2. 4. 10.
කණ්ණකත්ථල සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උජුකා නගරය ඇසුරු කොට කණ්ණකත්ථල මිගදායෙහි වැඩ වෙසෙති. එකල්හි පසෙනදි කොසොල් රජ කිසියම් කටයුත්තක් පිණිස උජුකා නගරයට පැමිණියේ වෙයි. එවිට පසෙනදි කොසොල්රජ එක්තරා පුරුෂයෙක් කැඳවා, ‘එම්බා පුරුෂය, මෙහි එව, නුඹ භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද, එහි යව. ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා මුදුනෙන් වඳුව. ආබාධ රහිත බව, නිරෝග බව, සැහැල්ලුකම, කායබලය, සැපවිහරණය විචාරව: “ස්වාමීනි, පසෙනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් මුදුනෙන් වඳියි. ආබාධ රහිත බව, නිරෝග බව, සැහැල්ලුකම, කායබලය, සැප විහරණය විචාරයි” කියාය. මෙසේද කියව: “ස්වාමීනි, අද පසෙනදි කොසොල්රජ දවල් ආහාර අනුභව කොට සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දකින පිණිස පැමිණෙන්නේය”’ යි.
“දෙවයන් වහන්ස, එසේය” කියා ඒ පුරුෂතෙම පසෙනදි කොසොල් රජහට උත්තර දී, භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද, එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ඒ පුරුෂතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, පසෙනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් මුදුනෙන් වඳියි. ආබාධ රහිත බව, නිරෝග බව, ලුහු පැවතුම්, කායශක්තිය, සැපවිහරණය විචාරයි. මෙසේද කියයි: ‘ස්වාමීනි, අද පසෙනදි කොසොල්රජ දවල් ආහාර ගෙන සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස පැමිණෙන්නේය’ කියාය.”
සොමා සොහොයුරියද සකුලා සොහොයුරියද ‘අද පසෙනදි කොසොල්රජ දහවල් ආහාරගෙන සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස පැමිණෙන්නේය’ කියා ඇසුවාහුය. එකල්හි සොමා සොහොයුරියද සකුලා සොහොයුරියද රජු බත් කන තැනට පැමිණ පසෙනදි කොසොල් රජුට මෙසේ කීහු: ‘එසේ නම් මහරජ, අපගේ වචනයෙන්ද, භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් මුදුනෙන් වැන්ද මැනව. ආබාධ නැති බව, නිරෝග බව, ලුහු පැවතුම්, කාය බලය, සැපවිහරණය, විචාළ මැනව: “ස්වාමීනි, සොමා සොහොයුරියද සකුලා සොහොයුරියද භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳිති. ආබාධ රහිත බව, නිරෝග බව, ලුහු පැවතුම්, කාය බලය, සැපවිහරණය විචාරති”’ කියාය.
ඉක්බිති පසෙනදි කොසොල්රජ දවල් බත අනුභව කොට අවසන් වූයේ සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ යම්තෙනකද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වැඳ, එක්පසෙක හිඳගත්තේය. එක්පසෙක හුන් පසෙනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: ‘ස්වාමීනි, සොමා සොහොයුරියද සකුලා සොහොයුරියද භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳිති. ආබාධ රහිත බව, නිරෝග බව, ලුහු පැවතුම්, කාය බලය, සැපවිහරණය විචාරති’යි. කිමෙක්ද? මහරජ, සොමා සොහොයුරියද සකුලා සොහොයුරියද අනික් දූතයෙකු නොලැබුවාහුදැයි?
ස්වාමීනි, සොමා සොහොයුරියද සකුලා සොහොයුරියද ‘අද පසෙනදි කොසොල්රජ දවල් බත අනුභව කොට අවසන්ව, සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස යන්නේය’ කියා ඇසුවාහුය. ඉක්බිති ස්වාමීනි, සොමා සොහොයුරියද සකුලා සොහොයුරියද රජු බත් කන තැනට මා වෙත පැමිණ මෙසේ කීවාහුය: ‘එසේ නම් මහරජ, අපගේ වචනයෙන්ද භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳිනු මැනවි. ආබාධ රහිත බව, නිරෝග බව, ලුහු පැවතුම්, කාය බලය, සැපවිහරණය විචාළ මැනව: “ස්වාමීනි, සොමා සොහොයුරියද සකුලා සොහොයුරියද භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳිති. ආබාධ රහිත බව, නිරෝග බව, ලුහු පැවතුම්, කායබලය, සැපවිහරණය විචාරති”’ කියාය. මහරජ, සොමා සොහොයුරියද සකුලා සොහොයුරියද සුව ඇත්තියෝ වෙත්වායි.
ඉක්බිති පසෙනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, මා විසින් මේ බව අසන ලදී, ශ්‍රමණ ගෞතම තෙම මෙසේ කියයි: ‘යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ සියල්ල දන්නේය, සියල්ල දක්නේයයි ඉතිරි නොවූ ඥානදර්ශනයක් ප්‍රතිඥා කරන්නේද, එබඳු ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත. ඊට අවකාශයක් (කරුණක්) නැතැ’යි. ස්වාමීනි, යම් ඒ කෙනෙක් ‘ශ්‍රමණ ගෞතම තෙම මෙසේ කියන්නේය: යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ සියල්ල දන්නේය, සියල්ල දක්නේයයි ඉතිරි නොකොට ඥානදර්ශනයක් ප්‍රතිඥා කරන්නේද? එබඳු ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත. ඊට අවකාශයක් නැතැ’යි කීවාහුද; කිම ස්වාමීනි, ඔව්හු භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නාහුද? භාග්‍යවතුන් වහන්සේට අසත්‍යයෙන් චොදනා නොකරන්නාහුද? ධර්මානුකූලව ප්‍රකාශ කරන්නාහුද? කරුණු සහිතවූ කිසියම් වාදයක් නින්දාවට සුදුසු බවට නොපැමිණේද?”
මහරජ, යම් ඒ කෙනෙක් මෙසේ කීහුද: ‘ශ්‍රමණ ගෞතම තෙම මෙසේ කියන්නේය: යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ සියල්ල දන්නේය, සියල්ල දක්නේයයි ඉතිරි නොකොට ඥානදර්ශනයක් ප්‍රතිඥා කරන්නේද, එබඳු ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත. ඊට අවකාශයක් නැත’ යනුවෙනි. මහරජ, එසේ කියන්නාවූ ඔව්හු මා විසින් කියන ලද්දක් කියන්නෝ නොවෙති. ඔව්හු අසත්‍යයෙන් මට චොදනා කරන්නාහුය.
එවිට පසෙනදි කොසොල්රජ විඩුඩභ සෙනාපතියාට කථාකොට “සෙනාපතිය, කවරෙක් අද රජුගේ අන්තඃපුරයෙහිදී මේ කථාව කීවේදැයි” ඇසී. “මහරජ, ආකාශ ගොත්‍රයෙහිවූ සඤ්ජය නම් බ්‍රාහ්මණයාය”යි හෙතෙම කීය.
ඉක්බිති පසෙනදි කොසොල්රජ එක්තරා පුරුෂයෙක් කැඳවීය: ‘එම්බා පුරුෂය, මෙහි එව, නුඹ මාගේ වචනයෙන් ආකාශ ගොත්‍රයෙහි සඤ්ජය බ්‍රාහ්මණයා අමතව: “පින්වත, පසෙනදි කොසොල් රජ ඔබ කැඳවයි” කියාය.’ ‘දෙවයන් වහන්ස, එසේය’ කියා ඒ පුරුෂයා පසෙනදි කොසොල් රජහට උත්තර දී ආකාශ ගොත්‍රයෙහිවූ සඤ්ජය බ්‍රාහ්මණයා යම් තෙනකද, එහි පැමිණ ආකාශ ගොත්‍ර ඇති සඤ්ජය බ්‍රාහ්මණයාහට මෙසේ කීය: ‘පින්වත, පසෙනදි කොසොල් රජ ඔබ කැඳවයි’ කියාය.
ඉක්බිති පසෙනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අන් කිසිවක් සඳහාම කියන ලද වචනයක් ඇත්තේද, යමක් ජනයා වෙනස්ව වරදවා ගන්නාහුද?”
“මහරජ, (එසේ) කියන ලද වචනයක් දනිමියි” වදාළ සේක.