2. 4. 7.
පියජාතික සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී: එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවාසය කරති. එකල එක් ගෘහපතියෙකුගේ ප්‍රියවූ මනාපවූ එකම පුත්‍රතෙම කළුරිය කෙළේ වෙයි. පුත්‍රයාගේ මරණයෙන් ඒ ගෘහපතියාහට කර්මාන්ත රුචි නොවෙත්. ආහාරයද රුචි නොවෙයි. හෙතෙම සොහොණට ගොස් ගොස් ‘එකම පුත්‍රය, ඔබ කොහිද, එකම පුත්‍රය ඔබ කොහිදැයි’ කියමින් විලාප කියයි. ඉක්බිති ඒ ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක උන්නේය. එසේ උන් ඒ ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය: “ගෘහපතිය, නුඹගේ ඉන්ද්‍රියයන්ගේ ප්‍රකෘති ස්වභාවය නැත, නුඹගේ ඉන්ද්‍රියයන්ගේ වෙනස්බවක් ඇතැයි” වදාළේය.
“ස්වාමීන් වහන්ස, මාගේ ඉන්ද්‍රියන්ගේ වෙනස් බවෙක් කෙසේ නම් නොවන්නේද? ස්වාමීන් වහන්ස, මාගේ ප්‍රියවූ, මනාපවූ, එකම පුත්‍රයා මළේය. ඔහුගේ මරණයෙන් පසු මේ කර්මාන්තයද රුචි නොවෙති. ආහාරයද රුචි නැත. ඒ මම සොහොනට ගොස් ‘එකම පුත්‍රය, ඔබ කොහිද? එකම පුත්‍රය, ඔබ කොහිද? කියමින් අඬමියි” කීය.
“ගෘහපතිය, ඒ එසේමය. ගෘහපතිය, ඒ එසේමය. ගෘහපතිය, ශෝකය වැළපීම දුකය, දොම්නසය, බලවත් වෙහෙසය, යන මොහු පිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදින්නාහුය.”
“ස්වාමීනි, ශෝකය, වැළපීම, දුක, දොම්නස, දැඩි වෙහෙස යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපන්නේය, යන මේ කාරණය කෙසේ නම් වන්නේද? ස්වාමීනි, ප්‍රිය දෙයින් සතුට සොම්නස හටගන්නේය. උපදනාහුයයි” කියා ඒ ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට නොසතුටුව ප්‍රතික්ෂෙප කොට ආසනයෙන් නැගිට ගියේය.
එකල්හි බොහෝ දාදු කෙළින්නෝ භාග්‍යවතුන් වහන්සේට සමීප තැනක දාදු කෙළිති. එවිට ඒ ගෘහපතිතෙම ඒ දාදු කෙළින්නෝ යම් තෙනකද එහි පැමිණ දාදු කෙළින්නන්ට මෙසේ කීය. “පින්වතුනි, මෙහි මම ශ්‍රමණ ගෞතම තෙම යම් තෙනකද එහි ගියෙමි. ගොස් ශ්‍රමණ ගෞතමයන් වැඳ එකත් පසෙක හුනිමි. පින්වතුනි, ඒ පසෙක උන් මට ශ්‍රමණ ගෞතම තෙමේ මෙසේ කීය: “ගෘහපතිය, නුඹගේ ඉන්ද්‍රියයෝ පැහැදිලි නැත. නුඹගේ ඉන්ද්‍රියයන්ගේ වෙනස් බවක් ඇතැයි” කීය. “පින්වතුනි, මෙසේ කීකල්හි මම ශ්‍රමණ ගෞතමයන්ට, මෙසේ “ස්වාමීනි, මාගේ ඉන්ද්‍රියවෙනස් බවෙක් කෙසේ නම් නොවන්නේද? ස්වාමීනි මාගේය මනාප එකම පුත්‍රයා මළේය. ඔහුගේ මරණයෙන් මට කර්මාන්තද රුචි නොවෙති. ආහාරද රුචි නැත. ඒ මම සොහොනට ගොස් ‘එකම පුත්‍රය ඔබ කොහිද? එකම පුත්‍රය ඔබ කොහිද, කියමින් හඬමි’යි කීයෙමි. එසේ කී කල්හි, ‘ගෘහපතිය, ඒ එසේමය. ගෘහපතිය ඒ එසේමය’ ගෘහපතිය, සොකය, හැඬීමය, දුකය, දොම්නසය දැඩි වෙහෙසය යන මොහු ප්‍රිය දෙයින් උපදනාහු වෙති. ප්‍රිය දෙයින් හටගන්නාහු වෙති” කීය. “ස්වාමීනි, සොකය, හැඬීම දුකය, දොම්නසය යන මොහු ප්‍රිය දෙයින් උපදනාහුය. ප්‍රිය දෙයින් හටගන්නාහුය. යන මේ කාරණය වනාහි කෙසේ වන්නේද?
“ස්වාමීනි, ප්‍රිය දෙයින් සතුට හා සොම්නස හටගන්නාහුය, උපදනාහුයයි’ කියා මම ශ්‍රමණ ගෞතමයන්ගේ කීමට සතුටු නොවී ප්‍රතික්ෂෙපකොට හුන් ආසනයෙන් නැගිට ගියෙමියි” කීය.
“ගෘහපතිය, ඒ කාරණය එසේමය. ගෘහපතිය, ඒ කාරණය එසේමය. ගෘහපතිය, සතුට හා සොම්නස යන මොහු ප්‍රිය දෙයින් උපදනාහුය. ප්‍රිය දෙයින් උපදනාහුයයි” ඔව්හු කීහ. ඉක්බිති ඒ ගෘහපති තෙමේ මාගේ අදහස දාදු කෙළින්නන් හා සමවෙයි කියා ගියේය. ඉක්බිති මේ කථාව පිළිවෙලින් රජුගේ මාලිගාවට පැමිණියාය.
ඉක්බිති පසෙනදි කොසොල් රජතෙමේ මල්ලිකා දේවිය ඇමතීය: “මල්ලිකාවෙනි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් මෙය කියන ලදී: ‘සොකය, වැළපීම, දුකය, දොම්නසය, දැඩි වෙහෙසය යන මොහු ප්‍රියදේ නිසා උපදනාහුය. ප්‍රියදේ නිසා හටගන්නාහුය’ යි.”
“ඉදින් මහරජතුමනි, ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද නම් එය එසේයයි” කීවාය.
“මේ මල්ලිකාව ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යමක් යමක් කියයි නම් ‘මහරජතුමනි, ඉදින් ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දක්නම් ඒ එසේම වෙයි’ කියමින් ඒ එසේම අනුමෝදන් වෙයි. යම්සේ ගුරුවරයෙක් අතවැසියාට යමක් කියයි නම් ‘ආචාර්යයන් වහන්ස, එය එසේයයි’ අතවැසියා අනුමෝදන් වෙයි. එමෙන්ම මල්ලිකාවෙනි, නුඹද එලෙසම ශ්‍රමණ ගෞතම තෙමේ යමක් කියයි නම් ‘ඉදින් මහරජ ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළේ නම් ඒ එසේම වන්නේය’ කියා අනුමෝදන් වන්නෙහිය. පලායව මල්ලිකාවෙනි, විනාශ වව” යි කීය.
ඉක්බිති මල්ලිකා දේවිය, නාලිජංඝනම් බමුණා කැඳවී. “බ්‍රාහ්මණය, මෙහි එව. නුඹ භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි පැමිණ මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා මුදුනෙන් වඳුව. ආබාධ නැතිබව, රොග නැතිබව සැහැල්ලු පැවැත්ම කායබලය, සුඛ විහරණය විචාරව. ‘ස්වාමීන් වහන්ස, මල්ලිකා දේවී තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ පා මුදුනෙන් වඳියි. පීඩා නැතිබව ලෙඩ නැති බව කය පිළිබඳ සැහැල්ලුකම, කය පිළිබඳ ශක්තිය, සැප විහරණය අසායයි’ කියව. මෙසේද කියව: ‘ස්වාමීන් වහන්ස, සොකපරිදෙව දුක් දොම්නස් උපායාස යන මේවා ප්‍රියදේ නිසා උපදනාහුය. ප්‍රියදේ නිසා හටගන්නාහුයයි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේද’ කියාය. භාග්‍යවතුන් වහන්සේ නුඹට යම්සේ ප්‍රකාශ කෙරේද? ඒ එසේම යහපත්ව උගෙණ මට කියව. තථාගතයන් වහන්සේලා බොරු නොකියත් යයි” කීහ. “එසේය”, කියා නාලිජංඝ බ්‍රාහ්මණතෙම මල්ලිකාදේවියට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වියයුතු සිහි කටයුතු කථාවකොට අවසන්ව, එක් පසෙක උන්නේය. එක් පසෙක හුන් නාලිජංඝ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කී: “භවත් ගෞතමයන් වහන්ස, මල්ලිකා දෙවිතොමෝ පින්වත් ගෞතමයන් වහන්සේ පා මුදුනෙන් වඳියි. ආබාධ නැතිකම, රෝග නැතිකම, කයේ සැහැල්ලු බව කාය බලය, පහසු විහරණය අසයි. මෙසේද කියයි: ‘ස්වාමීනි, සොක, පරිදෙව, දුක් දොම්නස්, උපායාස යන මොහු ප්‍රිය දෙයින් උපදනාහුය. ප්‍රිය දෙයින් හටගන්නාහුයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ දැයි’ ඇසී.”