2. 4. 6.
අංගුලිමාල සූත්රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි පසේනදි කොසොල් රජහුගේ ජනපදයෙහි රෞද්රවූ ලේ තැවරුණු අත් ඇත්තාවූ නැසීමෙහි වැනසීමෙහි යෙදුනාවූ ප්රාණීන් කෙරෙහි කරුණාව නැති බවට පැමිණියාවූ අඩ්ගුලිමාල නම් සොරෙක් වේ. ඔහු විසින් ගම් නොගම් කරණ ලද්දාහුය. නියම් ගම් අනියම් ගම් කරණ ලද්දාහුය. ජනපද අජනපද කරණ ලද්දාහුය. හෙතෙම මිනිසුන් මර මරා අඩ්ගුලීන් සම්බන්ධ මාලාවක් (ඇඟිලි මාලාවක්) දරයි. ඉක්බිති භාග්යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පා සිවුරු ගෙණ සැවැත් නුවරට පිඬු පිණිස වැඩියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ සෙනාසනය තැන්පත්කොට තබා පාත්රා සිවුරු ගෙණ අඩ්ගුලිමාල සොරා යම් තැනෙක්හිද, එතැනට වැඩීම පිණිස දීර්ඝ මාර්ගයෙහි වැඩියහ.
ගව පාලයෝද, සිව්පා සතුන් පාලයෝද, ගොවියෝද, මාර්ගයෙහි ගමන් කරන්නෝද, අඩ්ගුලිමාල සොරා යම් තැනෙක්හිද එතැනට පැමිණෙන දීර්ග මාර්ගයෙහි වඩින්නාවූ භාග්යවතුන් වහන්සේ දුටුවාහුය. දැක භාග්යවතුන් වහන්සේට “ශ්රමණයන් වහන්ස, මේ මාර්ගයෙහි නොගිය මැනව. ශ්රමණයන් වහන්ස, මේ මාර්ගයෙහි රෞද්රවූ ලේ තැවරුණු අත් ඇති නැසීමෙහි වැනසීමෙහි යෙදුනාවූ ප්රාණීන් කෙරෙහි කරුණාව නැති බවට පැමිණියාවූ අඩ්ගුලිමාල නම් සොරෙක් වේ. ඔහු විසින් ගම්ද නොගම් කරණ ලද්දාහ. නියම් ගම්ද අනියම් ගම් කරණ ලද්දාහ. ජනපදද අජනපද කරණ ලද්දාහ. හෙතෙම මිනිසුන් මර මරා ඇඟිලිවලින් මාලාවක් කොට දරයි. ශ්රමණයන් වහන්ස, මේ මගෙහි වනාහි පුරුෂයෝ දස දෙනෙක්ද, පුරුෂයෝ විසි දෙනෙක්ද, පුරුෂයෝ තිස් දෙනෙක්ද, පුරුෂයෝ හතලිස්, දෙනෙක්ද, පුරුෂයෝ පනස් දෙනෙක්ද, රන්චූ රන්චූ ගැසී ගමන් කරත්. ඔව්හුද අඩ්ගුලිමාල සොරුගේ අතට පැමිණ විනාශයට යෙත්යයි,’ කීවාහුය. මෙසේ කී කල්හි භාග්යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩියහ.
දෙවනුවද ගෝපාලයෝද, සිව්පා පාලයෝද, ගොවියෝද, මග යන්නෝද, භාග්යවතුන් වහන්සේට ‘ශ්රමණයන් වහන්ස මේ මග නොයනු මැනව, ශ්රමණයන් වහන්ස, මේ මාර්ගයෙහි රෞද්ර, ලෙයින් තෙමුණු අත් ඇති, සත්ව ඝාතනයෙහි ඇලුනු, සත්වයන් කෙරෙහි දයා නැති, අඩ්ගුලිමාල නම් සොරෙක් වෙයි. ඔහු විසින් ගම් අගම් කළහ. නියම් ගම් අනියම් ගම් කළහ. ජනපද අජනපද කළහ. ඔහු මිනිසුන් මර මරා ඇඟිලිවලින් මාලයක් දරයි. ශ්රමණය, පුරුෂයෝ දස දෙනා, විසි දෙනා, තිස් දෙනා, හතළිස් දෙනා පණස් දෙනා, සමූහ සමූහව මේ මගෙහි යති. ඔවුහුද අඩ්ගුලිමාල සොරුගෙන් අතට පැමිණ විනාශයට යෙත්යයි,’ කිවාහුය. දෙවනුවද භාග්යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩියහ.
තුන්වෙනුවද ගව පාලයෝද, සිව්පා පාලයෝද, ගොවියෝද, මගීහුද, භාග්යවතුන් වහන්සේට ‘ශ්රමණයන් වහන්ස, මේ මගෙහි නොයනු මැනවි. ශ්රමණයන් වහන්ස, මේ මාර්ගයෙහි රෞද්රවූ ලේ තැවරුණු අත් ඇති, නැසීමෙහි වැනසීමෙහි නියුක්තවූ ප්රාණීන් කෙරෙහි කරුණාව නැති බවට පැමිණියාවූ අඩ්ගුලිමාල නම් සොරෙක් ඇත. ඔහු විසින් ගම්ද නොගම් කරණ ලද්දාහ. නියම් ගම්ද අනියම් ගම් කරණ ලද්දාහ. ජනපදද අජනපද කරණ. ලද්දාහ. හෙතෙම මිනිසුන් මර මරා ඇඟිලි මාලාවක් කොට දරයි. ශ්රමණයන් වහන්ස, මේ මගෙහි වනාහි පුරුෂයෝ දස දෙනෙක්ද, පුරුෂයෝ විසි දෙනෙක්ද, පුරුෂයෝ තිස් දෙනෙක්ද, පුරුෂයෝ හතළිස් දෙනෙක්ද, පුරුෂයෝ පණස් දෙනෙක්ද, එකතු එකතු වීයත්. ඔවුහුද අඩ්ගුලිමාල සොරුගේ අතට පැමිණ විනාශයට පැමිණෙත්යයි’ කීවාහුය. තුන්වෙනුවද භාග්යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩියහ.
අඩ්ගුලිමාල නම් සොරතෙම දුරදීම වඩින්නාවූ භාග්යවතුන් වහන්සේ දුටුයේය. දැක ‘පින්වත ඒකාන්තයෙන් ආශ්චර්යයකි. පින්වත ඒකාන්තයෙන් පුදුමයකි. මේ මගෙහි වනාහි පුරුෂයෝ දස දෙනෙක්ද, පුරුෂයෝ විසි දෙනෙක්ද, පුරුෂයෝ තිස් දෙනෙක්ද, පුරුෂයෝ හතළිස් දෙනෙක්ද, පුරුෂයෝ පනස් දෙනෙක්ද, එකතු එකතුවී ගමන් කරත්. ඔව්හුද මාගේ අතට පැමිණ විනාශයට යෙත්. එතකුදු වුවත් මේ ශ්රමණ තෙම තනිවම දෙවැන්නෙක් නැතිව බලහත්කාරයෙන් එන්නේයයි සිතමි. මම මේ ශ්රමණයා මරන්නෙම් නම් යෙහෙකැයි’, ඔහුට සිත්විය.
ඉක්බිත්තෙන් අඩ්ගුලිමාල නම් සොරතෙම කඩු පළිහ ගෙණ දුන්න ඇදගෙන භාග්යවතුන් වහන්සේ පසු පස්සෙන්ලුහු බැන්දේය. එකල්හි ප්රකෘති ගමනින් වඩින්නාවූ භාග්යවතුන් වහන්සේ කරා සියලු ශක්තියෙන් යන්නාවූ අඩ්ගුලිමාල නම් සොරාට පැමිණෙන්නට යම්සේ නොහැකි වේද, භාග්යවතුන් වහන්සේ එබඳුවූ ඍද්ධියක් දැක්වූහ. එකල්හි අඩ්ගුලිමාල නම් සොරා ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්යක. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මම වනාහි පෙර දුවන්නාවූ ඇතෙකුදු එළවා අල්වා ගොස් ගණිමි. දුවන්නාවූ අශ්වයෙකුදු එළවා ගොස් අල්වා ගණිමි. දුවන්නාවූ රථයකුදු එළවා ගොස් අල්වා ගණිමි. දුවන්නාවූ මුවෙකුදු එළවා ගොස් අල්වා ගණිමි. එතකුදු වුවත් ප්රකෘති ගමනින් යන්නාවූ මේ ශ්රමණයාකරා සියලු ශක්තියෙන් දුවන්නාවූ මම පැමිණෙන්ට නොහැකි වෙමියි’, සිතුණේය. එහෙයින් නැවතී සිටගෙන භාග්යවතුන් වහන්සේට “ශ්රමණය සිටුව, ශ්රමණය සිටුවයි” කීයේය. “අඩ්ගුලිමාලය, මම සිටියෙමි. තෝද සිටුවයි” වදාළේය.
ඉක්බිත්තෙන් අඩ්ගුලිමාල නම් සොරාට මෙබඳු අදහසක් විය. ‘ශාක්ය පුත්රවූ මේ ශ්රමණයෝ වනාහි සත්ය වචන ඇත්තාහ. සත්යවූ ප්රතිඥා ඇත්තාහ. එතකුදු වුවත් මේ ශ්රමණ තෙම යමින්ම “අඩ්ගුලිමාලය මම සිටියෙමි. තෝ සිටුවයි” කියන්නේය. මම මේ ශ්රමණයාගෙන් අසන්නෙම් නම් යෙහෙක, කියායි. ඉක්බිති අඩ්ගුලිමාල නම් සොර තෙම භාග්යවතුන් වහන්සේට ගාථාවෙන් මෙසේ කීයේය.
“ශ්රමණයන් වහන්ස, යමින් සිටියෙමියි කියන්නෙහිය, සිටියාවූ මටද නොසිටියේයයි කියන්නෙහිය. ශ්රමණයන් වහන්ස, මේ කාරණය ඔබවහන්සේගෙන් අසමි. ‘කෙසේනම් ඔබ සිටියෙහිද, කෙසේ නම් මම නොසිටියේදැයි’ ඇසීය.
“අඩ්ගුලිමාලය, මම හැම කල්හි සියලු ප්රාණීන් කෙරෙහි දඬු බහා තබා සිටියේ වෙමි. තෝ වනාහි සතුන් කෙරෙහි සංවරයක් නැත්තෙක් වෙහිය. එහෙයින් මම සිටියේ වෙමි. තෝ නොසිටියේ වෙහියයි” (වදාළේය.)
“(දෙවි මිනිසුන් විසින්) පුදන ලද්දාවූ මහාඉර්ෂිවූ මේ ශ්රමණයන් වහන්සේ බොහෝ කලකින් ඒකාන්තයෙන් මට කරුණාවෙන් මේ මහාවනයට පැමිණියහ. ඒ මම බොහෝ කලකිනුත් නුඹ වහන්සේගේ ධර්මයෙන් යුක්තවූ ගාථාවක් අසා අකුසලය දුරු කරන්නෙමි.”
මෙසේ අඩ්ගුලිමාල සොර තෙම කඩුවද, ආයුධද, ප්රපාතයක ගැඹුරුව සෑරී ගිය මහ වළෙක්හි දැමූයේය. අඩ්ගුලිමාල සොර තෙම සුගතයන් වහන්සේගේ ශ්රීපාදයන් මනාකොට වැන්දේය. එහිදීම උන්වහන්සේගෙන් ප්රවුජ්යාවද ඉල්වූයේය.