4. රාජ වර්ගය
2. 4. 1.
ඝටීකාර සූත්රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්යවතුන් වහන්සේ මහත්වූ භික්ෂු සමූහයක් සමග කොසොල් ජනපදයෙහි චාරිකාවෙහි වඩිනාසේක. ඒ කාලයෙහි මාර්ගයෙන් ඉවත්ව එක් පෙදෙසෙක්හි වැඩසිටියාවූ භාග්යවතුන් වහන්සේ සිනහ පහල කෙළේය. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙබඳු සිතෙක් විය. ‘භාග්යවතුන් වහන්සේගේ සිනහ පහළකිරීමට හේතුව කිමෙක්ද? ප්රත්යය (කරුණ) කිමෙක්ද? තථාගතවරයෝ කරුණක් නැතිව සිනහ පහල නොකෙරෙති’යි (කියාය.) ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙමේ සිව්ර එකාංශකොට පොරවා, භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද ඒ දෙසට ඇඳිලිබැඳ වැඳ, භාග්යවතුන් වහන්සේට මේ කාරණය කීය: “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේගේ සිනහ පහළ කිරීමට හේතුව කුමක්ද? කාරණය කුමක්ද? තථාගත වරයෝ නොකරුණෙහි සිනහ පහල නොකෙරෙති”යි කියාය.
“ආනන්දය, පෙර වූවක් කියමි. එනම් මේ ප්රදෙශයෙහි සමුර්ධවූ සම්පත් ඇති, සැපතින් පිරී ගියාවූ බොහෝ ජන සමූහයා ඇති, මිනිසුන්ගෙන් ගැවසීගත් වෙගලිංග නම් නියම්ගමෙක් විය. ආනන්දය, භාග්යවත්වූ අර්හත්වූ කාශ්යප සම්යක් සම්බුදුන් වහන්සේ වෙගලිංග නම් නියම්ගම ඇසුරුකොට විසූහ. ආනන්දය, භාග්යවත් අර්හත් කාශ්යප සම්යක් සම්බුදුන් වහන්සේ මෙහි වැඩහිඳ, භික්ෂු සංඝයාට අවවාද කෙරේයයි” (වදාළහ.)
එකල්හි ආයුෂ්මත් ආනන්දතෙමේ දෙපට සිවුර සතරට නමා අසුනක් පණවා භාග්යවතුන් වහන්සේට මේ කාරණය කීහ. “ස්වාමීනි, එසේ නම් භාග්යවතුන් වහන්සේ හිඳිනාසේක්වා. එසේ කල්හි මේ බිම් කොටස අර්හත්වූ සම්යක් සම්බුදුවරු දෙදෙනෙකුන් වහන්සේ විසින් පරිභොග කරණ ලද්දේ වන්නේයයි” කීහ.
භාග්යවතුන් වහන්සේ පැණවූ අස්නෙහි වැඩඋන්හ. හිඳගත් භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන්ට කථාකළහ. “ආනන්දය, පෙර දවස මේ ප්රදෙශයෙහි ධනයෙන් පිරුණු සැපතෙන් පිරීගිය බොහෝ ජනයන් ඇති, මිනිසුන්ගෙන් ගහණවූ වෙගලිංග නම් නියම්ගමක් වූයේය. ආනන්ද්ය, වෙගලිංග නම් නියම්ගම ඇසුරුකොට භගවත් අර්හත් කාශ්යප සම්යක් සම්බුදුන් වහන්සේ වැඩවිසූහ. ආනන්දය, මෙහි වූකලී භගවත් අර්හත් කාශ්යප සම්යක් සම්බුදුන්ගේ ආරාමය වූයේය. ආනන්දය, මෙහි වැඩහුන්නාවූ භගවත්වූ අර්හත්වූ කාශ්යප සම්යක් සම්බුදුන් වහන්සේ භික්ෂු සංඝයාට අවවාද දෙයි.
“ආනන්දය, වෙගලිංග නම් ගමෙහි භාග්යවත්වූ අර්හත්වූ කාශ්යප සම්යක් සම්බුදුන්ගේ උපස්ථායකවූ ඝටීකාර නම් කුම්භකාරයෙක් වූයේය. (ඔහු) අග්රවූ උපස්ථායක කෙනෙකි. ආනන්දය, ඝටීකාර නම් කුම්භකාරයාගේ යහළුවූ ජොතිපාල නම් තරුණයෙක්ද වූයේය. හේ ප්රියවූ යහළුවෙකි. ඒ කාලයෙහි ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේ ජොතිපාල මානවකයාට කථා කෙළේය. “යහළු ජොතිපාලය, භාග්යවත්වූ අර්හත්වූ කාශ්යප සම්යක් සම්බුදුන් දැකීම පිණිස යමු. මාගේ ඒ භාග්යවත්වූ අර්හත්වූ ඒ සම්යක් සම්බුදුන්ගේ දැකීම් යහපතැයි සම්මත වූයේමය. එබැවින් යමු’යි (කීහ.)
“ආනන්දය, මෙසේ කීකල්හි ජොතිපාල මානව තෙමේ ඝටීකාර කුම්භකාරයාහට මෙසේ කීය. ‘මිත්ර ඝටීකාරය, ඒ මුඩු ශ්රමණයා දැකීමෙන් කවර නම් ප්රයෝජනයෙක්ද, ඉන් කම් නැතැයි, කීහ. ආනන්දය, දෙවනුවද, ඝටීකාර කුම්භකාර තෙමේ ජොතිපාල මානවකයාට මේ කාරණය කීයේය. “යහලු ජොතිපාලය, අර්හත්වූ සම්යක් සම්බුද්ධවූ කාශ්යප භාග්යතවතුන් වහන්සේ දැකීම පිණිස යමු. මාගේ අර්හත්වූ සම්යක් සම්බුද්ධවූ ඒ භාග්යවතුන් වහන්සේගේ දැකීම මැනවැයි සම්මත වූයේ එය (එබැවින්) යමු”යි (කීය.) ආනන්දය, දෙවනුවත් ජොතිපාල මානවක තෙම ඝටීකාර කුම්භකාරයාට මෙසේ කීය: ‘යහලු ඝටීකාරය, ඒ හිස මුඩු මහණාගේ දැකීමෙන් කුමන ප්රයෝජනයක්ද? ඉන් වැඩක් නැතැයි’ (කීය.) ආනන්දය, තුන්වෙනුවද ඝටීකාර කුම්භකාර තෙමේ ජොතිපාල මානවකයාට මේ කාරණය කීහ. ‘යහලු ජොතිපාලය, භාග්යවත්වූ අර්හත්වූ කාශ්යප සම්යක් සම්බුදුන් දැකීම පිණිසයමු. මාගේ භාග්යවත්වූ අර්හත්වූ ඒ සම්යක් සම්බුදුන්ගේ දැකීම මැනවයි සම්මත වූයේමය (එබැවින්) යමුයි’ කීය. “තුන්වෙනුවත්, ආනන්දය, ජොතිපාල මාණවක තෙමේ ඝටීකාර කුම්භකාරයාහට මේ කාරණය කීය. ‘යහළුව ඝටීකාරය. ඒ මුඩු ශ්රමණයා දැකීමෙන් කවර ප්රයෝජනයක්ද, ඉන් වැඩෙක් නැතැයි’ කීය. “එසේ නම් යහළු ජොතිපාලය, නහන සුණු ගෙන දියනාන්ට ගඟට යමුයි’ කීය. ආනන්දය, ජොතිපාල මානවක තෙමේ, ‘යහලුව එසේය’ කියා, ඝටීකාර කුම්භකාරයාහට උත්තර දුනි. ඉක්බිති ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේද, ජොතිපාල මානවකතෙමේද (කුරුවින්ද පාෂාණයෙන් කළ) නහන සුණු ගෙණ දිය නෑමට ගඟට ගියාහුය.
එහිදී ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේ ජොතිපාල මානවකයාට කථා කළේය. “යහලුව ජොතිපාලය, භාග්යවත්වූ අර්හත්වූ කාශ්යප සම්යක් සම්බුදුන්ගේ ආරාමය මේ ළඟය. මිත්ර ජොතිපාලය, භාග්යවත්වූ අර්හත්වූ කාශ්යප සම්යක් සම්බුදුන් දැකීමට යමු. මාගේ භාග්යවත්වූ අර්හත්වූ ඒ සම්යක් සම්බුදුන්ගේ දැකීම යහපතයයි සම්මත වූයේමය. (එබැවින්) යමුයි,’ කීය.
“ආනන්දය, මෙසේ කී කල්හි ජොතිපාල තරුණ තෙමේ ඝටීකාර කුම්භකාරයාහට මෙසේ කීය. ‘යහලුව ඝටීකාරය, මුඩු ශ්රමණයා දැකීමෙන් කුමන වැඩෙක්ද, එයින් වැඩක් නැතැයි, කීය. ඝටීකාර කුම්භකාරතෙම ජොතිපාල මානවකයාට මෙසේ කීය. ‘යහලු ජෝතිපාලය, අර්හත්වූ සම්යක් සම්බුද්ධවූ කාශ්යප භාග්යවතුන් වහන්සේගේ ආරාමය මේ ළඟය. යහලුව ජොතිපාලය, අර්හත් සම්යක් සම්බුද්ධවූ කාශ්යප භාග්යවතුන් වහන්සේ දකින්ට එහි යමු’ මාගේ අර්හත් සම්යක් සම්බුද්ධවූ ඒ භාග්යවතුන් වහන්සේගේ දැකීම යහපතැයි සම්මතය, එහෙයින් යමු. ආනන්දය, දෙවනුවද ජෝතිපාල මානවක තෙම ඝටීකාර කුම්භකාරයාට මෙසේ කීය. ‘යහලු ඝටීකාරය, ඒ හිස මුඩු මහණාගේ දැකීමෙන් කුමණ ප්රයෝජනයක්ද, එයින් වැඩක් නැතැයි’ කීය. “ආනන්දය, දෙවනුවත් තුන්වනුවත් ඝටීකාර කුම්භකාර තෙමේ ජොතිපාල මානවකයාට මෙසේ කීය. ‘යහලුව ජොතිපාලය, භාග්යවත්වූ අර්හත්වූ කාශ්යප සම්බුදුන්ගේ ආරාමය මේ නුදුරුතන්හිය. යහලුව ජොතිපාලය, භාග්යවත් අර්හත් කාශ්යප සම්යක් සම්බුදුන් දකිනු පිණිස (එහි) යමු.’ ‘මාගේ භාග්යවත්වූ අර්හත්වූ ඒ සම්යක් සම්බුදුන්ගේ දැකීම මැනවයි සම්මතමය, එහෙයින් යමුයි කීය. තුන්වෙනුවද, ආනන්දය, තරුණ ජොතිපාල තෙමේ ඝටීකාර කුම්භකාරයාහට මේ කාරණය කීය: “මිත්ර ඝටීකාරය, ඒ හිස මුඩු ශ්රමණයා දැකීමෙන් කුමණ ප්රයෝජනයෙක්ද? (එහෙයින්) වැඩක් නැත’ (යනුයි)
“එකල්හි ආනන්දය, ඝටීකාර කුම්භකාර තෙමේ ජොතිපාල මාණවකයාගේ ඔඩොක්කුවෙන් අල්වා ගෙන මෙසේ කීය. ‘යහළුව ජොතිපාලයිනි, භාග්යවත්වූ අර්හත්වූ කාශ්යප සම්යක් සම්බුදුන්ගේ ආරාමය මේ සමීපයෙහිය. යහළුව ජොතිපාලයිනි, භාග්යවත් අර්හත් කාශ්යප සම්යක් සම්බුදුන් දැකීමට (එහි) යමු. මාගේ භාග්යවත්වූ අර්හත්වූ ඒ සම්යක් සම්බුදුන්ගේ දැකීම යහපතය කියා සම්මතය, (එහෙයින්) යමුයි’ කීය.
“එකල්හි ආනන්දය, ජොතිපාල තරුණ තෙමේ ඔඩොක්කුව අත්හැර ඝටීකාර කුම්භකාරයාහට මෙසේ කීය. ‘මිත්රය ඝටීකාරය, ඒ මුඩු ශ්රමණයා දැකීමෙන් කුමන පලයෙක්ද? එයින් කම් නැතැයි’ කීහ.