2. 5. 5.
චංකී සූත්‍රය
422. මා විසින් මෙසේ අසනලදී. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්රට චාරිකාවේ හැසිරෙන්නේ, මහත්වූ භික්ෂු සංඝයා සමග ඕපසාද නම් කෝසලයන්ගේ බමුණුගම යම් තැනෙකද එතැන හැසුරුණු සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ඕපසාද ගමට උතුරෙන් ඕපසාද ගමෙහි දේව වන නම්වූ සාල වනයෙහි වාසය කරණසේක. එසමයෙහි වනාහි චංකී බ්‍රාහ්මණයා මිනිසුන්ගෙන් හා සතුන්ගෙන් ගහනවූ, තණ දර හා දිය සහිතවූ, ධාන්‍ය සහිතවූ, රජුන්ගෙන් ලැබුණු පරිභොගයක්වූ පසේනදි කොසොල් රජු විසින් දෙන ලද්දක්වූ උතුම් කොට දෙන ලද්දක්වූ ඔපසාද නුවර වෙසෙයි.
(එකල්හි) ඔපසාද ගමෙහි වාසය කරන්නාවූ බමුණු ගෘහපතියෝ (මෙපුවත) ඇසූහ. ශාක්‍ය පුත්‍රවූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මහත් භික්ෂු සංඝයා සමග චාරිකාවෙහි හැසිරෙනසේක් ඕපසාද ගමට පැමිණ, ඕපසාදි ගිමට උතුරෙන් පිහිටි ඕපසාද ගමෙහි දේව වන නම්වූ සාලවනයෙහි වාසය කරණසේක.
ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳුවූ, යහපත්වූ කීර්ති ශබ්දයක් උස්ව පැන නැංගේය. ‘ඒ භාග්‍යවතුන් වහන්සේ, මේ කාරණයෙන්ද අර්හත්හ, සම්මා සම්බුද්ධයහ, විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ, ලොකවිදූහ, මිනිසුන් දමනය කිරීමෙහි තමන්ට වඩා වැඩි කෙනෙක් නැතියහ. දෙවි මිනිස්හුගේ අනුශාසකයහ. බුද්ධයහ, භාග්‍යවත්හ. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් හා මිනිසුන් සහිතවූ, සත්ව සමූහයා ඇතුළු සකල ලෝකය තමන් වහන්සේම මනාව දැන, අවබෝධකොට ප්‍රකාශ කරණ සේක. උන්වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, අග යහපත්වූ, අර්ථ සහිතවූ (දස වැදෑරුම්) අක්ෂර සම්පත්තියෙන් යුක්තවූ, සර්ව සම්පූර්ණවූ, ධර්මය පිරිසිදුවූ බ්‍රහ්මචරියාව දේශනා කරණසේක. එබඳුවූ රහතුන්ගේ දැකීමක් වේනම් ඒ යහපත්මය” (කියායි)
423. ඉක්බිති සමූහ වශයෙන් එක්වුනාවූ, ඕපසාදක ගම්වැසි බමුණු ගෘහපති සමූහයා ඕපසාද ගමින් නික්ම උතුරු දිසාවට මුහුණ ලා දේව වන නම් සාලවනය යම් තැනකද එහි යයි. එසමයෙහි වනාහි චංකී බමුණතෙම ප්‍රාසාදයේ මතුමහලෙහි දවල් ඕපසාදක ගෘහපති සමූහයන් ඕපසාද ගමින් නික්ම දේවවන නම් සල්වනය යම් තැනෙකද, එහි උතුරු දෙසට මුහුණලා යන්නවුන් දැක්කේය. දැක, ‘ඛත්ත’ නම් මහ ඇමතියාට කථා කළේය. “භවත් ඛත්තයෙනි, කුමක් හෙයින් සමූහ වශයෙන් එක්වුනාවූ, ඕපසාදක ගම ගෘහපති සමූහයා ඕපසාද ගමින් නික්ම උතුරු දෙසට මුහුණලා දේවවන නම් සල්වනයට යයිද?”
“භවත් චංකී බ්‍රාහ්මණය, ශාක්‍ය පුත්‍රවූ, ශාක්‍යකුලයෙන් නික්මපැවිදිවූ, ශ්‍රමණභවත් ගෞතමයන් වහන්සේ මහත් භික්ෂු සංඝයා සමග කොසොල්රට ඕපසාද ගමට ඇවිදිනසේක් පැමිණියේ, ඕපසාද ගමට උතුරෙන් පිහිටි, ඕපසාද ගමෙහි දේවවන නම් සල්වෙනෙහි වාසය කරණසේක. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳුවූ යහපත්වූ කීර්ති ශබ්දයක් උස්ව පැනනැංගේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙනුදු අරහත්හ, සම්මා සම්බුද්ධයහ, විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, මිනිසුන් දමනය කිරීමෙහි තමන්ට වඩා වැඩි කෙනෙක් නැතියහ. දෙවි මිනිසුන්ට අනුශාසකයහ, බුද්ධයහ, භාග්‍යවත්හ. ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකීමට මොවුහු යති.”
“භවත් ඛත්තයෙනි, එසේනම් ඕපසාදක බ්‍රාහ්මණ ගෘහපතියන් යම්තැනකද එතැනට යව. ගොස් ඕපසාදක බ්‍රාහ්මණ ගෘහපතියන්ට මෙසේ කියව. ‘භවත් චංකී බ්‍රාහ්මණතෙමේ මෙසේ කීය. “පින්වත්හු නවතිත්වා, චංකී බ්‍රාහ්මණතෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීමට එන්නේයයි, “පින්වතුන් වහන්ස, එසේයැයි” එ ඛත්ත ඇමතියා චංකී බමුණාට පිළිතුරු දී ඕපසාදක බමුණු ගෘහපතියන් යම් තැනකද එතැනට ගියේය. ගොස් ඕපසාදක බමුණු ගෘහපතියන්ට මෙසේ කීය. පින්වත් චංකී බ්‍රාහ්මණ තෙමේ මෙසේ කීය. පින්වත්හු නවතිත්වා. චංකී බ්‍රාහ්මණ තෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීමට එන්නේයයි”.
424. එසමයෙහි වනාහි නොයෙක් රටවලට අයත් පන්සියයක් පමණ බමුණෝ කිසියම් කටයුත්තක් නිසා ඔපසාද ගමේ වසත්. ඒ බමුණෝ චංකී බමුණා ශ්‍රමණ ගෞතමයන් දැකීමට යන්නේයයි ඇසූහ. ඉක්බිති ඒ බමුණෝ යම් තැනෙක චංකී බමුණා වෙයිද, එතැනට පැමිණියහ. පැමිණ චංකී බමුණාට මෙසේ කීහ. “භවත් චංකීතෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීමට යන්නේය, යනු ඇත්තක්ද?”
“පින්වත, එසේ මට සිතෙයි. මමත් ශ්‍රමණ ගෞතමයන් දැකීමට යන්නෙමියි” (කියායි).
“භවත් චංකී බමුණු තෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීමට නොයව. භවත් චංකී තෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීමට යාම නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම භවත් චංකී දැකීමට ඒම සුදුසුය. භවත් චංකී තෙමේ මව්පිය දෙපසින් මනාව උපන් කෙනෙක. යම් හෙයකින් භවත් චංකී තෙම මව්පිය දෙපසින් මනාව උපන්නේ සත්වන මීමුත්තාගේ පරපුර දක්වා අවමන් නොකරන ලද්දේ, ජාතිවාදයෙන් අපහාස නොකරන ලද්දේ, නින්දා නොකරන ලද්දේ වේද, සත්වන මීමුත්තාගේ පරපුර දක්වා ඉතා පිරිසිදුව මව්කුස පිළිසිඳගත්තෙක, ජාතිවාදයෙන් අපහාස නොකරණ ලද්දේක, නින්දා නොකරණ ලද්දෙක. මෙකරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකීමට එනු සුදුසුය. භවත් චංකී තෙමේ සියලු දෙයින් සම්පූර්ණය. මහත් ධන ඇත්තේය. මහත් සම්පත් ඇත්තේය. යම් හෙයකින් භවත් චංකී තෙමේ සියලු දෙයින් සම්පූර්ණ වේද, මහත් ධන ඇත්තේ වේද, මහත් සම්පත් ඇත්තේ වේද, මේ කරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය. භවත් චංකීතෙම නිඝණ්ඩු ශාස්ත්‍රය හා කෙටුභ ශාස්ත්‍රයද සහිත ශික්ෂා නිරුක්ති සහිත ඉතිහාසය පස්වැනි කොට ඇති ත්‍රිවෙදයෙහි පරතෙරට ගියේය, පද දන්නේය, ව්‍යාකරණ දන්නේය, ලෝකායත ශාස්ත්‍රය හා මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයන්හි සම්පූර්ණවූ දැනුම් ඇත්තේය. යම් හෙයකින් භවත් චංකී තෙමේ නිඝණ්ඩු ශාස්ත්‍රය හා කෙටුභ ශාස්ත්‍රයද, සහිත ශික්ෂා නිරුක්ති සහිත ඉතිහාසය පස්වැනි කොට ඇති ත්‍රිවේදයෙහි පරතෙර පැමිණියේ වේද, මේ කරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය. භවත් චංකීතෙමේ මනා රූ ඇත්තේය, මනා පෙනුමක් ඇත්තේය, උතුම්වූ ශරීර ශොභාවෙන් යුක්තය, දුටුවන් පහදවන්නේය. බ්‍රහ්මයාගේ වර්ණයට බඳු වර්ණයෙන් යුක්තය. බ්‍රහ්ම ශරීරය වැනි ශරීරයකින් යුක්තය. ශරීරයෙහි දැකුමට ඇති දේ බොහෝය. යම් හෙයකින් භවත් චංකී තෙමේ මනා රූ ඇත්තේ වේද, මනා පෙනුමක් ඇත්තේ වේද, දුටුවන් පහදවන්නේ වේද, උතුම්වූ ශරීර ශොභාවක් ඇත්තේ වේද, බ්‍රහ්මයට බඳු වර්ණයෙන් යුක්ත වේද, බඹහුගේ ශරීරය වැනි ශරීරයකින් යුක්ත වූයේ වේද, ශරීරයෙහි දැකුමට ඇති දේ බොහෝ වේද, මේ කරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය. භවත් චංකී තෙමේ වඩන ලද සිල් ඇති, සම්පූර්ණ සීලයෙන් යුත් සිල්වතෙක. යම් හෙයකින් භවත් චංකී තෙමේ වඩන ලද සිල් ඇති, සම්පූර්ණ සීලයෙන් යුත් සිල්වතෙක් වූයේ වේද, මේ කරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය. භවත් චංකීතෙමේ යහපත් වචන ඇති. යහපත් තෙපුල් ඇති, නිදොස්වූ, කෙලතොලු නොවූ, අර්ථ හැඟවීමෙහි සමත් යහපත් වචන ඇති තැනැත්තෙක. යම් හෙයකින් භවත් චංකී තෙමේ යහපත් වචන ඇති, යහපත් තෙපුල් ඇති නිර්දෝෂවූ, කෙලතොලු නොවූ, අර්ථ හැඟවීමෙහි සමත් යහපත් වචන ඇති තැනැත්තෙක් වේද, මේ කරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය. භවත් චංකී තෙමේ බොහෝදෙනාගේ ගුරුවරයාද, ගුරුවරයන්ගේ ගුරුවරයාද වූයේ, තුන්සියයක් මානවකයන්ට වේදමන්ත්‍ර කියවයි. යම් හෙයකින් භවත් චංකී තෙමේ බොහෝදෙනාගේ ආචාර්යද, ආචාර්යන්ගේ ආචාර්යද වූයේ, තුන්සියයක් මානවකයන්ට වේදමන්ත්‍ර කියවයිද, මේ කරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය. භවත් චංකී තෙමේ පසේනදී කොසොල්රජ විසිනුදු සත්කාර කරන ලද්දේය, ගරුකරන ලද්දේය, බුහුමන් කරන ලද්දේය, පුදන ලද්දේය, නැමදුම් කරන ලද්දේය යම් හෙයකින් භවත් චංකී තෙමේ පසේනදි කොසොල් රජ විසිනුදු සත්කාර කරන ලද්දේ වේද, බුහුමන් කරන ලද්දේ වේද, ගරු කරන ලද්දේ වේද, පුදන ලද්දේ වේද, නැමැදුම් කරන ලද්දේ වේද, මේ කරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය. භවත් චංකීතෙමේ “පොක්ඛරසාති” බමුණා විසිනුදු සත්කාර කරනලද්දේය, ගරු කරන ලද්දේය, බුහුමන් කරන ලද්දේය, පුදන ලද්දේය, නැමදුම කරන ලද්දේය. යම් හෙයකින් භවත් චංකී තෙමේ “පොක්ඛරසාති” බමුණා විසිනුදු සත්කාර කරන ලද්දේ වේද, ගරුකරනලද්දේ වේද, බුහුමන් කරන ලද්දේ වේද, පුදන ලද්දේ වේද, නැමැදුම් කරන ලද්දේ වේද, මේ කරුණෙනුදු භවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය. භවත් චංකීතෙමේ බොහෝ මිනිසුන්ගෙන් හා සතුන්ගෙන් ගැවසුනු, තණ දර හා දිය සහිතවූ, ධාන්‍ය සම්පත්තියෙන් යුක්තවූ රජුන් විසින් දෙනලද පරිභෝගයක්වූ පසේ නදි කොසොල් රජු විසින් දුන් හෙයින් රාජදායවූ, උතුම් කොට දෙන ලද්දක්වූ, ඕපසාද නගරයෙහි වාසය කරයි. යම් හෙයකින් භවත් චංකී තෙමේ මිනිසුන්ගෙන් හා සතුන්ගෙන් ගහනවූ, තණ දර හා දිය සහිතවූ ධාන්‍ය ඇත්තාවූ, රජුන් විසින් දෙනලද පරිභෝගයක්වූ පසේනදි කොසොල් රජු විසින් දුන් හෙයින් රාජදායවූ උතුම් කොට දෙන ලද්දක්වූ ඕපසාද නුවර වෙසෙයිද? මේ කරුණු නිසාද භවත් චංකී තෙමේ භවත් ගෞතමයන් දැකීමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම භවත් චංකී දැකීමට එනු සුදුසුය.”