2. 5. 7.
ධානඤ්ජානි සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාපයෙහිවූ “වෙළුවන” නම් විහාරයෙහි වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ මහත් භික්ෂු සංඝයා සමග දක්ෂිණ ගිරි ජනපදයෙහි චාරිකාවේ හැසිරෙන සේක. එකල්හි එක්තරා භික්ෂුවක් රජගහ නුවර වස් වැස නිමවූයේ, දක්ෂිණ ගිරිය යම් තැනෙකද, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් සමග සතුටුවිය. සතුටු වියයුතුවූත්, සිහි කටයුතුවූත්, කථාව කොට නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක උන්නාවූ ඒ භික්ෂුවට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළහ:
“ඇවැත්නි, කිමෙක්ද? භාග්‍යවතුන් වහන්සේ නිරෝගිද බලවත්ද?”
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ නිරෝගිය. බලවත්ය.”
“ඇවැත්නි, කිමෙක්ද? භික්ෂු සංඝයා නිරෝගිද? බලවත්ද?”
“ඇවැත්නි, භික්ෂු සංඝයා නිරෝගිය. බලවත්ය.”
“ඇවැත්නි, මෙහි තණ්ඩුලපාල ද්වාර නම් ගම් දොර ධානඤ්ජානීනම් බමුණෙක් ඇත. ඇවැත්නි, කිමෙක්ද? ධානඤ්ජානි බ්‍රාහ්මණයා නිරෝගිද? බලවත්ද?”
“ඇවැත්නි, ධානඤ්ජානි බ්‍රාහ්මණ තෙමේද නිරෝගිය. බලවත්ය.”
“ඇවැත්නි, කිමෙක්ද ධානඤජානි බ්‍රාහ්මණ තෙම අප්‍රමාද වූයේ වේද?”
“ඇවැත්නි, කෙසේ නම් ධානඤ්ජානි බමුණා අප්‍රමාද වන්නේද? ඇවැත්නි, ධානඤ්ජානි බ්‍රාහ්මණයා රජුන් ඇසුරු කොට බ්‍රාහ්මණ ගෘහපතියන්ගේ වස්තුව පැහැරගනී. බ්‍රාහ්මණ ගෘහපතියන් ඇසුරුකොට රජුන් සතු වස්තුව පැහැර ගනී. ඔහුගේ ශ්‍රද්ධාවත් ශ්‍රද්ධා ඇති කුලයෙන් ගෙනා යම් භාර්යාවක් දෑ ඔහුගේ ඒ භාර්යාවද කළුරිය කළාය. ඔහුට ශ්‍රද්ධාව නැති අන්‍යවූ භාර්යාවක් අශ්‍රද්ධාවත් කුලයකින් ගෙනෙන ලද්දීය.”
“ඇවැත්නි, එකාන්තයෙන් නපුරු ඇසීමක් ඇසීමු. ඇවැත්නි, එකාන්තයෙන් නපුරු ඇසීමක් ඇසීමු. අපි ප්‍රමාදවූ ධානඤ්ජානි බමුණා ගැන යමක් ඇසීමුද, ඒ අපි කිසිවිටෙක ධානඤ්ජානි බමුණා සමග එක් වන්නෙමු නම් හොඳය. කිසියම් කථා සල්ලාපයක් වන්නේ නම් හොඳය.”
ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ දක්ෂිණාගිරි ජනපදයෙහි කැමැතිතාක් කල් වාසය කොට රජගහනුවර යම් තැනෙක්හිද, එතැන්හි චාරිකාවෙහි වැඩි සේක. පිළිවෙලින් චාරිකාවෙහි හැසිරෙන්නේ, රජගහනුවර යම් තැනෙක්හිද එහි පැමිණියේය. එහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාපයෙහි වෙළුවන නම්වූ විහාරයෙහි වාසය කරති. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පෙරවරු හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන රජගහ නුවර පිඬු පිණිස වැඩියහ.
එසමයෙහි වනාහි ධානඤ්ජානි බ්‍රාහ්මණයා නගරයෙන් පිට ගවගාලෙහි දෙනුන්ගෙන් කිරි දොවයි. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ රජගහ නුවර පිඩු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුණේ ධානඤ්ජානි බ්‍රාහ්මණයා යම් තැනෙකද එතැනට පැමිණියහ. ධානඤ්ජානි බමුණා එන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ දුරදීම දුටුවේය. දැක, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙකද, එතැනට ගියේය. ගොස් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය: “භවත් ශාරිපුත්‍රයන් වහන්ස, බත් අනුභව කිරීමට කාලය එනතුරු මෙයින් කිරි බොනසේක්වා”
“බමුණ, කම් නැත. මා විසින් අද බත් අනුභව කරන ලදී. අසුවල් ගස මුල මාගේ දවල් වාසය කිරීම වන්නේය. එහි එන්නෙහියයි”
“එසේය. පින්වතුන් වහන්සැයි” ධානඤ්ජානි බමුණා ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන්ට උත්තර දුන්නේය. ඉක්බිති ධානඤ්ජානි බ්‍රාහ්මණයා උදේ ආහාර ගැනීම නිමවා ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙකද එතැනට ගියේය. පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත් සිහිකටයුතුවූත් කථාව කොට නිමවා එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ ධානඤ්ජානි බ්‍රාහ්මණයාට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ කීහ.
“ධානඤ්ජානිය, කිමෙක්ද, අප්‍රමාද වූයේ වෙහිද?”
“භවත් ශාරිපුත්‍රයන්වහන්ස, කෙසේ අපගේ අප්‍රමාදයක් වේද? අප විසින් අපගේ මවුපියන් පොෂ්‍ය කළයුතුය. අඹුදරුවන් පොෂ්‍ය කළයුතුය. දාසි දාස කම්කරුවන් පොෂ්‍ය කළයුතුය. අසල්වැසියන්ගේ අසල්වැසි කටයුතු කළයුතුය. නෑදෑයන්ගේ නෑදෑ කටයුතු කළයුතුය. ආගන්තුකයන්ගේ ආගන්තුක කටයුතු කළයුතුය. මියගියවුන්ගේ මියගියවුන් පිළිබඳ කටයුතු කළයුතුය. දෙවියන්ගේ දෙවියන් පිළිබඳ කටයුතු කළයුතුය. රජුන්ගේ රාජකාරි කළයුතුය. මේ කයද පිනවිය යුතුය. වර්ධනය කළ යුතුයයි”
“ධානඤ්ජානිය, කුමක් සිතන්නෙහිද? මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් මව් පියන් නිසා විසම අධර්ම හැසිරීම් ඇත්තේ විසම හැසිරීම් ඇත්තේ වන්නේද, ඒ පුද්ගලයා අධර්ම හැසිරීම විසම හැසිරීම හේතුවෙන් නරකයට නිරයපාලයෝ අදින්නාහුය. ‘මම වනාහි මව් පියන් නිසා අධර්මචාරී විසමචාරී වූයෙමි. මා නරකයට නිරයපාලයෝ නොඅදිත්වායයි වළක්වා ගැනීමට ඔහු හෝ සමර්ථ වේද, මව් පියෝ හෝ මොහු අප නිසා අධර්ම හැසිරීම විසම හැසිරීම ඇත්තෙක් වීයයි, නිරය පාලයෝ නිරයට නොඅදිත්වායි වළක්වා ගැනීමට සමර්ථ වෙත්ද?”
“භවත් ශරිපුත්‍රය, මෙය නොවේ. එකල්හි ඔහු හඬද්දීම නිරය පාලයෝ නිරයෙහි ඇද දමන්නාහුය.”