2. 5. 8.
වාසෙට්ඨ සූත්රය
454. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ ඉච්ඡානංගල නම් බමුණු ගමෙහි ඉච්ඡානංගල වනලැහැබෙහි වාසය කරන සේක. ඒ කාලයෙහි වනාහි ප්රසිද්ධ ප්රසිද්ධ බ්රාහ්මණ මහාසාර කුලයෙහි බ්රාහ්මණයෝ ඉච්ඡානංගල ජනපදයෙහි වාසය කරත්. ඔවුහු කවරේද? චංකීබ්රාහ්මණ තෙමේද, තාරක්ඛ බ්රාහ්මණතෙමේද, පොක්ඛරසාති බ්රාහ්මණ තෙමේද, ජානුස්සොණ බ්රාහ්මණ තෙමේද, තොදෙය්ය බ්රාහ්මණ තෙමේද, අන්යවූද ප්රසිද්ධ මහාසාර බ්රාහ්මණයෝ වෙති.
එකල්හි පයින් ඔබමොබ සක්මන් කරන්නාවූ, ඇවිදින්නාවූ, වාසෙට්ඨ භාරද්වාජ යන තරුණයන් අතර මේ කථාව පහළවිය. “පින්වත, බ්රාහ්මණයෙක් වන්නේ කෙසේද කියායි” භාරද්වාජ තරුණයා මෙසේ කීය. “පින්වත, යම්හෙයින් මව්පිය දෙපසින් මැනවින් උපන්නේද, පිරිසිදු මව්කුසින් උපන්නේද, සත්වන පරපුර දක්වා ජාතිවාදයෙන් බැහැර නොකරණ ලද්දේද, නින්දානොකරණ ලද්දේද, පින්වත, මෙපමණකින්ම බමුණෙක් වෙයි” කියායි. වාසෙට්ඨ තරුණයා මෙසේ කීය. “පින්වත, යම්හෙයකින් සිල්වත්ද මනාපැවතුම් ඇත්තේද, පින්වත, එපමණෙකින් බමුණෙක් වෙයි” යනුය. භාරද්වාජ තරුණ තෙමේ වාසෙට්ඨ තරුණයාට මෙය සැඟවීමට නොහැකි විය. වාසෙට්ඨ තරුණ තෙමේ භාරද්වාජ තරුණයාට මෙය හැඟවීමට නොහැකි විය.
ඉක්බිති වාසෙට්ඨ තරුණයා භාරද්වාජ මානවකයාට කථා කෙළේය. “පින්වත් භාරද්වාජය, ශාක්ය කුලයෙන් නික්ම පැවිදිව ශාක්යපුත්රවූ මේ ශ්රමණ ගෞතමයන් වහන්සේ ඉච්ඡානංගල ගමෙහි ඉච්ඡානංගල වනලැහැබෙහි වාසය කරණ සේක. ඒ භවත් ගෞතමයන්ගේ මෙබඳු යහපත් කීර්තිශබ්දයක් උස්ව පැනනැංගේය. මේ කරුණෙනුදු ඒ භාග්යවතුන් වහන්සේ අර්හත්හ, සම්යක්සම්බුද්ධයහ, විද්යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලොකවිදූහ, අනුත්තරයහ පුරිසදම්ම සාරථිහ, දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ භාග්යවත්හ යනුවෙනි. භවත් භාරද්වාජය, යමු. ශ්රමණ ගෞතමයන් යම් තැනෙකද, එතැනට පැමිණෙන්නෙමි. පැමිණ ශ්රමණ ගෞතමයන් අතින් මෙකරුණ අසන්නෙමු. ශ්රමණ ගෞතමයන් වහන්සේ අපට යම්සේ ප්රකාශ කරත්ද, එසේ එය අපි පිළිගන්නෙමුයි” කීය. “එසේය පින්වතැයි” භාරද්වාජ තරුණයා වාසෙට්ඨ තරුණයාට උත්තර දුන්නේය.
455. ඉක්බිති වාසෙට්ඨ, භාරද්වාජය තරුණයෝ භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියහ. පැමිණ භාග්යවතුන් වහන්සේ සමග සතුටුවූහ. සතුටුවිය යුතුවූත් සිහිකටයුතුවූත් කථාව කොට නිමවා එක්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නාවූ වාසෙට්ඨ තරුණයා භාග්යවතුන් වහන්සේට ගාථාවන්ගෙන් මෙසේ කීයේය.
“පින්වතුන් වහන්ස, අපි ආචාර්යයන් විසින් ත්රිවේදයෙහි හික්මන ලද්දේ වෙමුයි ප්රකාශ කරන ලද්දෝද, ආචාරීන් වහන්ස, අපි ත්රිවේදය උගත්තෙමුයි පිළිගත්තෝද වෙමු. මම පොක්ඛරසාති බමුණාගේ අතවැසිවූ ප්රධාන ශිෂ්යයා වෙමි. මේ තරුණයා තාරුක්ඛ බ්රාහ්මණයන්ගේ අග්ර ශිෂ්යයා වෙයි.
“ත්රිවෙදය දන්නා බමුණන් විසින් අර්ථයක් හෝ ව්යඤ්ජනයක් හෝ කියන ලද්දේද, ඒ සියල්ල උගෙණ නිමාවට ගියෝ වෙමු. පද හා ව්යාකරණ කීමෙහිදීද අපි ආචාර්යයන් හා සමානයෝ වෙමු.
“ගෞතමයන් වහන්ස, ඒ අපගේ ජාතිවාදයෙහි වාදයක් වෙයි. උත්පත්තියෙන් (ජාතියෙන්) බමුණෙක් වේයයි, භාරද්වාජ තෙමේ කියයි. මම ක්රියාවෙන් බමුණෙක් වේයයි කියමි. පසැස් ඇති භාග්යවතුන් වහන්ස, මෙසේ දැනගන්නා සේක්වා.
“ඒ අපි දෙදෙන ඔවුනොවුන්ට ඇඟවීමට නොහැකි වෙමු. එය ඇසීම සඳහා ඔවුනොවුන්ට හැඟවීමට හැක්කෙමු.
“පූර්ණචන්ද්රයා බඳු වූ මෙසේ ලෝකයෙහි ප්රසිද්ධවූ සම්යක් සම්බුද්ධ භාග්යවතුන් වහන්සේ වෙත පැමිණ ඇදිලි බැඳ වඳිමින් නමස්කාර කරත්. ලෝකයට පහළවූ ඇසක් වැනිවූ ගෞතමයන් වහන්සේගෙන් අපි අසමු.
“ජාතියෙන් බමුණෙක් වේද, කර්මයෙන් බමුණෙක් වේද? නොදත් අපට යම්සේ බ්රාහ්මණයා කවරෙක්දැයි දැනගනිමුද? ඒ ආකාරයෙන් ප්රකාශ කළ මැනවි.
456. භාග්යවතුන් වහන්සේ, “වාසෙට්ඨය, ඒ තොපට මම පිළිවෙලින් නානාප්රකාර ජාති ඇති ප්රාණීන්ගේ ජාති විස්තරය ප්රකාශ කරන්නෙමි (කියන්නෙමි) ජාතීහු වෙන් වෙන් වූවාහුය.
“තෙපි තෘණ, වෘක්ෂයන් දන්නාහුය. එහෙත් (ඔවුහු) අපි තෘණය, වෘක්ෂයයි නොදනිති. ඔවුන්ට ජාතියෙන් හටගත් සටහන් ඇත්තේය. වෙන් වෙන්වූ ජාති ඇත්තාහුය.
“පණුවන්ද, පලඟැටියන්ද, කුරුකුහුඹුවන් දක්වා ජාතියෙන් හටගත් සටහන් ඇත්තේය. ඔවුහු වෙන් වෙන්වූ ජාති ඇත්තාහුය.
“කුඩාවූද, මහත්වූද, සිවුපා ජාතීන්ද තෙපි දන්නාහුය. ඔව්හුද ජාතියෙන් හටගත් සටහන් ඇත්තාහුය වෙන් වෙන්වූ ජාති ඇත්තාහුය.
“තෙපි දිගපිට ඇති උදරය පාද කොට ඇති සර්පයන්ද දන්නාහුය. ඔව්හුද ජාතියෙන් හටගත් සටහන් ඇත්තාහුය. වෙන් වෙන්වූ ජාති ඇත්තාහුය.
“ඉක්බිති ජලයෙහි ඉපිද දියම ගොදුරුකොට ඇත්තාවූ මසුන්ද දන්නහුය. ඔව්හුද ජාතියෙන් හටගත් සටහන් ඇත්තාහුය. වෙන් වෙන්වූ ජාති ඇත්තාහුය.
“පියාපත් වලින් අහසින් යන පක්ෂීන්ද දන්නාහුය ඔව්හුද ජාතියෙන් හටගත් සටහන් ඇත්තාහුය. වෙන් වෙන් වූ ජාති ඇත්තාහුය.
“යම්සේ මේ ජාතීන් කෙරෙහි ජාතියෙන් හටගත් සටහන් බොහෝ වේද, මනුෂ්යයන් කෙරෙහි එසේ බොහෝවූ ජාතියෙන් හටගත් සටහන් බොහෝ නොවෙත්.