ යෙදවීම් ඇති කර්මාන්තද වරදවා කරන ලද්දේ ස්වල්ප ඵල ඇත්තේ වෙයි. මානවකය, මහත් කටයුතු ඇති බොහෝ වැඩපල ඇති අධික කටයුතු ඇති බොහෝ යෙදවීම් ඇති කර්මාන්තද, යහපත්කොට කරන ලද්දේ, මහත් ඵල ඇත්තේ වෙයි. මානවකය, මද කටයුතු ඇති, ස්වල්ප කෘත්‍ය ඇති අඩු වැඩපල ඇති අඩු යෙදවීම් ඇති, කර්මාන්තද වරදවා කරන ලද්දේ අල්ප ඵල ඇත්තේ වෙයි. මඳ කටයුතු ඇති ස්වල්ප කෘත්‍ය ඇති අඩුවැඩපල ඇති අඩුයෙදවීම් ඇති කර්මාන්තද යහපත් කොට කරන ලද්දේ මහත්ඵල ඇත්තේ වෙයි.
“මානවකය, මහත් කටයුතු ඇති බොහෝ වැඩපල ඇති අධික කටයුතු ඇති බොහෝ යෙදවීම් ඇති වරදවා කරන ලද අල්ප ඵල ඇති කර්මාන්තය නම් කුමක්ද? මානවකය, කෘෂිකර්මය (ගොවිතැන) මහත් කටයුතු ඇති බොහෝ වැඩපල ඇති අධික කටයුතු ඇති බොහෝ යෙදවීම් ඇති වරදවා කළ කල්හි ස්වල්ප ඵල ඇති කර්මාන්තය වේ.
මානවකය, යහපත් කොට කරනලද කල්හි මහත්ඵල ඇති, මහත් කටයුතු ඇති, බොහෝ වැඩපල ඇති, අධික කටයුතු ඇති, බොහෝ යෙදවීම් ඇති කර්මාන්තය කුමක්ද? “මානවකය, කෘෂිකර්මය (ගොවිතැන) යහපත් කොට කළ කල්හි මහත්ඵල ඇති, මහත් කටයුතු ඇති, බොහෝ වැඩපල ඇති, අධික කටයුතු ඇති, බොහෝ යෙදවීම් ඇති කර්මාන්තය වේ.
“මානවකය, ස්වල්ප කටයුතු ඇති, ස්වල්ප වැඩපල ඇති, අඩු කටයුතු ඇති, අඩු මෙහෙයීම් ඇති, වරදවා කළ කල්හි අල්ප ඵල ඇති, කර්මාන්තය නම් කුමක්ද? “මානවකය, වෙළඳාම අඩුකටයුතු ඇති, අඩු වැඩපල ඇති, අඩු යෙදවීම් ඇති වරදවා කළ කල්හි අල්ප ඵල ඇති කර්මාන්තය වෙයි.
“මානවකය, යහපත් කොට කරනලද කල්හි මහත් ඵල ඇති, අඩු කටයුතු ඇති, අඩු වැඩපල ඇති, අඩුයෙදවීම් ඇති කර්මාන්තය නම් කුමක්ද? “මානවකය, වෙළඳාම යහපත් කොට කරනලද කල්හි මහත්ඵල ඇති, අඩුකටයුතු ඇති, අඩුවැඩපල ඇති, අඩු යෙදවීම් ඇති කර්මාන්තය වෙයි.
“මානවකය, මහත් කටයුතු ඇති, බොහෝ වැඩපල ඇති, අධික කටයුතු ඇති, බොහෝ යෙදවීම් ඇති කෘෂිකර්මය වරදවා කරනලද්දේ ස්වල්ප ඵල ඇත්තේ වෙයිද, මානවකය, එසේම මහත් කටයුතු ඇති, බොහෝ වැඩපල ඇති, අධික කටයුතු ඇති බොහෝ යෙදවීම් ඇති, ගිහිකමද වරදවා කරන ලද්දේ ස්වල්ප ඵල ඇත්තේ වෙයි.
“මානවකය, යම්සේ මහත් කටයුතු ඇති, බොහෝ වැඩපල ඇති, අධික කටයුතු ඇති බොහෝ යෙදවීම් ඇති කෘෂිකර්මයම යහපත් කොට කරන ලද්දේ මහත්ඵල ඇත්තේ වෙයිද, එසේම මහත් කටයුතු බොහෝ වැඩපල ඇති, අධික කටයුතු ඇති, බොහෝ යෙදවීම් ඇති, ගිහි කමද යහපත් කොට කරන ලද්දේ මහත් ඵල ඇත්තේ වෙයි.