මජ්ඣිම පණ්ණාසකය
1. ගෘහපති වර්ගය
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
2. 1. 1.
1. කන්දරක සූත්රය
1. මා විසින් (මේ සූත්රය) මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ “චම්පානම්” නුවර ගර්ගරා නම් පොකුණු ඉවුරෙහි මහත්වූ භික්ෂු සංඝයා සමග වැඩ වාසය කරති. එකල්හි පෙස්ස නම්වූ හස්ත්යාරොහක පුත්ර (ඇතුන් බලන්නාගේ පුත්ර) තෙමේද කන්දරක නම්වූ පරිබ්රාජක තෙමේද භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ පෙස්ස නම් ඇතරුපුත් තෙමේ භාග්යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නේය. කන්දරක නම් පිරිවැජියාද භාග්යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතු වූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක පැත්තක සිටියේය. එක පැත්තක සිටියාවූ කන්දරක නම් පිරිවැජි තෙමේ නිශ්ශබ්දවූ භික්ෂු සංඝයා දෙස බලා භාග්යවතුන් වහන්සේට මෙසේ කීවේය. “භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්ය්යයෙක, (අසුරු ගැසීමට සුදුසුය) භවත් ගෞතමයන් වහන්ස, අද්භූතයෙක, (නුවූවිරූ දෙයක) භවත් ගෞතමයන් වහන්සේ විසින් ඉතා හොඳින් භික්ෂු සංඝතෙම පිළියෙල කරන ලද්දේය. “භවත් ගෞතමයෙනි, අතීතකාලයෙහි යම් අර්හත් සම්යක් සම්බුද්ධ කෙනෙක් වූවාහුද ඒ භාග්යවත්හුද මෙතරම්ම හොඳින් භික්ෂු සංඝයා පිළියෙල කළාහුය. මෙකල්හි භවත් ගෞතමයන් විසින් භික්ෂු සංඝතෙම මනාකොට පිළියෙල කරන ලද්දේ යම්සේද (එමෙනී) භවත් ගෞතමයෙනි, මතු කාලයෙහි යම් අර්හත් සම්යක් සම්බුද්ධ කෙනෙක් වන්නාහුද, ඒ භාග්යවත්හුද මෙතරම්ම හොඳින් භික්ෂු සංඝයා පිළියෙල කරන්නාහුය. මෙකල්හි භවත් ගෞතමයන් වහන්සේ විසින් භික්ෂු සංඝතෙම හොඳින් පිළියෙල කෙළේ යම්සේද (එමෙනැ’යි” කීයේය)
2. “කන්දරකය, ඒ කාරණය එසේමය, කන්දරකය, ඒ කාරණය එසේමය කන්දරකය, ඉකුත් කාලයෙහි යම් අර්හත් සම්යක් සම්බුද්ධකෙනෙක් වූවාහුද, ඒ භාග්යවත්හුද මේ තරම්ම හොඳින් භික්ෂුසංඝයා පිළියෙල කළාහුය. මෙකල්හි මා විසින් භික්ෂු සංඝතෙමේ පිළියෙල කරනලද්දේ යම්සේද එමෙනි, කන්දරකය, මතු කාලයෙහි යම් මේ අර්හත් සම්යක් සම්බුද්ධ කෙනෙක් වන්නාහුද, ඒ භාග්යවත්හුද මෙතරම්ම හොඳින් භික්ෂු සංඝයා පිළියෙල කරන්නාහුය. මෙකල්හි මා විසින් භික්ෂු සංඝයා පිළියෙල කරන ලද්දේ යම්සේද (එමෙනි.)
කන්දරකය, මේ භික්ෂු සංඝයා අතර ක්ෂය කළ ආශ්රව ඇති, වැස නිමවන ලද මාර්ග බ්රහ්මචරියාව ඇති, අවසාන කරනලද කටයුතු ඇති, බහා තබනලද කෙලෙස් බර ඇති, පිළිවෙලින් පැමිණියාවූ අර්හත් මගඇති, ක්ෂය කළාවූ භව සංයෝජන ඇති, මනාකොට නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිදුනාවූ රහත් භික්ෂූහුද ඇත්තාහුමය. කන්දරකය, මේ භික්ෂු සංඝයා අතර නිතර පවත්නා සිල් ඇත්තාවූ, නිතර පවත්නා යහපත් පැවතුම් ඇත්තාවූ, නුවණ ඇත්තාවූ, නුවණින් කරන පැවතුම් ඇත්තාවූ සතර සතිපට්ඨානයන්හි මනාව එළඹ සිටි සිත් ඇති, භික්ෂූහුද වාසය කරත්. කවර සතිට්ඨාන සතරක ද යත්? කන්දරකය, මේ ශාසනයෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්ය්ය ඇත්තේ මනා නුවණ ඇත්තේ සිහි ඇත්තේ ස්කන්ධ ලෝකයෙහි ලෝභ දෝසයන් දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයි. කෙලෙස් තවන වීර්ය්යය ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ, සිහි ඇත්තේ විඳීම් රාසියෙහි ලෝභය හා දොම්නස සංසිඳුවාගෙන විඳීම් කෙරෙහි විඳීම් නැවත නැවත බලමින් වාසය කරයි. කෙලෙස් තවන වීර්ය්යය ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ සිහි ඇත්තේ, සිත් සමූහයෙහි ලෝභය හා දොම්නස සංසිඳුවාගෙන සිත් කෙරෙහි සිත් නැවත නැවත බලමින් වාසය කරයි. කෙලෙස් තවන වීර්ය්යය ඇත්තේ යහපත් නුවණ ඇත්තේ සිහි ඇත්තේ ධර්ම රාසියෙහි ලෝභය හා දොම්නස සංසිඳුවාගෙන ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයි.” (යන සතර සතිපට්ඨානයන්හිය.)
3. මෙසේ වදාළ කල්හි පෙස්ස නම් ඇතරුපුත් තෙමේ භාග්යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීනි, ආශ්චර්ය්යය, ස්වාමීනි, අද්භූතය. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ විසින් මේ සතර සතිපට්ඨානයෝ සත්වයන්ගේ විසුද්ධිය පිණිස, ශොක පරිදෙවයන්ගේ ඉක්මවීම පිණිස, දුක් දොම්නස් දෙදෙනාගේ නැසීම පිණිස, මාර්ගඥාන ලැබීම පිණිස නිවණ අවබෝධ කිරීම පිණිස ඉතා හොඳින් පනවන ලද්දාහුමය. ස්වාමීනි, අපිදු ගිහිවු සුදු වත් අඳනාහු කලින් කල මේ සතර සතිපට්ඨානයන්හි මනාව එළඹ සිටි සිත් ඇත්තෝව වාසය කරමු. ස්වාමීනි, මෙහි අපි කෙලෙස් තවන වීර්ය්ය ඇතිව මනා නුවණ ඇතිව සිහි ඇතිව ලෝකයෙහි ලෝභය හා දොම්නස දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසයකරමු. කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහි ඇතිව විඳීම් රාසියෙහි ලෝභය හා දොම්නස සංසිඳුවා ගෙන විඳීම් කෙරෙහි විඳීම් නැවත නැවත බලමින් වාසය කරමු. කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහි ඇත්තාහු සිත් සමූහයෙහි ලෝභය හා දොම්නස සංසිඳුවා ගෙන සිත් කෙරෙහි සිත් නැවත නැවත බලමින් වාසය කරමු. කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහි ඇතිව ධර්ම රාසියෙහි ලෝභය හා දොම්නස සංසිඳුවා ගෙන ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරමු.
ස්වාමීනි ආශ්චර්ය්යය, ස්වාමීනි අද්භූතය, ස්වාමීනි භාග්යවතුන් වහන්සේ මෙසේ මිනිසුන්ගේ වැසුණු අදහස් කිලුටු අදහස් කෛරාටික අදහස් පවත්නා කල්හි සත්වයන්ට හිතවූද, අහිතවූද ප්රතිපදාව මැනවීන් දන්නා සේක්මය. ස්වාමීනි, යම් මේ මනුෂ්යයෝ වෙත්ද, මොවුන්ගේ අදහස වැසුණේ මැයි (දැනගත නොහැකිමැයි) ස්වාමීනි, යම් මේ සිවුපා සත්තු වෙත්ද (මොවුන්ගේ අදහස) පැහැදිලිමය ස්වාමීනි, මම වනාහි හස්ති ධර්මය (ඇතුන්ගේ ස්වභාව) සිහි කරවන්ට හැකිවෙමි. යම්තාක් වාරයක් චම්පා නුවරට යාම් ඊම් කරන්නේද ඒ සියලු වාරයන්හි හස්ති තෙමේ සිටිනු කැමති කල්හි සිටින්නේය. පිට සිටින්නා හෙළනු කැමති කල්හි හෙළන්නේය. ආපසු යනු කැමති කල ආපසු යන්නේය. වමින් හෝ දකුණින් හෝ කෙලින් හෝ යනු කැමති කල එසේ යන්නේය. මලමුත්ර කරනු කැමති කල එතනම මලමුත්ර කරන්නේය. ස්වාමීනි, අපගේ වනාහි දාසයෝය පණිවුඩකාරයෝය කම්කරුවෝය යන යම් කෙනෙක් වෙත්ද, ඔවුහු අන් පරිද්දකින්ම කයින් හැසිරෙත්. අන් පරිද්දකින් වචනයෙන් කථාකරත්. අන් පරිද්දකින් සිතින් සිතත්. ස්වාමීනි, අශ්චර්ය්යය, ස්වාමීනි අද්භූතය ස්වාමීනි භාග්යවතුන් වහන්සේ මෙසේ මිනිසුන්ගේ අදහස් අපිරිසිදු බව, මෙසේ මිනිසුන්ගේ අදහස් අප්රකට බව, මෙසේ මිනිසුන්ගේ අදහස් කෛරාටික බව පවත්නා කල්හි සත්වයන්ට හිතවූද, අහිතවූද ප්රතිපදාව දන්නා සේක්මය. ස්වාමීනි, යම් මේ මිනිස්සු වෙත්ද, මොවුන්ගේ මේ අදහස අප්රකටමය. ස්වාමීනි, යම් මේ සිවුපා සත්තු වෙත්ද මොවුන්ගේ මේ අදහස ප්රකටමයයි කීයේය.