2. 5. 3.
අස්සලායන සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුහු විසින් කරවන ලද, දෙව්රම් වෙහෙර වැඩවාසය කරණ සේක. එසමයෙහි නොයෙක් රටවල බමුණන් අතුරෙන් පන්සියයක් පමණ බමුණෝ කිසියම් කටයුත්තක් සඳහා සැවැත් නුවර වාසය කරති. එකල ඒ බමුණන්ට මෙබඳු සිතක් පහල විය. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ චාතුර්වර්ණ ශුද්ධියක් පනවයි. ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචන ගැන විරුද්ධව සාකච්ඡා කිරීම සඳහා කවරෙක් සමර්ථද?
එසමයෙහි වනාහි අස්සලායණ නම් තරුණයෙක් සැවැත් නුවර වාසය කරයි. (හෙතෙම) දහරයෙකි, බූ ගෑ හිස ඇත්තෙක, උත්පත්තියෙන් සොළොස් හැවිරිදි වයස් ඇත්තෙක, නාම නිඝණ්ඩු යාග ආදී කටයුතු පිළිවෙල හා ශික්ෂානිරුක්ති යන ප්‍රභෙදන් ඇති, ඉතිහාසය පස්වැනි කොට ඇති වෙදත්‍රයයෙහි කෙළවරට ගිය කෙනෙක. පද හා ව්‍යාකරණ කටපාඩමේ කියන්නෙක, ලොකායත ශාස්ත්‍රයේත් මහාපුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයෙත් දක්ෂයෙක. ඉක්බිති ඒ බමුණන්ට මෙබඳු සිතක් ඇති විය. ‘මේ අස්සලායණ තරුණයා සැවැත් නුවර වෙසෙයි. (හෙතෙම) දහරයෙකි, බූ ගෑ හිස ඇත්තෙක, උත්පත්තියෙන් සොළොස් හැවිරිදි වයස් ඇත්තෙක, නාම නිඝණ්ඩු යාග ආදී කටයුතු පිළිවෙල හා ශික්ෂා නිරුත්ති යන ප්‍රභෙදයන් ඇති, ඉතිහාසය පස්වැනි කොට ඇති වෙදත්‍රයයෙහි කෙළවරට පැමිණියෙක. පද හා ව්‍යාකරණ කටපාඩමේ කියන්නෙක, ලොකායත ශාස්ත්‍රයේත් මහාපුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයේත් දක්ෂයෙක. හෙතෙම ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචන ගැන (යෙහි) විරුද්ධව සාකච්ඡා කිරීමට සමර්ථ වෙයි, කියායි.
අනතුරුව ඒ බමුණෝ අස්සලායණ තරුණයා යම් තැනෙකද එතැනට එළඹියහ. එළඹ අස්සලායණ මානවකයාට මෙසේ කීහ. “පින්වත් අස්සලායණය, මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ චාතුර්වර්ණ ශුද්ධියක් පනවන සේක. පින්වත් අස්සලායණ තෙමේ ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචන (යෙහි) ගැන විරුද්ධව සාකච්ඡා කිරීමට පැමිණේවා” මෙසේ කී කල්හි අස්සලායණ තරුණයා ඒ බමුණන්ට මෙසේ කීය. “ශ්‍රමණ භවත් ගෞතමයෝ වනාහි ධර්මවාදීහ, ධර්මවාදීහු සමග දුකසේ විරුද්ධව සාකච්ඡා කළ යුත්තාහු වෙති. මම ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචන (යෙහි) ගැන විරුද්ධව සාකච්ඡා කිරීමට නොහැක්කෙක් වෙමි” දෙවනුත් ඒ බමුණෝ අස්සලායණ තරුණයාට, මෙසේ කීහ. “පින්වත් අස්සලායණය, මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ චාතුර්වර්ණ ශුද්ධියක් පනවන සේක. පින්වත් අස්සලායණ තෙමේ ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචන (යෙහි) ගැන විරුද්ධව සාකච්ඡා කිරීමට ඒවා පින්වත් අස්සලායණයන් වේදයට අනුව තවුස් පිළිවෙලට හැසුරුණු කෙනෙක” දෙවනුවත් අස්සලායණ තෙමේ ඒ බමුණන්ට මෙසේ කීය.” ශ්‍රමණ භවත් ගෞතමයෝ ධර්මවාදීහ, ධර්මවාදීහු සමග දුකසේ වාද කළ යුත්තාහු වෙත්. මම ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචනයෙහි වාදකිරීමට නොහැක්කෙක් වෙමි. තුන්වෙනුවත් ඒ බමුණෝ අස්සලායණ තරුණයාට මෙසේ කීහ. පින්වත් අස්සලායණය, මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ චාතුර්වර්ණ ශුද්ධියක් පනවන සේක. පින්වත් අස්සලායණ තෙම ශ්‍රමණ ගෞතමයන් සමග වාද කිරීමට ඒවා. පින්වත් අස්සලායණයන් වෙදය අනුව තවුස් පිළිවෙලට හැසුරුණු කෙණෙක. භවත් අස්සලායණය, යුද්ධ නොකොට නොපැරදෙව”.
මෙසේ කී කල අස්සලායණ තරුණයා ඒ බමුණන්ට මෙසේ කීය. “පින්වතුනි, එකාන්තයෙන් මම වනාහි ජය නොලබමි. ශ්‍රමණ භවත් ගෞතමයෝ ධර්මවාදීහ, ධර්මවාදීහු සමග දුකසේ වාදකළ යුත්තාහු වෙති. ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචනයෙහි වාදකිරීමට මම අසමර්ථයෙමි. යලිදු මම භවතුන්ගේ වචනය නිසා යන්නෙමියි” කියායි.
ඉක්බිති අස්සලායණ තරුණයා මහත්වූ බමුණු සමූහය සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතුවූත් සිහිකටයුතුවූත් කථාව කොට නිමවා එකත්පසෙක උන්නේය. එකත්පසෙක උන්නාවූ අස්සලායණ තරුණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ මෙසේ කීහ. “බමුණෝම උතුම් ජාති ඇත්තෝය. අන්‍යයෝ හීන ජාති ඇත්තෝය. බමුණෝම ශුද්ධ වංශ ඇත්තෝය, අන්‍යයෝ අශුද්ධ වංශ ඇත්තෝය. බමුණෝම සුදුපාට ඇත්තාහ. අන්‍යයෝ කළුපාට ඇත්තාහ, බමුණෝම පිරිසිදු වෙති. අන්‍යයෝ එසේ නොවෙති. බමුණෝම මහාබ්‍රහ්මයාගේ ඖරස පුත්‍රයෝව මුඛයෙන් උපන්නාහු බ්‍රහ්මජයහ, බ්‍රහ්මයා නිමැවු හෙයින් බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ’ යනුයි. භවත් ගෞතමයන් වහන්සේ මෙ කරුණෙහිද කුමක් කියන සේක්ද?”
“අස්සලායණය, බමුණන්ගේ බැමිණියෝ ඍතුවන්නියෝද, ගැබිනියෝද, වදන්නියෝද, කිරිපොවන්නියෝද දක්නා ලැබෙත්. ඒ බමුණෝද යෝනියෙන් උපන්නාහුම මෙසේ කීවාහුය. ‘බමුණෝම උතුම් වර්ණයහ, අන්‍යයෝ හීනවර්ණයහ, බමුණෝම සුදුපාට ඇත්තාහ, අන්‍යයෝ කළුපාට ඇත්තාහ, බමුණෝම පිරිසිදු වෙත්, අන්‍යයෝ (බමුණු නොවන්නෝ) අපිරිසිදු වෙත්. බමුණෝම බ්‍රහ්මයාගේ ඖරස පුත්‍රව මුවින් උපන්නාහු බ්‍රහ්මජයහ, මහබඹා මැවූ හෙයින් බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ’ කියායි.”
“කිසියම් කරුණක් නිසා භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කීසේක්ද?” එසේ වී නමුදු බමුණෝ මෙය මෙසේ සිතත්. ‘බමුණෝම ශ්‍රේෂ්ඨ වර්ණයහ, අන්‍යයෝ හීනවර්ණයහ -පෙ- බ්‍රහ්ම දායාදය’ කියායි.
“අස්සලායණය, ඔබ ඒ කිමැයි හඟනෙහිද? යොනකම්බුජ නම් අන්‍යවූ පසල් දනව්වෙක ආර්යයයිද, දාසයයිද, වර්ණ දෙකෙකි. ආර්යයෙක්ව දාසයෙක් වෙයි. දාසයෙක්වී ස්වාමියෙක් (ආර්යයෙක්) වේයයි තා විසින් අසන ලද්දේද?”
“එසේය ස්වාමීනි, මා විසින් අසන ලදී. යොනකම්බුජ නම් අන් පසල්දනව්වෙක ආර්යයයිද දාසයයිද වර්ණ දෙකකි, ආර්යයෙක්ව දාසයෙක් වෙයි, දාසයෙක්ව ස්වාමියෙක්වේයයි.” “අස්සලායණය, මෙහිදී බමුණන්ගේ කුමන බලයක්ද, කවර අස්වැසිල්ලක්ද? යම්හෙයකින් බමුණෝ මෙසේ කීහ. ‘බමුණෝම ශ්‍රේෂ්ඨවර්ණයහ, අන්‍යයෝ හීනවර්ණයහ -පෙ- බ්‍රහ්මදායාදයහ’ කියායි.”
“කිසියම් කරුණක් නිසා භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කීසේක්ද?” එසේ වී නමුදු මෙහිදී බමුණෝ මෙය මෙසේ සිතති: ‘බමුණෝම ශ්‍රේෂ්ඨ වර්ණයහ. අන්‍යයෝ හීන වර්ණයහ -පෙ- බ්‍රහ්මදායාදයහ,’ කියායි.
“අස්සලායණය, ඒ කුමැයි හඟනෙහිද? ක්ෂත්‍රිය තෙමේත් සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ බොරුකියන්නේ, කේලාම් කියන්නේ, රළු වචන කියන්නේ, හිස් වචන කියන්නේ, හිස් වචන කථාකරන්නේ, දැඩි ලෝභ ඇත්තේ, බද්ධවෛරයෙන් (ව්‍යාපාදයෙන්) යුත් සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නරක ගති ඇති විනිපාතනම්වූ නිරයෙහි උපදින්නේය. නොවන්නේද? බමුණෙක් වුවත් -පෙ- වෛශ්‍යයෙක් වුවත් -පෙ- ශුද්‍රයෙක් වුවත් සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ (කේලම් කියන්නේ) රළු වචන කියන්නේ, හිස් වචන කියන්නේ, දැඩි ලෝභ ඇත්තේ, ව්‍යාපාදයෙන් යුත් සිත් ඇත්තේ, වැරදි දැකීම් ඇත්තේ, ශරීරයාගේ බිඳීමෙන් මරණින්, මතු සැපයෙන් පහවූ, නරක ගති ඇති, විනිපාත නම් වූ නිරයෙහි උපදින්නේය. නොවන්නේද?”