2. 5. 4.
ඝෝටමුඛ සූත්රය
මා විසින් මෙසේ අසනලදී: එක් සමයෙක්හි ආයුෂ්මත් උදේන ස්ථවිරයන් වහන්සේ බරණැස් නුවර ඛේමිය අඹවනයෙහි වාසයකරන සේක. එසමයෙහි කිසියම් කටයුත්තක් සඳහා ඝෝටමුඛ බ්රාහ්මණයා බරණැසට පැමිණියේය. ඉක්බිති ඝෝටමුඛ බ්රාහ්මණයා පයින් ගමන් කරන්නේ ඇවිදින්නේ ඛෙමිය අඹවනය යම් තැනකද එතැනට පැමිණියේය. එකල වනාහි ආයුෂ්මත් උදේන ස්ථවිර තෙමේ එළිමහනෙහි සක්මන් කරයි.
ඉක්බිති ඒ ඝෝටමුඛ බ්රාහ්මණයා ආයුෂ්මත් උදේන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් උදේන ස්ථවිරයන් සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත් සිහිකටයුතුවූත් කථාව කොට නිමවා සක්මන් කරන්නාවූ ආයුෂ්මත් උදේන ස්ථවිරයන් වහන්සේට සක්මන් කරමින් මෙසේ කීය: “එම්බා, ශ්රමණය, දැහැමි පැවිද්දක් නැත. මෙසේ මාගේ අදහසක් වෙයි. එය වනාහි එබඳු පින්වතුන් වහන්සේලාගේ නොදැකීමෙන් හෝ මේ පැවිද්දෙහි යම් ධර්මයක් නොදැකීමෙන් හෝ මේ පැවිද්දෙහි මාගේ මේ අදහස වෙයි.”
මෙසේ කී කල්හි ආයුෂ්මත් උදේන ස්ථවිරයන් වහන්සේ සක්මනින් බැස වෙහෙරට ඇතුල්වී පැනවූ අස්නෙහි හුන්නේය. ඝෝටමුඛ බමුණාද සක්මනින් බැස වෙහෙරට ඇතුල්වී එක් පැත්තෙක සිටියේය. එක් පැත්තෙක සිටියාවූ ඝෝටමුඛ බ්රාහ්මණයාට ආයුෂ්මත් උදේන ස්ථවිරයන් වහන්සේ මෙසේ කීසේක: “බමුණ, අසුන් තිබෙත්. ඉඳින් කැමතිනම් හිඳගනුව.”
“මේ කරුණුම වනාහි අපි භවත් උදේනගෙන් බලාපොරොත්තු වන්නෙම් නොහිඳිමු. කෙසේනම් මාවැන්නෙක් මුලින් නොපැවැරවූ අස්නෙක හිඳීය යුතුයයි සිතන්නේද?” එකල්හි ඝෝටමුඛ බ්රාහ්මණයා එක්තරා පහත් අස්නක් ගෙන එක් පැත්තෙක උන්නේය. එක් පැත්තක හුන්නාවූ ඝෝටමුඛ බ්රහ්මණයා ආයුෂ්මත් උදේන ස්ථවිරයන්ට මෙසේ කීය: “එම්බා ශ්රමණය, දැහැමි පැවිද්දක් නැත. මෙසේ මාගේ අදහසක් වෙයි. එය වනාහි එබඳු පින්වතුන් වහන්සේලාගේ නොදැකීමෙන් හෝ මේ පැවිද්දෙහි යම් ධර්මයක් නොදැකීමෙන් හෝ මේ පැවිද්දෙහි මාගේ මේ අදහස වෙයි.”
“බමුණ, ඉදින් නුඹ මා විසින් පිළිගතයුත්ත පිළිගන්නෙහි නම්, ප්රතික්ෂේප කළයුත්ත ප්රතික්ෂේප කරන්නෙහි නම්, මවිසින් කියන ලද්දෙහි අර්ථය නොදන්නෙහි නම් ‘භවත් උදේනය, මෙය කෙසේද? මොහුගේ අර්ථය කවරේදැයි’ එහිදී මතු මගෙන්ම ප්රශ්න කරව. මෙසේ කිරීමෙන් මෙහිදී අපගේ කථා සල්ලාපය වන්නේය.”
“මම වනාහි භවත් උදේනයන් විසින් පිළිගතයුත්ත පිළිගන්නෙමි, ප්රතික්ෂේප කළයුත්ත ප්රතික්ෂේප කරන්නෙමි. මම වනාහි භවත් උදේනයන් කියනලද යමක අර්ථය නොදන්නෙම් නම්, එහිදී භවත් උදේනයන්ම මතු විමසන්නෙමි. ‘භවත් උදේනය, මෙය කෙසේද? මොහුගේ අර්ථය කවරේද?’ මෙසේ විමසීමෙන් මෙහිදී අපගේ කථා සල්ලාපය වේවා!”
“බමුණ, පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහු විද්යමාන වෙත්. කවර සතර දෙනෙක්ද? බමුණ, මෙහි එක් පුද්ගලයෙක් තමා තැවීමේ යොගයෙහි යෙදුණේ තමා තවන්නේ වෙයි. බමුණ, මෙහි වනාහි එක් පුද්ගලයෙක් අනුන් තැවීමේ යොගයෙහි යෙදුනේ අනුන් තවන්නේ වෙයි. බමුණ, මෙහි ඇතැම් පුද්ගලයෙක් තමා තැවීමේ යොගයෙහි යෙදුනේ තමා තවන්නේද වෙයි, අනුන් තැවීමේ යොගයෙහි යෙදුනේ අනුන් තවන්නේද වෙයි. බමුණ, මෙහි වනාහි ඇතැම් පුද්ගලයෙක් තමා තැවීමේ යොගයෙහි නොයෙදුනේ තමා නොතවන්නේ වේ. අනුන් තවන යොගයෙහි නොයෙදුනේ අනුන් නොතවන්නේ වෙයි. හෙතෙම තමා නොතවන්නේ, අනුන් නොතවන්නේ, මේ ආත්මභවයෙහි නොඇළුනේ, නිවුනේ, සිහිල්වූයේ, සුව විඳින සුළුවූයේ, උතුම් ආත්මයක් ඇතිව වාසය කරයි. බමුණ, මේ සිව් පුද්ගලයන් අතුරෙන් කවර පුද්ගලයෙක් තාගේ සිත සතුටු කෙරේද?”
“භවත් උදේනය, යම් ඒ පුද්ගලයෙක් තමා තැවීමේ යොගයෙහි යෙදුනේ තමා තවනේ වේද, මේ පුද්ගල තෙමේ මාගේ සිත සතුටු නොකරයි. භවත් උදේනය, යම් ඒ පුද්ගලයෙක් අනුන් තැවීමේ යොගයෙහි යෙදුනේ අනුන් තවන්නේ වේද, මේ පුද්ගලයාද මාගේ සිත් නොගනියි. භවත් උදේනය, යම් ඒ පුද්ගලයෙක් තමා තැවීමේ යොගයෙහි යෙදුනේ වේද, තමාද තවන්නේ වේද, අනුන් තැවීමේ යොගයෙහි යෙදුනේ අනුන්ද තවන්නේ වේද, මේ පුද්ගලයාද මාගේ සිත් නොගනියි. උදේනය, යම් මේ පුද්ගලයෙක් තමා තැවීමේ යෝගයෙහි නොයෙදුනේ, තමා නොතවන්නේ වේද, අනුන් තැවීමෙහි යොගයෙහි නොයෙදුනේ අනුන් නොතවන්නේ වේද, හෙතෙම තමා නොතවන්නේ අනුන් නොතවන්නේ මේ ආත්මභවයෙහි නොඇළුනේ, නිවුනේ, සිහිල් වූයේ සුව විඳින සුළු වූයේ උතුම්වූ ආත්මයක් ඇතිව වාසය කරයි. මේ පුද්ගලයා මාගේ සිත සතුටු කරයි.”
“බමුණ, කුමක් හෙයින් මේ තුන් පුද්ගලයෝ තාගේ සිත සතුටු නොකෙරෙත්ද?” “භවත් උදේනය, යම් ඒ පුද්ගලයෙක් තමා තැවීමේ යොගයෙහි යෙදුනේ තමා තවන්නේවේද, හෙතෙම තමාට සුව කැමැත්තේ, දුක් පිළිකුල් කරන්නේ, තවයි. වැඩියෙන් තවයි. මේ හේතුකොටගෙන මේ පුද්ගලයා මාගේ සිත නොගනියි. භවත් උදේනය, යම් ඒ පුද්ගලයෙක් අනුන් තැවීමේ යොගයෙහි යෙදුනේ අනුන් තවන්නේ වේද හෙතෙම අන්යයාට සුව කැමැත්තේ දුක් පිළිකුල් කරන්නේ තවයි. වැඩියෙන් තවයි. මේ නිසා මේ පුද්ගලයා මාගේ සිත නොගනියි. භවත් උදේනය, යම් ඒ පුද්ගලයෙක් තමා තැවීමේ යොගයෙහි යෙදුනේ තමාද තවන්නේ වේද, අනුන් තැවීමේ යොගයෙහි යෙදුනේ අනුන්ද තවන්නේ වේද, හෙතෙම තමාටද, අනුන්ටද සුව කැමැත්තෙන් දුක් පිළිකුල් කරන්නේ, තවයි. වැඩියෙන් තවයි. මේ නිසා මේ පුද්ගලයා මාගේ සිත නොගනියි. භවත් උදේනය, යම් ඒ පුද්ගලයෙක් තෙමේම නොතවන්නේ, තමා තැවීමේ යොගයෙහි නොයෙදුනේ තමා නොතවන්නේ වේද, අනුන් තැවීමේ යොගයෙහි නොයෙදුනේ අනුන් නොතවන්නේ වේද, හෙතෙම තමා නොතවන්නේ අනුන් නොතවන්නේ මේ ආත්මයෙහි නොඇලුනේ, නිවුනේ, සිහිල්වූයේ, සුව විඳින සුළු වූයේ, උතුම් වූ ආත්මයක් ඇතිව වාසය කරයි. හෙතෙම තමාටද, අන්යයාටද, සුව කැමැත්තෙන්, දුක් පිළිකුල් කරනු කැමැත්තෙන් නොතවයි. වැඩියෙන් නොතවයි. මේ නිසා මේ පුද්ගලයා මාගේ සිත සතුටු කරයි.”