2. 4. 9.
ධම්මචෙතිය සූත්‍රය
364. මා විසින් මෙසේ අසනලදී එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි මෙකලුපනම් නියම් ගම වැඩ වෙසෙති. එකල්හි පසෙනදි කොසොල්රජ කිසියම් කටයුත්තක් සඳහා නගරක් නම් නියම් ගමට පැමිණියේ වෙයි. ඉක්බිති කොසොල් රජ දීඝකාරායණ නම් සේනාපතියාට කථාකළේය. “මිත්‍ර කාරායණ, යහපත් යහපත් යානාවන් පිළියෙල කරව්. උයන් සිරි දකිනු පිණිස උයනට යමුයි කීය. “දෙවයන් වහන්ස, එසේයයි” දීඝකාරායණතෙම පසෙනදි කොසොල් රජහට උත්තරදී, යහපත් යහපත් යානාවන් පිළියෙලකොට පසෙනදි කොසොල් රජහට “දෙවයන් වහන්ස, යහපත් යහපත් යානා පිළියෙල කරන ලදහ. ඔබ වහන්සේ යමක් අදහස් කෙරේනම් දැන් ඊට කාලයයි දැන්වීය. එවිට පසෙනදි කොසොල් රජ යහපත් යානාවකට නැග යහපත් යහපත් යානාවන්ගෙන් යුක්තව මහත් රාජානුභාවයෙන් නගරයෙන් පිටත්ව (උයන) යම් තෙනෙක්හිද එහි ගියේය. යානාවෙන් යා හැකි තැන දක්වා යානාවෙන් ගොස් යානාවෙන් බැස පයින්ම උයනට ඇතුල්විය.
උයනෙහි පයින්ම ඇවිද යන්නාවූ ගමන් කරන්නාවූ පසෙනදි කොසොල් රජ දැකීමට ප්‍රිය සිත සතුටු කරන නිශ්ශබ්දවූ ඝොෂා නැති ජනවාතයෙන් (මිනිසුන් කෙරෙන් නටන වාතයෙන්) පහව ගිය රහස්කුමන්ත්‍රණ වලට සුදුසු විවේකයට යොග්‍ය ගස්මුල් දිටීය. දැක භාග්‍යවතුන් වහන්සේ අරභයාම සිහි උපන. දැකීමට ප්‍රිය පැහැදීම ඇති කරණ නිශ්ශබ්දවූ ඝොෂා රහිත ජනවාතයෙන් පහවගිය රහස් කුමන්ත්‍රණවල සුදුසු විවේකයට සුදුසු මේ ගස්මුල් වෙති, මෙවැනි තන්හිදී අපි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරමුයි සිතී.
365. ඉක්බිති පසේනදී කොසොල් රජ දීඝකාරායණට කථා කෙළේය. “යහළු කාරායණය දැකීමට ප්‍රිය සිත් පහදවන ශබ්ද රහිත ඝොෂානැති මිනිස් වාතයෙන් පහවූ මිනිසුගේ රහස් කීමට සුදුසු විවේකයට යොග්‍යවූ ඒ මේ රුක්මුල් වෙති. මෙවැනි තන්හිදී අපි ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ ඇසුරු කරමුයි” (කීහ) “යහලු කාරායණය, දැන් ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුන් කොහි වැඩ වෙසෙත්දැයි” ඇසී,
“මහරජ, මෙකලුප නම් ශාක්‍යයන්ගේ නියම් ගමෙක් වෙයි. “ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ දැන් එහි වැඩ වෙසෙතියි, කීය. “යහලු කාරායණය, මෙකලුප නම් ශාක්‍යයන්ගේ නියම්ගම මෙහි සිට කෙතෙක් දුරෙහි දැයි” ඇසී. “මහරජ, දුරෙහි නොවෙයි. තුන්යොදුනකි. ඉතිරි දවල්කාලයෙන් පැමිණීමට හැකියයි” කීය. “යහළු කාරායණය, එසේනම් යහපත් යහපත් යානාවන් පිළියෙල කරව. ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ දකිණ පිණිස අපි යමුයිකීය.”
“දෙවයන් වහන්ස, එසේයයි දීඝකාරායණ තෙම පසෙනදි කොසොල් රජුට උත්තරදී, යහපත් යහපත් යානාවන් පිළියෙල කොට පසෙනදී කොසොල්රජුට “දෙවයන් වහන්ස, ඔබට යහපත් යහපත් යානාවෝ පිළියෙල කරණලදහ. යමක් පිණිස අදහස් කෙරෙහිනම් දැන් කාලය සුදුසුය” කියා දැන්වී. ඉක්බිති පසෙනදි කොසොල් රජ යහපත් යානාවකට නැග යහපත් යහපත් යානාවන් විසින් පිරිවරණ ලදුව නගරම නම් නියම් ගමින් පිටත්ව ගොස් ශාක්‍යයන්ගේ මෙකලුපනම් නියම් ගම් යම් තෙනකද, දවල් කාලයේම ඒ ශාක්‍යයන්ගේ මෙකලුපනම් නියම්ගමට පැමිණ ආරාමය යම් තෙනෙක්හිද, එහි ගොස් යානාවෙන් යාහැකි තැන්දක්වා යානාවෙන් ගොස් යානාවෙන් බැස පයින්ම ආරාමයට පැමිණියේය.
366. එකල්හි බොහෝ භික්ෂූහු එළිමහනෙහි සක්මන් කෙරෙති. එවිට පසෙනදී කොසොල් රජ ඒ භික්ෂූහු යම් තෙනකද, එහි පැමිණ ඒ භික්ෂූන්ට “ස්වාමීනි, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ දැන් කොහි වෙසෙත්ද, අපි ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ දකිනු කැමැත්තෙමුයි” කීය. “මහරජ, ඒ දොර වසා තිබෙන්නේ විහාරයයි. නිශ්ශබ්දව එහි පැමිණ සෙමින් ආලින්දයට (පිලට) ඇතුල්ව කාරා දොර අගුල සමීපයට තට්ටු කරව. භාග්‍යවතුන් වහන්සේ ඔබට දොර අරිතියි” කීහ. ඉක්බිති පසෙනදි කොසොල් රජ කඩුවද, නලල් පටද, එහිදීම දීඝකාරායණහට දුන්නේය. ඉක්බිති දීඝකාරායනහට මෙසේ සිත්විය. ‘මහරජතෙම දැන් ශ්‍රමණ ගෞතමයන් සමග රහස් කියයි. එහෙයින් දැන් මා විසින් මෙහිම සිටිය යුතු වෙයි, කියායි. ඉක්බිති පසෙනදි රජ වසනලද දොර ඇති ඒ විහාරය යම් තෙනකද, එහි නිශ්ශබ්දව ගොස් සෙමින් පිලට ඇතුල්ව කාරා අගුල සමීපයට තට්ටු කෙළේය. භාග්‍යවතුන් වහන්සේ දොර ඇරිසේක. එවිට පසෙනදි කොසොල් රජ විහාරයට ඇතුල්ව භාග්‍යවතුන් වහන්සේගේ පා ලඟ හිස තබා මුඛයෙන් පා සිඹීමද කරයි. දෙඅතින් පිරිමැදීමද කරයි. ‘ස්වාමීනි, මම පසෙනදි කොසොල් රජ වෙමි.” කියා නමද කියයි.
367. “මහරජ, නුඹ කෙබඳුවූ අර්ථයක් දක්නේ නම් ශරීරයට මෙතරම් බලවත් ගෞරවයක් කෙරෙහිද, බුහුමන් කිරීමක් දක්වන්නෙහිදැයි” ඇසූහ.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්මය ස්වාක්ඛ්‍යාය (මනාකොට දේශනා කරන ලද්දකි.) භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙමේ සුප්‍රතිපන්නය (මනා කොට පිළිපදින ලද්දේය.) කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පවත්නා අනුබුද්ධියෙක් ඇත්තේ (කාරණයන්ට අනුව දැනීමක්) යයි” කීය. “ස්වාමීනි, මම මෙහි ඇතැම් මහණ බමුණන් දකිමි. ඔවුහු දසවසක් හෝ විසිවසක් හෝ තිස්වසක් හෝ හතළිස් වසක් හෝ සීමාකොට බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙති. පසුකලෙක ඔවුහු මොනවට නෑවාහු, මොනවට සුවඳ විලවුන් ඇඟ ගැල්වූවාහු, අන්දම් තබා සැරසූ කෙස් රැවුල් ඇත්තෝව, පස්කම් ගුණ වලින් යුක්තව ඉඳුරන් පිනවන්නාහ. ස්වාමීනි, මම මේ ශාසනයෙහි දිවිතෙක් මරණය දක්වා සම්පූර්ණ පිරිසිදු බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන ශ්‍රාවකයන් දකියි. ස්වාමීනි, මම මේ ශාසනයෙන් පිට මෙසේ සම්පූර්ණවූද පිරිසිදු, අනික් බ්‍රහ්මචරියාවක් නොම දකිමි. ස්වාමීනි, මේද භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධය, ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට දෙශිතය. සංඝ තෙමේ සුප්‍රතිපන්නිය කියා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මාගේ කාරණානුකූල වශයෙන් දැනීමක් වෙයි.