2. 5. 10.
සඞ්ගාරව සූත්රය
473. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ කොසල ජනපදයෙහි මහත්වූ භික්ෂු සඩ්ඝයා සමග චාරිකාවෙහි හැසිරෙයි. එසමයෙහි වනාහි ධානඤ්ජානී නම් බැමිණිය බුදුන් කෙරෙහිද, ධර්මය කෙරෙහිද, සඩ්ඝයා කෙරෙහිද, ප්රසන්න වූවා මණ්ඩල කප්ප නම් ගමෙහි වාසය කරයි. එකල්හි ධානඤ්ජානි බැමිණිය ඇඳිරෙදි කොණේ පැටලී වැටෙන්නී ‘ඒ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරමි. ඒ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරමි. ඒ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරමියි’ තුන්වරක් ප්රීතිවාක්ය ප්රකාශ කළාය.
එකල්හි වනාහි නිඝණ්ඩු ශාස්ත්රය කෙටුභ ශාස්ත්රය ශික්ෂා නිරුක්ති යන ප්රභේදයන් ඇති ඉතිහාසය පස්වැනි කොට ඇති වෙදත්රයයේ කෙළවරට ගියාවූ පද හා ව්යාකරණ හදාරන්නාවූ, ලොකායත ශාස්ත්රයේත් මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්රයේත් සම්පූර්ණවූ සඩ්ගාරව නම් තරුණයෙක් මණ්ඩල කප්ප නම් ගමෙහි වාසය කරයි. සඩ්ගාරව මානවකයා ධානඤ්ජානි බැමිණිය විසින් මෙසේ කියනු ලැබු වචනය ඇසීය. අසා ධානඤ්ජානි බැමිණියට මෙසේ කීය. ‘බ්රාහ්මණයන් සිටිද්දී මේ ධානඤ්ජානි පිරිහුනීය. මේ ධානඤ්ජානි බැමිණිය විනාශයට පැමිණියාය. එසේ වුවත් ඒ මුඩු ශ්රමණයාගේ ගුණ කියයි” යනුයි.
“යහපත් මුහුණක් ඇති පුත්රය, නුඹ වනාහි භාග්යවත්හුගේ සීලයත් ප්රඥාවත් නොදන්නෙහිය. ඉදින් යහපත් මුහුණක් ඇති දරුව, ඒ භාග්යවතුන් වහන්සේගේ සීලයත්, ප්රඥාවත්, දන්නෙහි නම්, යහපත් මුහුණක් ඇති දරුව, නුඹ ඒ භාග්යවතුන් වහන්සේට ආක්රොශ කළයුතුයයි, නින්දා කළයුතු යයි නොහඟින්නෙහිය”.
“එසේ නම් පින්වතිය, යම් කලෙක ශ්රමණ ගෞතමයෝ මණ්ඩල කප්ප ගමට පැමිණෙත්ද, එකල මට කියවයි” කීය. “යහපත් මුහුණක් ඇත්ත, එසේයයි” ධානඤ්ජානි බැමිණිය සඩ්ගාරව මානවකයාට පිළිතුරු දින.
එකල්හි භාග්යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙන සේක් මණ්ඩල කප්ප ගම යම් තැනකද, එහි පැමිණියහ. එහි භාග්යවතුන් වහන්සේ මණ්ඩල කප්ප ගමෙහි තොදය්ය බ්රාහ්මණයාගේ අඹවනයෙහි වාසය කරන සේක. භාග්යවතුන් වහන්සේ වනාහි මණ්ඩල කප්ප ගමට පැමිණ තොදෙය්ය බමුණන්ගේ අඹ වනයෙහි වසන සේකැයි ධානඤ්ජානි බැමිණිය ඇසීය.
එකල්හි ධානඤ්ජානි බැමිණිය සඩ්ගාරව මානවකයා යම්තැනකද, එතැනට පැමිණියේය. පැමිණ සඩ්ගාරව මානවකයාට මෙසේ කීය: “යහපත් මුහුණක් ඇති දරුව, ඒ භාග්යවතුන් වහන්සේ මේ මණ්ඩල කප්ප ගමට පැමිණ මණ්ඩල කප්ප ගමෙහි තොදෙය්ය බ්රාහ්මණයාගේ අඹ වනයෙහි වාසය කරන සේක. යහපත් මුහුණක් ඇති දරුව, ඊට දැන් නුඹ කල් දනුවයි” කීය.
474. “එසේය, පින්වතියයි” සඩ්ගාරව තරුණයා ධානඤ්ජානි බැමිනියට පිළිතුරු දී භාග්යවතුන් වහන්සේ යම් තැනකද, එතනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතුවූත්, සිහිකටවූත් කථාවකොට නිමවා එක් පසෙක උන්නේය. එක් පසෙක උන්නාවූ සඩ්ගාරව මානවකයා භාග්යවතුන් වහන්සේට මෙසේ කීය.
“භවත් ගෞතමයන් වහන්ස, මේ ආත්මයෙහිම දැනීමේ කෙළවරට පැමිණ නිවන් පැමිණියාහුයයි, බ්රහ්මචර්යාවේ, ආදි කර්තෘවරයෝයයි කියන ඇතැම් ශ්රමණ බ්රාහ්මණයෝ සිටිත්. “භවත් ගෞතමයන් වහන්ස, ඒ මේ ආත්මයෙහි දැනීමේ කෙළවරට ගොස් නිවන් පැමිණියාහුයයි, බ්රහ්මචර්යාවේ, ආදි කර්තෘවරයෝයයි කියන ඔවුන් අතුරෙන් භවත් ගෞතමයන් වහන්සේ කවරෙක්ද?”
“භාරද්වාජය, මම වනාහි මේ ආත්මයෙහි දැනීමේ කෙළවරට ගොස් නිවන් පැමිණියාහුයයි බ්රහ්මචර්යාවේ ආදී කර්තෘවරයෝයයි කියන ශ්රමණ බ්රාහ්මණයන්ගේද වෙනස කියමි. භාරද්වාජය, අසන්නාවූ සමහර මහණ බමුණෝ වෙති. ඔවුහු ඇසීමෙන් ඉහාත්මයෙහි දැනීමේ කෙළවරට ගොස් නිවන් පැමිණියාහුයයි බ්රහ්මචර්යාවේ ආදී කර්තෘවරයෝයයි ප්රකාශ කරත්. ඔව්හු නම් ත්රිවිද්යා දත් බ්රාහ්මණයන් වැනි වූවෝය. “භාරද්වාජය, තනිකර ඇදහීමෙන් පමණක් මේ ආත්මයෙහි දැනීමේ කෙළවරට ගොස් නිවන් පැමිණියාහුයයි බ්රහ්මචර්යාවේ ආදි කර්තෘවරයෝයයි ප්රකාශ කරන ඇතැම් ශ්රමණ බ්රාහ්මණයෝ වෙත්. එනම් තර්කයෙන් විමසීමෙන් දැන ගන්නාවූ ශ්රමණ බ්රාහ්මණයෝය. භාරද්වාජය, පෙර නොඅසනලද ධර්මයන් තමන්ම ප්රත්යක්ෂ කොට දැන මේ ආත්මයෙහි දැනීමේ කෙළවරට ගොස් නිවන් පැමිණියාහුයයි, භාරද්වාජය, බ්රහ්මචර්යාවේ ආදි කර්තෘවරයෝ යයි ප්රකාශ කරන්නාවූ, ඇතැම් ශ්රමණ බ්රාහ්මණයෝ ඇත්තාහ.
“භාරද්වාජය, පෙර නොඇසූ ධර්මයන් තමන්ම ප්රත්යක්ෂ කොට දැන ගනී. කෙළවරට ගොස් නිවන් පැමිණියාහුයයි බ්රහ්මචර්යාවේ ආදී කර්තෘවරයෝයයි ප්රකාශ කරන යම් ශ්රමණ බ්රාහ්මණයෝ වෙත්ද, මම ඔවුන් අතුරෙන් කෙනෙක් වෙමි. “භාරද්වාජය, යම් ආකාරයකින් පෙර නොඇසූ ධර්මයන් තමන්ම ප්රත්යක්ෂව දැන මේ ආත්මයෙහි දැනීමේ කෙළවරට ගොස් නිවන් පැමිණියාහුයයි බ්රහ්මචරියාවේ ආදි කර්තෘවරයෝයයි කියත්ද, මම ඔවුන් අතුරෙන් කෙනෙක් වෙම්ද, භාරද්වාජය, ඒ කාරණය මේ ආකාරයෙන් දැනගත යුතුය.