2. 5. 6.
එසුකාරී සූත්රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුහු කරවූ ජේතවන නම් ආරාමයෙහි වාසය කරණ සේක. එකල්හි එසුකාරී නම් බ්රාහ්මණයෙක් භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතුවූද සිහි කටයුතුවූද කථාව කොට නිමවා පැත්තෙක හුන්නේය. පැත්තෙක උන්නාවූ එසුකාරී බ්රාහ්මණතෙමේ භාග්යවතුන් වහන්සේට මෙසේ කීය.
“භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ සේවය කිරීම් හතරක් නියම කෙරෙති. බමුණාට සේවය කිරීම පණවත්, ක්ෂත්රියයාට සේවය කිරීම නියම කෙරෙති, වෛශ්යයාට සේවය කිරීම නියම කෙරෙති, ශුද්රයාට සේවය කිරීම නියම කෙරෙති. භවත් ගෞතමයන් වහන්ස, එහි මේ සේවය කිරීම බමුණෝ බමුණාට නියම කරති. බමුණෙක් හෝ බමුණාට සේවය කරන්නේය. ක්ෂත්රියයෙක් හෝ බමුණාට සේවය කරන්නේය. වෛශ්යයෙක් හෝ බමුණාට සේවය කරන්නේය යනුය. භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ බමුණාට මේ වතාවත් කිරීමට නියම කරති. භවත් ගෞතමයන් වහන්ස, එහි මේ සේවය කිරීම බමුණෝ ක්ෂත්රියයාට නියමකරති. ක්ෂත්රියයෙක් හෝ ක්ෂත්රියයාට වතාවත් කරන්නේය. වෛශ්යයෙක් හෝ ක්ෂත්රියයාට වතාවත් කරන්නේය. ශ්රද්රයෙක් හෝ ක්ෂත්රියයාට වතාවත් කරන්නේය. භවත් ගෞතමයන් වහන්ස, මේ සේවය කිරීම් වනාහි බමුණෝ ක්ෂත්රියයාට නියම කරති. භවත් ගෞතමයන් වහන්ස, එහි මේ සේවය කිරීම බමුණෝ වෛශ්යයාට නියම කරති. වෛශ්යයෙක් හෝ වෛශ්යයාට වතාවත් කරන්නේය. ශුද්රයෙක් හෝ වෛශ්යයාට වතාවත් කරන්නේයයනුයි. භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ මේ සේවය කිරීම වනාහි ශුද්රයාට නියම කරති. ශුද්රයෙක් හෝ ශුද්රයාට වතාවත් කරන්නේය. අන් කවරෙක් හෝ ශුද්රයාට වතාවත් කරන්නේදැයි’ භවත් ගෞතමයන් වහන්ස, මේ සේවය කිරීම වනාහි බමුණෝ ශුද්රයාට නියම කරති. භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ මේ සේවය කිරීම් හතරක් නියම කරති. මෙහිදී භවත් ගෞතමයන් වහන්සේ කුමක් කියන සේක්ද?”
“බමුණ කිමෙක්ද? බමුණෝ සිව් වැදෑරුම් සේවය නියම කරතියි සියලු ලෝකයා එයට අනුදුසුද?”
“භවත් ගෞතමයන් වහන්ස, මෙයට සියලු ලෝකයා කැමැති නොවේ”.
“බමුණ, යම්සේ දිළිඳුවූ, ධන නැත්තාවූ සහල් නැළියක්වත් නැත්තාවූ පුරුෂයෙක් වේද, නොකැමතිවූ ඔහුට කොටස් නියම කරන්නාහුය. (එල්ලුහ) ‘එම්බා පුරුෂය, මෙහි තා විසින් මස් කෑ යුතුයි. මිලද දිය යුතුයි.’ (කියායි) මෙපරිද්දෙන් බමුණ, යම් ඒ මහණ බමුණන්ගේ කැමැත්තක් නැතිව බමුණෝ මේ සේවය කිරීම් සතර පණවත්. බමුණ, මම සියල්ල සේවය කළ යුතුයයි නොකියමි බමුණ, මම සියල්ල සේවය නොකළ යුතුයයි නොකියමි. බමුණ, යමක් සේවය කරන්නාහුට සේවය කිරීමේ හේතුවෙන් පවක් වන්නේද, වැඩක් නොවන්නේද, බමුණ, මම එය සේවය කළ යුතුයයි නොකියමි. බමුණ, යම් හෙයකින් වනාහි සේවය කරන්නහුට සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද, පාපයක් නොවන්නේද, එය මම සේවය කළ යුතුයයි කියමි.
“බමුණ, ක්ෂත්රියයාගෙන්ද, මෙසේ විචාරන්නාහු යමක් සේවය කරන්නාවූ ඔබට (එය) සේවය කිරීමේ හේතුවෙන් පාපයක් වන්නේද, යහපතක් නොවන්නේද, යමක් සේවය කරන්නාවූ ඔබට (එය) සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද, පාපයක් නොවන්නේද, මෙහිද කුමක් සේවය කරන්නට කැමැතිවෙහිදැයි’ බමුණ, ක්ෂත්රියයාද මනාව ප්රකාශ කරමින් මෙසේ ප්රකාශ කරන්නේය. ‘යමක් සේවය කරන්නාවූ මට (එය) සේවය කිරීමේ හේතුවෙන් පාපයක් වන්නේද, යහපතක් නොවන්නේද, මම එය සේවය නොකරමි. යමක් සේවනය කරන්නාවූ මට (එය) සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද පවක් වන්නේද, එය මම සේවය කරමි.
බමුණ, බමුණාගෙන් මෙසේ විචාරන්නාහුය. යමක් සේවය කරන්නාවූ ඔබට (එය) සේවය කිරීමේ හේතුවෙන්, පාපයක් වන්නේද, යහපත් නොවන්නේද, යමක් සේවය කරන්නාවූ ඔබට (එය) සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද, පාපයක් නොවන්නේද, මෙහිදී කුමක් සේවය කරන්නාට කැමැත්තෙහිදැයි බමුණ, බමුණාද මනාව ප්රකාශ කරමින් මෙසේ ප්රකාශ කරන්නේය. ‘යමක් සේවය කරන්නාවූ මට (එම) සේවය කිරීමේ හේතුවෙන් පාපයක් වන්නේද යහපත් නොවන්නේද, මම එය සේවය නොකරමි. යමක් සේවය කරන්නාවූ මට (එය) සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද, පාපයක් නොවන්නේද, මම එය සේවය කරමි. ‘බමුණ, වෛශ්යයාගෙන්ද මෙසේ විචාරන්නාහුය. ‘යමක් සේවය කරන්නාවූ ඔබට (එය) සේවය කිරීමේ හේතුවෙන් පාපයක් වන්නේද, යහපතක් වන්නේද යමක් සේවය කරන්නාවූ ඔබට (එය) සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද, පාපයක් නොවන්නේද, මෙහිදී කුමක් සේවය කරන්ට කැමැත්තේහිදැයි’ ‘බමුණ, වෛශ්යයාද මනාව ප්රකාශ කරමින් මෙසේ ප්රකාශ කරන්නේය. ‘යමක් සේවය කරන්නාවූ මට (එය) සේවය කිරීමේ හේතුවෙන් පාපයක් වන්නේද, යහපතක් නොවන්නේද මම එය සේවය නොකරමි. යමක් සේවය කරන්නාවූ මට (එය) සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද, යහපතක් නොවන්නේද එය මම සේවය කරමි’. “බමුණ, ශුද්රයාගෙන්ද මෙසේ විචාරන්නාහුය. ‘යමක් සේවය කරන්නාවූ ඔබට (එය) සේවය කිරීමේ හේතුවෙන් පාපයක් වන්නේද, යමක් සේවය කරන්නාවූ ඔබට (එය) සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද, පවක් නොවන්නේද මෙහිදී කුමක් සේවය කරන්නට කැමැති වෙහුදැයි’. ශුද්රයාද මනාව පවසමින් මෙසේ පවසන්නේය. ‘යමක් සේවය කරන්නාවූ මට (එය) සේවය කිරීමේ හේතුවෙන් පාපයක් වන්නේද, යහපතක් වන්නේද, මම එය සේවය නොකරමි. සේවනය කරන්නාවූ මට (එය) සේවය කිරීමේ හේතුවෙන් යහපතක් වන්නේද, පාපයක් නොවන්නේද, එය මම සේවය කරමි’.
“බමුණ, මම උසස් කුල ඇති බව උසස්යයි නොකියමි. බමුණ, මම වනාහි උසස් කුල ඇති බව පහත්යයි නොකියමි. බමුණ, මම පහත් වර්ණ ඇතිබව උසස්යයි නොකියමි. බමුණ, මම වනාහි පහත් වර්ණ ඇති බව පහත්යයි නොකියමි. බමුණ, මම මහත් භෝග ඇති බව උසස්යයි නොකියමි බමුණ, මම වනාහි මහත් භෝග ඇතිබව පහත්යයි නොකියමි.
“බමුණ, මේ ලෝකයෙහි උසස් කුල ඇත්තාවූ ඇතැමෙක් පරපණ නසන්නේ වෙයිද, නොදුන් දෙය ගන්නේවෙයි. කාමයන්හි වරදවා හැසිරෙන්නේ වෙයි, බොරු කියන්නේ වෙයි, කේලම් කියන්නේ වෙයි, රළු වචන කියන්නේද වෙයි, හිස් වචන කියන්නේද වෙයි, දැඩි ලෝභය ඇත්තේ වෙයි, බද්ධවෛරයෙන් යුක්ත සිත් ඇත්තේ වෙයි, වැරදි දැකීම් ඇත්තේ වෙයි, එහෙත් උසස් කුල ඇති බව උසස් යයි” නොකියමි. “බමුණ, උසස් කුල ඇත්තේ වනාහි මේ ලෝකයෙහි සමහරෙක් පරපණ නැසීමෙන් වැළකුණේ වේ, නුදුන් දෙය ගැන්මෙන් වැලකුණේ වේ, කාමයන්හි වරදවා නොහැසිරෙන්නේ වේ, බොරු කීමෙන් වෙන්වූයේ වේ, කේලාම් කීමෙන් වැලකුණේ වේ, රළුවචනයෙන් වැලකුණේ වේ, හිස්වචන කීමෙන් වැලකුණේ වේ, දැඩි ලෝභය නැත්තේ වේ, බද්ධවෛරය නැත්තේ වේ. හරිදැකීම ඇත්තේ වේ, එහෙයින් උසස් කුල ඇති බව පහත්යයි නොකියමි.
“බමුණ, මහත් භෝග ඇත්තාවූ මේ ලෝකයෙහි සමහරෙක් පරපණ නසන්නේ වේද, නොදුන් දෙය ගන්නේ වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වේ, බොරු කියන්නේ වේ, කේළාම් කියන්නේ වේ, රළු වචන කියන්නේ වේ, හිස් වචන කියන්නේ වේ, දැඩි ලෝභය ඇත්තේ වේ, බද්ධවයිරයෙන් යුක්ත සිත් ඇත්තේ වේ. මිසදිටු ඇත්තේ වේ, එහෙයින් මහත් භෝග ඇති බව උසස්යයිද නොකියමි. “බමුණ, මහත් භෝග ඇත්තාවුද මේ ලෝකයෙහි සමහරෙක් පරපණ නැසීමෙන් වෙන්වූයේ වේ, නුදුන් දෙය ගැන්මෙන් වැලකුණේ වේ, කාමයන්හි වරදවා නොහැසිරෙන්නේවේ, බොරු කීමෙන් වෙන් වූයේ වේ, කේළාම් කීමෙන් වැලකුණේ වේ, රළු වචනයෙන් වැලකුණේ වේ, හිස් වචන දෙඩීමෙන් වැලකුණේ වේ, දැඩි ලෝභය නැත්තේ වේ බැඳගත් වයිර නැත්තේ වේ, හරිදැකීම් ඇත්තේ වේද, එහෙයින් උසස් භෝග ඇති බව ලාමකයයිද නොකියමි.
“බමුණ, මම සියල්ලන් සේවය කළ යුතුයයිද නො කියමි. බමුණ, මම වනාහි සියල්ලන් සේවය නොකළයුතුයයිද නොකියමි. යමකු සේවය කරන්නාවූ ඔහුට ඒ සේවය කිරීමේ හේතුවෙන් ඇදහීම වැඩෙයිද, සීලය වැඩෙයිද, ඇසූ තැන් ඇති බව වැඩෙයිද, දීම වැඩෙයිද, නුවණ වැඩෙයිද මම ඔහු සේවය කළ යුතුයයි කියමි.”