5. බ්‍රහ්මණ වර්ගය
2. 5. 1.
1. බ්‍රහ්මායු සූත්‍රය
383. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ වෙදෙහ ජනපදයන්හි පන්සියයක් පමණ භික්ෂූන් සමග චාරිකාවෙහි හැසිරෙති. එකල්හි වනාහි ජරාවට ගියාවූ, මහලුවූ කාලය ගෙවීගියාවූ, වයසට පැමිණි උත්පත්තියෙන් එක්සිය විසි අවුරුදුවූ, නාමනිඝණ්ඩු ක්‍රියා කල්ප විකල්ප ශික්ෂා නිරුක්ති යන ප්‍රභෙදයන් ඇති ඉතිහාස පස්වැනි කොට ඇති තුන්වෙදයේ කෙළවරට ගියාවූ, පද හා ව්‍යාකරණ හදාරන්නාවූ ලොකායන ශාස්ත්‍රයේත් මහා පුරුෂ ලක්ෂන ශාස්ත්‍රයේත් දක්ෂවූ බ්‍රහ්මායුනම් බ්‍රාහ්මණයෙක් මියුලු නුවර වාසය කෙරෙයි. ශාක්‍ය පුත්‍රවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිව පන්සියයක් පමණ මහත් භික්ෂු සංඝයා සමග වෙදෙහ ජනපදයන්හි චාරිකාවෙහි හැසිරෙන්නාහුයි, බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ඇසීය. ‘ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේගේ වනාහි මෙසේ යහපත්වූ උස්ව පැන නැගි කීර්ති ශබ්ද ඇත්තේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කාරණයෙන්ද අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විදර්ශනා ඥානය ආදී ඥාන අටෙන්ද’ සීල සංවරය ආදී (චරණ) හසුරුවන ධර්ම පහළොවෙන්ද යුක්තයහ. යහපත් ගති ඇත්තාහ, සියලු ලෝකයන් දන්නාහ, ශ්‍රේෂ්ඨයහ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනි වූහ. දිව්‍ය මනුෂ්‍යයන්ට ගුරුවරයෙක්වූහ, බුද්ධයහ, භාග්‍යවත්හ, ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බඹුන් සහිතවූ මහණ බමුණන් සහිතවූ රජුන් හා මිනිසුන් සහිතවූ සත්ව වර්ගයා ඇතුළු සියලු ලෝකය තමන් වහන්සේම මනාව පැහැදිලිකොට දැන ප්‍රකාශ කරණසේක්. උන්වහන්සේ මුල මැද අග යන තුන් තන්හි යහපත්වූ, අර්ථ සහිතවූ, දස ආකාරයෙන් නියම විදියට මවන ශබ්දකිරීම ඇත්තාවූ, සම්පූර්ණවූ පිරිසිදුවූ ධර්මය ප්‍රකාශ කරණසේක. එබඳුවූ රහතුන්ගේ දැකීමක් වේනම් ඒ යහපත්මැයි’ කියායි.
384. “එකල්හි වනාහි බ්‍රහ්මායු බ්‍රාහ්මණයා හට නාමනිඝණ්ඩු ක්‍රියාකල්ප විකල්ප ශික්ෂා නිරුක්ති යන ප්‍රභෙදයන් ඇති, ඉතිහාසය පස්වැනිකොට ඇති තුන්වේදයේ කෙළවරට ගියාවූ පද හා ව්‍යාකරණ හදාරන්නාවූ විතණ්ඩ ශාස්ත්‍රයේත් මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයේත් දක්ෂවූ උත්තරනම් තරුණ ශිෂ්‍යයෙක්විය. ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ උත්තර තරුණයා ඇමතීය. ‘දරුව උත්තරය, මේ ශාක්‍යපුත්‍රවූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පන්සියයක් පමණවූ මහා භික්ෂු සමූහයක් සමග වේදෙහ ජනපදයන්හි චාරිකාවෙහි හැසිරෙති. ඒ භාග්‍යවතුන් වහන්සේගේ මෙබඳුවූ යහපත් කීර්තිරාවයක් උස්ව නැංගේය. ‘මේ මේ කාරණයෙනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විදර්ශනා ඥානය ආදී ඥාන අටෙන්ද සීලසංවරය ආදී (චරණ) හසුරුවන ධර්ම පහළොවෙන්ද යුක්තයහ. යහපත් ගති ඇත්තෝ වූහ. සියලු ලෝකයන් දන්නාහ. ශ්‍රේෂ්ඨවූවාහු, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනි වූහ. දිව්‍ය මනුෂ්‍යයන්ට ගුරුවරයෙක් වූහ, බුද්ධයහ, භාග්‍යවත්හ. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් හා මිනිසුන් සහිතවූ, සත්වවර්ගයා ඇතුලු සියලු ලෝකය තමන් වහන්සේම මනාව පැහැදිලිකොට දැන ප්‍රකාශ කරන සේක. උන්වහන්සේ මුල මැද අග යන තුන් තන්හි යහපත්වූ අර්ථ සහිතවූ දස ආකාරයෙන් නියම විදියට වචන ශබ්ද කිරීම ඇත්තාවූ, සම්පූර්ණවූ පිරිසිදුවූ, ධර්මය ප්‍රකාශ කරණ සේක. එබඳුවූ රහතුන්ගේ දැකීමක් වේ නම් යහපත්මැයි කියායි. දරුව, උත්තරය එව, නුඹ ශ්‍රමණ ගෞතමයන් යම් තැනෙක් හිද එහි යව. ගොස් ඉදින් ඒ භවත් ගෞතමයන්ගේ ඇති සැටියක් නිසාම කීර්ති ශබ්දයක් පැතිර ගියේද, නොවේ නම් එසේ නුවූවක් පිළිබඳවද, ඒ භවත් ගෞතමයන් වහන්සේ එබඳුද, නැත්නම් එබඳු නොවේදැයි, එපරිද්දෙන් මහණ ගොයුම්හු (සොයා) දනුව. නුඹගේ තීරණය අනුව අපි ඒ භවත් ගෞතමයන් වහන්සේ දැනගණුම්හ.’ ‘පින්වත, ඉදින් ඒ භවත් ගෞතමයන් වහන්සේගේ ඇත්තාවූ ගුණයන් නිසාම මේ කීර්ති ශබ්දය පැතිරගියේද, ඉදින් එසේ නොවේද? ඉදින් ඒ භවත් ගෞතමයෝ එබඳුද? ඉදින් එසේ නොවේදැයි මම කෙසේ නම් දැන ගන්නෙම්ද?’
‘දරුව, උත්තරය, අපගේ වේදමන්ත්‍රයන්හි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආවේමය. ඒ ලක්ෂණයන්ගෙන් යුක්තවූ මහා පුරුෂයාහට ගති දෙකෙක්ම වෙති. අනිකෙක් නැත. ඉදින් (හෙතෙම) ගිහිගෙයි වසයි නම් දැහැමිවූ දැහැමි රජෙක්වූ සතර දිවයිනට අධිපතිවූ දිනන සුලුවූ ජනපදයන්හි (කිසිවෙකු විසිනුදු නොසෙල්විය හැකිසේ) ස්ථිරවූ රත්න සතකින් යුක්තවූ සක්විති රජවෙයි. මොවුහු ඔහුගේ රත්න සත වෙත්. කවරහුදයත්? චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මානික්‍ය රත්නය, ස්ත්‍රිරත්නය ගෘහපති රත්නය සත්වැනිවූ පුත්‍ර රත්නයද යනරත්න හතයි. ශූරවූ දිව්‍ය පුත්‍රයන්ට සමානවූ, නොහොත් වීර්ය සම්පන්නවූ ශරීර ඇත්තාවූ පරසතුරු සේනාවන් මර්දනය කරන්නාවූ දහසකටත් අධික වූ පුත්‍රයෝ ඒ සක්විති රජුට වෙත්. හෙතෙම සයුර කෙළවර කොට ඇති මේ පෘථිවිය දඬුවම් කිරීම් නැතිව, යුද්ධ කිරීම් නැතිව, ධර්මයෙන් හැමදෙන දිනා අධිපතිව වෙසෙයි. ඉදින් හෙතෙම ගිහිගෙන් නික්ම පැවිදි වෙයිනම් ලෝකයේ කෙලෙස් වැස්ම දුරුකළාවූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධවෙයි. දරුව, උත්තරය, මම වනාහි වේදමන්ත්‍ර උගන්වන්නා වෙමි. නුඹ වේද මන්ත්‍රයන් ඉගෙන ගන්නා වෙයි.’
385. “එසේය ස්වාමීනි”යි උත්තර මානවකයා බ්‍රහ්මායු බ්‍රහ්මණයාහට උත්තරදී හුනස්නෙන් නැගී, බ්‍රහ්මායු බ්‍රහ්මයාහට පැදකුණු කොට වේදෙහ ජනපදයෙහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට ගියේය. පිළිවෙලින් චාරිකාවෙහි යමින් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග (සුවදුක් විචාරීම ආදියෙන් සතුටු විය.) සතුටු විය යුතුවූත්, සිහි කටයුතු වූත්, කථාව කොට නිමවා එක් පසෙක උන්නේය. එකත් පසෙක උන්නාවූ උත්තර තරුණයා භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සෙවීය. උත්තර මානවකයා වනාහි භාග්‍යවතුන්ගේ ශරීරයෙහි ලකුණු දෙකක් හැර බොහෝ සෙයින් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දුටුවේය. කොසොහිත වත්ථගුය්හ ලක්ෂණය, හා පහුතජිව්හතා ලක්ෂණය යන මහාපුරුෂ ලක්ෂණ දෙකෙහි සැකකරයි. විමති උපදවයි. ඒ සැකයෙන් නොමිදෙයි. නොපැහැදෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් පහලවිය. ‘මේ උත්තර තරුණයා මාගේ ලක්ෂණ දෙකක් හැර බොහෝ සෙයින් මහා පුරුෂ ලක්ෂණ දකීද, කොසොහිතවත්ථගුයහ ලක්ෂණය හා පහුතජිව්හතා ලක්ෂණය යන මහාපුරුෂ ලක්ෂණ දෙකෙහි සැක උපදවයි. විචිකිච්ඡා කෙරෙයි. ඒ සැකයෙන් නොමිදෙයි. නොපැහැදෙයි’.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උත්තර මානවකයා භාග්‍යවත්හුගේ කොසොහිත වත්ථගුය්හ ලක්ෂණය යම්සේ දකීද, එබඳු ඍද්ධියක් පෑහ. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ දිව බැහැරකොට කන්සිදුරු දෙක පිරිමැද්දහ. නාස් සිදුරු දෙක පිරිමැද්දහ, මුළු නලල්තලයම දිවෙන් වැසූහ.
එකල්හි උත්තර මානවකයාට මෙබඳු සිතක් පහලවිය. ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විතවූ සේක. මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පස්සෙන් යන්නෙම් නම්, උන්වහන්සේගේ යාම ඊම ආදී ඉරියව් දකින්නෙම් නම්, මැනවි.’ කියායි. ඉක්බිති උත්තර තරුණයා සත්මසක් නොහැර ගමන් කරන සෙවනැල්ලක් මෙන්, භාග්‍යවතුන් වහන්සේ පසුපස ඇවිද්දේය. 386. එකල්හි උත්තර මානවකයා වේදේහ ජනපදයන්හි සත්මසක් ගතකිරීමෙන් පසු මියුලු නුවර යම් තැනෙකද, එතනට ගියේය. පිළිවෙලින් ගොස් මියුලු නුවර යම් තැනෙකද, බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ උත්තර මානවකයාට බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ මෙසේ කීය. ‘කිමෙක්ද? දරුව, උත්තරය, ඒ භවත් ගෞතමන් වහන්සේගේ ඇති ගුණයන් නිසාම මේ කීර්ති ශබ්දය පැතිර ගියේද, අන් අයුරකින් නොවේද, කිමෙක්ද? ඒ භවත් ගෞතමයෝ එබඳුද, එසේ නොවේද?”