2. 4. 8.
බාහිතික සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කාලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි, අනේ පිඩු සිටුහුගේ ජේතවනාරාමයෙහි වැඩ වෙසෙති. ඒ කාලයෙහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ පෙර වරුයෙහි හැඳ පොරවා පාත්‍රා සිවුරුගෙණ පිඩු පිණිස සැවැත්නුවරට පැමිණියේය. සැවැත් නුවර පිඩු පිණිස හැසිර පිණ්ඩපාතයෙන් වැලක සවස් කාලයෙහි මිගාරමාතු ප්‍රාසාදනම්වූ පූර්වාරාමය යම් තෙනකද, එහි දවල් විසීම පිණිස පැමිණියේය.
ඒ කාලයෙහි පසෙනදි කොසොල් රජ තෙමේ එක පුණ්ඩරීක නම් ඇතුපිට නැග මැදිදවල් සැවැත් නුවරින් පිටත් විය. පසෙනදි කොසොල් රජ තෙමේ වඩින්නාවූ ආයුෂ්මත් ආනන්ද තෙරුන් දුරදීම දිටී. දැක සිරිවඞ්ඪනම් මහ ඇමතියාට කථාකොට “යහලු සිරිවඞ්ඪයිනි, මේ ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝදැයි” (ඇසී) “මහරජ, එසේය, මේ ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝයයි” කීය. ඉක්බිති පසෙනදි කොසොල් රජතෙමේ අනික් පුරුෂයෙකු කැඳවී. “එම්බා පුරුෂය, මෙහි එව, නුඹ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තෙනකද, එහි පැමිණ මාගේ වචනයෙන් ‘ස්වාමීනි, පසෙනදි කොසොල් රජතෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ගේ පාදයන් සිරසින් වඳියි’. කියා ආයුෂ්මත් ආනන්ද තෙරුන්ගේ පාදයන් සිරසින් වඳුව මෙසේද කියව්: “ස්වාමීන් වහන්ස, ඉදින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට කිසි ඉක්මන් කටයුත්තෙක් නොවේනම්, ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අනුකම්පා කොට මොහොතක් බලාපොරොත්තු වනසේක්වායිද කියන්නේය’ යනුයි. “දෙවයෙනි, එසේය” කියා ඒ පුරුෂතෙම පසෙනදි කොසොල් රජහට උත්තරදී ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම යම් තෙනෙක්හිද, එහි පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වැඳ එක් පසෙක්හි සිටියේය. එක් පසෙක සිටි ඒ පුරුෂතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට “ස්වාමීනි වහන්ස, පසෙනදි කොසොල් රජතෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් පාදයන් සිරසින් වඳියි. “මෙසේද කියයි. ‘ස්වාමීන් වහන්ස, ඉදින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කිසිත් ඉක්මන් කටයුත්තක් නොවෙයි නම්, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අනුකම්පාකොට මොහොතක් බලාපොරොත්තු වෙන සේක්වා, යනුයි” ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ තුෂ්ණිම් භාවයෙන් ඉවසූහ.
ඉක්බිති පසෙනදි කොසොල් රජතෙමේ ඇතුපිටින් යාමට සුදුසු තැන් දක්වා ඇතුපිටින් ගොස් ඇතුපිටින් බැස පයින්ම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තෙනකද එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වැඳ එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි පසෙනදි කොසොල් රජතෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට “ස්වාමීන් වහන්ස, ඉදින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට කිසි ඉක්මන් කටයුත්තෙක් නොවේ නම් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අනුකම්පා කොට අචිරවතී ගංතෙර යම් තෙනකද එහි වඩිනු මැනවයි’ කීය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ තුෂ්ණිම් භාවයෙන් ඉවසී.
අනතුරුව ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අචිරවතී ගංතෙර යම් තෙනකද එහි පැමිණ ගසක් මුල පැනවූ අස්නෙහි හිඳගත්හ. එවිට පසෙනදි කොසොල් රජතෙම ඇතුපිටින් යාමට සුදුසු තැන් දක්වා ඇතු පිටින් ගොස් ඇතු පිටින් බැස පයින්ම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තෙනකද එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වැඳ එක් පසෙක සිටියේය. එක් පසෙක සිටියාවූ පසෙනදි කොසොල්රජ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට ‘ස්වාමීනි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඇතුපිට එලන පලසෙහි හිඳිනා සේක්වායි” (කීයේය) මහරජ, කම්නැත ඔබ හිඳිනු මැනවි, මාගේ අස්නෙහි හුන්නේ වෙමියි” (කීහ) පසේනදී කොසොල් රජ පණවනලද අස්නෙහි හුන්නේය. හිඳගත් පසෙනදි කොසොල් රජ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කීය.
“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, නුවණ ඇති මහණ බමුණන් විසින් දොස් කීමට සුදුසුවූ යම් කාය සමාචාරයක් (කයේ පැවැත්මක්) වේද, එබඳු කාය සමාචාරය ඒ භාග්‍යවතුන් වහන්සේ පවත්වන්නේදැයි” ඇසී. “මහරජ, නුවණ ඇති මහණ බමුණන් විසින් දොස්කීමට සුදුසුවූ යම් කාය සමාචාරයෙක් වේද, එබඳු කාය සමාචාරයක් ඒ භාග්‍යවතුන් වහන්සේ නොපවත්නාහයි” කීය.
“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, නුවණ ඇති, මහණ බමුණන් විසින් යම් වාක්සමාචාරයක් දෝෂාරොපණයට සුදුසු වේද, එබඳුවූ, වාග්සමාචාරය ඒ භාග්‍යවතුන් වහන්සේ කීම කරන්නේදැයි” (ඇසීය.)“මහරජ, යම් වාක්සමාචාරයක් නුවණ ඇති, මහණ බමුණන් විසින් දෝෂාරොපණය කළ යුත්තේද, එබඳුවූ, වාක්සමාචාරයෙක්හි ඒ භාග්‍යවතුන් වහන්සේ නොම හැසිරෙයි.” “ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, නුවණ ඇති මහණ බමුණන් විසින් යම් මනොසමාචාරයක් දෝෂාරොපණයට සුදුසු වේද, එබඳුවූ මනොසමාචාරය ඒ භාග්‍යවතුන් වහන්සේ කිම කරන්නේදැයි?” (ඇසීය.) “මහරජ, යම් මනොසමාචාරයක් නුවණ ඇති මහණ බමුණන් විසින් දෝෂාරොපණය කරන ලද්දේද, එබඳුවූ, මනොසමාචාරයෙක්හි ඒ භාග්‍යවතුන් වහන්සේ නොම හැසිරෙයි.”
“ස්වාමීනි, ආශ්චර්යය, ස්වාමීනි පුදුමයි. ස්වාමීනි යම්වචනයක් ශ්‍රමණයන් යන වචනය හා යොදා සම්පූර්ණ කිරීමට අපට නොහැකිවීද? ස්වාමීනි, නුවණැති යන ඒ වචනය ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් විසින් ප්‍රශ්න විසඳීමේදී සම්පූර්ණ කරණ ලදී. ස්වාමීනි, යම් අදක්ෂ නුවණැති කෙනෙක් නුවණින් නොවිමසා තීරණයකට නොබැස අනුන්ගේ ගුණ හෝ අගුණ කියද්ද? අපි ඒ කීම් සාරවසයෙන් නොපිළිගණිමු. ස්වාමීනි, පණ්ඩිතවූ දක්ෂවූ නුවණැති යම් ඒ කෙනෙක් නුවණින් විමසා තීරණයට බැස අනුන්ගේ ගුණ හෝ අගුණ හෝ කියද්ද? ඒ කීම අපි සාර වසයෙන් පිළිගණිමු.
“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයෙනි, නුවණ ඇති මහණ බමුණන් විසින් දොස් නැගිය යුතු කාය සමාචාරය (කය පිළිබඳ පැවැත්ම) කවරේද?”
“මහරජ, යම් කායික පැවැත්මක් අකුසල් නම් එයයි.”
“ස්වාමීනි කිනම්, කායික පැවැත්මක් අකුසල්ද?”
“මහරජ, යම් කායික පැවැත්මක් වරද සහිත නම් එයයි.”
“ස්වාමීනි, වරද සහිත කායික පවැත්ම නම් කවරේද?”
“මහරජ, යම් ඒ කායික පැවැත්මක් දුක් සහිත නම් එයයි”
“ස්වාමීනි, දුක් සහිත කායික පැවැත්මනම් කවරේද?”
“මහරජ යම් කායික පැවැත්මක් දුක්වූ විපාක ඇත්නම් එයයි.”
“ස්වාමීනි, දුක් විපාක ඇති කායික පැවැත්ම නම් කවරේද?”