සූත්‍ර පිටකය
මජ්ඣිම නිකාය
මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස)
1. මූල පරියාය වර්ගය
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
1. 1.
මූල පරියාය සූත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී හෙවත් මාගේ ඇසීම මෙසේය. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ‘උක්කට්ඨා’ නම් නුවර සමීපයෙහිවූ ‘සුභග’ නම් වනයෙහි සල් රුකක් මුල වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන්ට කථාකළෝය. ‘ස්වාමීන් වහන්ස’යි ඒ භික්ෂූහු උන්වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළාහුය.
2. “මහණෙනි, සියලු ත්‍රෛභූමක (කාම රූප අරූප) ධර්මයන්ට මුල් වූ කරුණු ප්‍රකාශ වන්නාවූ දේශනාවක් තොපට දේශනා කරමි. එය අසව්, හොඳින් සිත්හි දරාගනිව්, කියන්නෙමියි වදාළසේක. ‘එසේය, ස්වාමීන් වහන්ස’යි උත්තර දුන් ඒ භික්ෂූන්ට මේ සූත්‍රය දේශනා කළාහුය.
(1)
3. “මහණෙනි, මේ ලෝකයෙහි බුද්ධාදී උත්තමයන් නුවණැසින් නුදුටුවාවූ, උතුම් ධර්මයෙහි දක්ෂ නොවූ, උතුම් ධර්මයෙහි හික්මීමක් නැත්තාවූ, බුද්ධාදී සත්පුරුෂයන් නුවණින් නුදුටුවාවූ, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ නොවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මීමක් නැත්තාවූ දැන උගත්කමක් නැති පෘථග්ජන තෙමේ පඨවිධාතුව පඨවිධාතුව වශයෙන් (තණ්හා දිට්ඨි මාන වශයෙන්) හඟියි. පඨවිධාතුව පඨවිධාතුව වශයෙන් හැඳින, පඨවිධාතුව නිත්‍ය ආත්මයයි හඟියි. නිත්‍ය ආත්මය පඨවිධාතුවෙහි පිහිටියේයයි හඟියි. පඨවිධාතුවෙන් පිටත නිත්‍ය ආත්මය පිහිටියේයයි හඟියි. පඨවිධාතුව මගේ ආත්මයයි හඟියි. පඨවිධාතුව මගේ නිත්‍ය ආත්මයයි ආසාවෙන් සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඔහුගේ වෙන් වශයෙන් බෙදා නොදැන්මයයි කියමි. (1)
4. “ආපොධාතුව ආපොධාතුව වශයෙන් හඟියි. ආපොධාතුව ආපොධාතුව වශයෙන් හැඳින ආපො ධාතුව නිත්‍ය ආත්මයයි හඟියි. නිත්‍ය ආත්මය ආපොධාතුවෙහි පිහිටියේයයි හඟියි. නිත්‍ය ආත්මය ආපොධාතුවෙන් පිටත ආපොධාතුව ආශ්‍රයකොට ඇත්තේයයි හඟියි. ආපොධාතුව ‘මගේයයි’ හඟියි. ආපොධාතුව ඇසුරු කළ ආත්මයට ආශාවෙන් සතුටු වෙයි. ඊට හේතුව කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට බෙදා නොදැන්මයයි කියමි. (2)
5. “තෙජොධාතුව තෙජොධාතුව වශයෙන් හඟියි. තෙජොධාතුව තෙජොධාතුව වශයෙන් හැඳින තෙජො ධාතුව නිත්‍ය ආත්මයයි හඟියි. නිත්‍ය ආත්මය තෙජොධාතුවෙහි පිහිටියේයයි හඟියි. තෙජොධාතුවෙන් පිටත එය ආශ්‍රය කොට නිත්‍ය ආත්මය පිහිටියේයයි හඟියි. තෙජොධාතුව මගේ යයි හඟියි. තෙජොධාතුවට ආශාවෙන් සතුටු වෙයි; ඊට හේතු කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට බෙදා නොදැන්මයයි කියමි. (3)
6. “වායොධාතුව වායොධාතුව වශයෙන් හඟියි, වායොධාතුව වායොධාතුව වශයෙන් හැඳින වායොධාතුව නිත්‍ය ආත්මයයි හඟියි. නිත්‍ය ආත්මය වායොධාතුවෙහි පිහිටියේයයි හඟියි. වායොධාතුවෙන් පිටත එය ආශ්‍රය කොට නිත්‍ය ආත්මය පිහිටියේයයි හඟියි. වායොධාතුව මගේ යයි හඟියි. වායොධාතුවට ආශාවෙන් සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට බෙදා නොදැන්මයයි කියමි. (4)
7. “භූතයන් (චාතුර්මහාරාජික දෙව්ලොවින් පහත සත්වයන්) භූතයන් වශයෙන් හඟියි. භූතයන් භූතයන් වශයෙන් ඇඳින භූතයන් නිත්‍ය ආත්මයයි හඟියි. භූතයන් තුළ නිත්‍ය ආත්මයක් ඇතැයි හඟියි. භූතයන්ගෙන් පිටත ආත්මය ඇතැයි හඟියි. භූතයන් මාගේ යයි හඟියි. භූතයන්ට ආසාවෙන් සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට බෙදා නොදැනීමයයි කියමි. (5)
8. “දෙවියන් (මාර දෙව් ලොවින් පහත දෙවියන්) දෙවියන් වශයෙන් හඟියි. දෙවියන්, දෙවියන් වශයෙන් ඇඳින, දෙවියන් ආත්මයයි හඟියි. දෙවියන් තුළ ආත්මය ඇතැයි හඟියි. දෙවියන් කෙරෙන් පිටත දෙවියන් ඇසුරුකොට ආත්මය ඇතැයි හඟියි. දෙවියන් ගැන සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට බෙදා නොදැනීමයයි කියමි. (6)
9. “මාරයා මාරයා වශයෙන් හඟියි. මාරයා මාරයා වශයෙන් ඇඳින මාරයා ආත්මයයි හඟියි. මාරයා කෙරෙහි ආත්මය ඇතැයි හඟියි. මාරයාගෙන් පිටත ආත්මය ඇතැයි හඟියි. මාරයා මගේයයි හඟියි. මාර ආත්මයට ආශාවෙන් සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට බෙදා නොදැන්මයයි කියමි. (7)
10. “බ්‍රහ්මයා (ප්‍රථමධ්‍යානතලයෙහි බ්‍රහ්මයන්) බ්‍රහ්මයා වශයෙන් හඟියි. බ්‍රහ්මයා බ්‍රහ්මයා වශයෙන් හැඳින බ්‍රහ්මයා, ආත්මය වශයෙන් හඟියි බ්‍රහ්මයා කෙරෙහි ආත්මය පිහිටියේයයි හඟියි. බ්‍රහ්මයාගෙන් පිටත බ්‍රහ්මයා ඇසුරුකොට ආත්මය ඇත්තේයයි හඟියි. බ්‍රහ්මයා ‘මාගේ’ යයි හඟියි බ්‍රහ්මයාට ආශාවෙන් සතුටු වෙයි. ඊට හේතු කවරේද? ඔහුගේ ධර්ම වෙන්කොට බෙදා නොදැනීමයයි කියමි. (8)