2. 5. 2.
සේල සූත්රය
396. මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙක්හි භාග්යවතුන් වහන්සේ එක් දහස් දෙසිය පනහක් පමණ මහත් භික්ෂු සංඝයා සමග අඩ්ගුත්තර ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙනසේක් ආපණ නම්වූ අඩ්ගුත්තර නියම් ගම යම් තැනකද, එහි කල් යැවූ සේක. කේණිය ජටිල තෙමේ ශාක්යපුත්රවූ ශ්රමණ භවත් ගෞතමයන් වහන්සේ ශාක්ය කුලයෙන් නික්ම පැවිදිව එක්දහස් දෙසියපනහක් පමණ මහත් භික්ෂු සංඝයා සමග අඩ්ගුත්තර ජනපදයෙහි චාරිකා කරන සේක් ආපණ නම් නියම් ගමට පැමිණි සේකැයි’ ඇසීය. ඒ භාග්යවත් ගෞතමයන් වහන්සේගේ මෙසේ යහපත්වූ කීර්ති ශබ්දයක් පැන නැංගේය. ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණිනුදු අර්හත්හ. සම්යක් සම්බුද්ධයහ, විද්යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලොකවිදූහ, නිරුත්තරවූ පුරිෂ දම්මසාරථිහ, දෙවි මිනිසුන්ට ශාස්තෘහ, බුද්ධයහ, භාග්යවත්හ, යනුයි. උන්වහන්සේ දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බ්රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, මිනිසුන් සහිතවූ, සත්ව වර්ගයා ඇතුළු මේ ලෝකය තමන් වහන්සේම මනාව දැන අවබෝධ කොට ප්රකාශ කරණසේක. උන්වහන්සේ මුල මැද අග යන තුන් තන්හි යහපත්වූ අර්ථ සහිතවූ, (ව්යඤ්ජන සහිතවූ) දස වැදෑරුම් අක්ෂර සම්පත්තියෙන් යුක්තවූ සියලු ආකාරයෙන් සම්පූර්ණවූ ධර්මය දේශනා කරණ සේක. පිරිසිදුවූ ශාසන බ්රහ්මචර්යය ප්රකාශ කරණසේක. එබඳුවූ රහතුන්ගේ දැකීමක්වේ නම් ඒ යහපත්මැයි කියායි.
ඉක්බිති කේණිය ජටිලයා භාග්යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට එළඹියේය. එළඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු වූත් සිහිකටයුතු වූත් කථාකොට නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක උන්නාවූ කේණිය ජටිලයාට භාග්යවතුන් වහන්සේ දැහැමි කථාවෙන් කුසල් දහම් විස්තර කළසේක. කුසල් දහම්හි සමාදන් කරවූසේක. නැවත නැවත උත්සාහවත් කරවූසේක. සතුටු කරවූසේක. ඉක්බිති කේණිය ජටිලයා භාග්යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවෙන් කුසල් දහම් විස්තර කරන ලද්දේ, කුසල ධර්මයන්හි සමාදන් කරවන ලද්දේ, නැවත නැවත උත්සාහවත් කරවන ලද්දේ, සතුටු කරවන ලද්දේ, භාග්යවතුන් වහන්සේට මෙසේ කීය. “භවත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග හෙට මාගේ දානය (ඉවසා වදාරණ) පිළිගන්නා සේක්වා”.
මෙසේ කී කල්හි භාග්යවතුන් වහන්සේ කේණිය ජටිලයාට මෙසේ කීහ. “කේණියය, භික්ෂු සංඝයා මහත්ය. භික්ෂූහු එක් දහස් දෙසිය පනහක් වෙත්. නුඹ වනාහි බමුණන් කෙරෙහි (අතිශයින් ප්රසන්නය.) බොහෝ පැහැදුනේය.” කේණිය ජටිලයා දෙවනුවත් භාග්යවතුන් වහන්සේට මෙසේ කීයේය. “භවත් ගෞතමයන් වහන්ස, භික්ෂුසංඝයා කොපමණ වෙත්ද?” භික්ෂූහු එක්දහස් දෙසිය පනහක් වෙති. මමත් බමුණන් කෙරෙහි බොහෝ පැහැදුනේ වෙමි. “භවත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග හෙට මාගේ දානය පිළිගන්නා (ඉවසා වදාරණ) සේක්වා” දෙවෙනුවත් භාග්යවතුන් වහන්සේ කේණිය ජටිලයාට මෙසේ වදාළහ. “කේණියය, භික්ෂු සංඝයා මහත්ය. භික්ෂූහු එක්දහස් දෙසිය පනහක් වෙති. නුඹ වනාහි බමුණන් කෙරෙහි (අතිශයින් ප්රසන්නය.) බොහෝ පැහැදුනේය.” තෙවනුවත් කේණිය ජටිලයා භාග්යවතුන් වහන්සේට මෙසේ කීය. “භවත් ගෞතමයන් වහන්ස, භික්ෂු සංඝයා කොපමණ වෙත්ද?” “භික්ෂූහු එක්දහස්දෙසිය පනහක්වෙති.” “මම වනාහි බමුණන් කෙරෙහි බොහෝ පැහැදුනේ වෙමි. භවත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග හෙට මාගේ දානය (ඉවසා වදාරන) පිළිගන්නා සේක්වා” භාග්යවතුන් වහන්සේ නිශ්ශබ්ද වීමෙන් ඉවසා වදාළසේක.
ඉක්බිති කේණිය ජටිලයා භාග්යවතුන් වහන්සේ ඉවසා වදාළ බව දැන හුනස්නෙන් නැගිට තමාගේ අසපුව යම් තැනෙකද, එතැනට එළඹියේය. එළඹ (මිත්රාමාත්යන්ද) මිතුරු ඇමතියන්ටද සහලේ නෑයන්ටද, කථාකළේය. “පින්වත් (මිත්රාමාත්යයයෝ) මිත්ර ඇමතියෝ සහලේ නෑයෝ මා කියන්නක් අසත්වා. මා විසින් ශ්රමණ ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග සෙට දවස බත් පිණිස ආරාධනා කරන ලද්දේය. යම්කිසිවකින් මට කාය වතාවතක් කරන්නහුද?” “එසේය. ස්වාමීනි”යි කේණිය ජටිලයාගේ (මිත්රාමාත්යයෝ) මිත්ර අමාත්යයෝ සහලේ නෑයෝ කේණිය ජටිලයාට පිළිතුරුදී සමහරු උදුන් සාරත්, සමහරු දර පලත්. සමහරු භාජන සෝදති. සමහරු දියමැණික් පිහිටුවත්. සමහරු අසුන් පනවත්. කේණිය ජටිලයා වනාහි තෙමේම මණ්ඩල මාලය (වස්තු මණ්ඩපය) පිළියෙළ කරයි.
397. එසමයෙහි වනාහි නාමනිඝණ්ඩු-ක්රියා කල්ප විකල්ප ශික්ෂා නිරුක්ති යන ප්රභේදයන් ඇති, ඉතිහාසය පස්වැනි කොට ඇති වෙදත්රයයේ කෙළවරට ගියාවූ, පද හා ව්යාකරණ හදාරන්නාවූ, විතණ්ඩ ශාස්ත්රයේත්, මහාපුරුෂ ලක්ෂණ ශාස්ත්රයේත්, අති දක්ෂවූ “සෙලබ්රාහ්මණතෙමේ ආපණ ගමේ වාසය කරයි. තුන් සියයක් මානවකයන්ට මන්ත්ර හදාරවයි. එසමයෙහි වනාහි කේණිය ජටිලයා සේලබමුණු කෙරෙහි අතිශයින් ප්රසන්නවූයේ වෙයි. එකල්හි සේලබමුණා තුන්සියයක් මානවකයන් පිරිවරණ ලදුව පා ගමනින් සක්මන් කරනුයේ හැසිරෙනුයේ කේණිය ජටිලයාගේ ආශ්රමය යම් තැනෙකද, එතැනට එළඹියේය. යම්කිසි කාරණයක් නිසා කේණිය ජටිලයාගේ සමහර ජටිලයන් උඳුන් හාරනුද, සමහර ජටිලයන් දර පලනුද, සමහර ජටිලයන් බඳුන් සෝදනුද, සමහර ජටිලයන් උදකමනි පිහිටුවනුද, සමහර ජටිලයන් අසුන් පනවනුද, තමාම මණ්ඩලමාලය පිළියෙළ කරන්නාවූ කේණිය ජටිලයාද “සේල” බමුණා දුටුවේය. දැක කේණිය ජටිලයාට මෙසේ කීය. “කිමෙක්ද? පින්වත් කේණියට ආවාහයක් හෝ වන්නේද, විවාහයක් හෝ වන්නේද, මහායාගයක් පිළියෙල කරන ලද්දේද, බලසේනාවන් සමග සේනිය බිම්බිසාර රජ සෙට දවස බත් පිණිස පවරණ ලද්දේද?” “භවත් සේලය, මට ආවාහයක් හෝ නොවන්නේය. විවාහයකුදු නොවන්නේය. බල සේනාවන් සමග සෙට දවස බත් පිණිස මාගධ සේනිය බිම්බිසාර රජද නොපවරණ ලද්දේය. යලිදු මහායාගයක් (දානයක්) පිළියෙල කරන ලද්දේය. ශාක්යපුත්ර වූ ශ්රමණ ගෞතමයන් වහන්සේ ශාක්යකුලයෙන් නික්ම පැවිදිව අඩ්ගුත්තර ජනපදයෙහි චාරිකා කරනසේක් එක්දහස් දෙසිය පනහක් භික්ෂූහු සංඝයා සමග ආපණ ගමට පැමිණිසේක. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ වනාහි මෙසේ යහපත්වූ කීර්ති ශබ්දයක් පැනනැංගේය. මෙකරුණිනුදු ඒ භාග්යවතුන් වහන්සේ අර්හත්හ, සම්යක් සම්බුද්ධයහ, විද්යාචරණ සම්පන්යහ, සුගතයහ, ලොකවිදූහ, නිරුත්තරවූ පුරුෂදම්මසාරථිහ, දෙවිමිනිසුන්ට අනුශාසකයහ, බුද්ධයහ, භාග්යවත්හ, උන්වහන්සේට භික්ෂුසංඝයා සමග සෙට දානය සඳහා මා විසින් ආරාධනා කරන ලදී.” “භවත් කේණිය, බුද්ධයයි කීවෙහිද?” “භවත් සේලය බුද්ධයයි කියමි”. “භවත් කේණිය, බුද්ධයයි කීයෙහිද?” “භවත් සේලය, බුද්ධයයි කියමි”, “භවත් කේණිය බුද්ධයයි කීවෙහිද?” “භවත් සේලය බුද්ධයයි කියමි.”
398. ඉක්බිති සේලබමුණාට මෙබඳු සිතක්විය. ‘ලෝකයෙහි යම් මේ බුද්ධ යන ශබ්දයද දුර්ලභය. අපගේ මන්ත්රයන්හි දෙතිස් මහාපුරිස් ලකුණු ආවේමය. ඒ ලක්ෂණයන්ගෙන් යුක්තවූ මහාපුරුෂයාහට ගති දෙකෙක්ම වෙති. අනිකෙක් නැත. ඉදින් හෙතෙම ගිහිගෙයි වසයිනම් ධාර්මිකවූ ධර්මරාජන්වූ චාතුර්දීපයට අධිපතිවූ දිනන සුලුවූ ජනපදයන්හි ස්ථිතිප්රාන්තවූ සත්රුවනින් සමන්විතවූ සක්විති රජවෙයි. මොවුහු ඔවුන්ගේ සත්රුවන්හුවෙත්. කවරහුයත්? චක්රරත්නය හස්තිරත්නය, අශ්වරත්නය, මාණික්යරත්නය, ස්ත්රිරත්නය, ගෘහපතිරත්නය, සත්වැනි වූ පරිනායක රත්නයද යන (මොවුහුයි) ශූරවූ දිව්යපුත්රයන්ට සමානවූ ශරීර ඇත්තාවූ පරසතුරු සේනාවන් මඩින්නාවූ දහසකටත් අධිකවූ පුත්රයෝ ඒ සක්විතිරජුට වෙත්. හෙතෙම සයුර කෙළවර කොට ඇති මේ පොළොව දඬුවම් කිරීම නැතිව යුධකිරීම් නැතිව ධර්මයෙන් දිනා අධිපතිව වෙසෙයි.