2. 4. 5.
බොධිරාජකුමාර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක භාග්‍යවතුන් වහන්සේ භග්ග නම් ජනපදයෙහි සුංසුමාර ගිර නම් නගරයට සමීප වූ මෘගදාය නම් භෙසකලා වනයෙහි වැඩ වෙසෙත්. එකල්හි බොධිරාජ කුමාරයාගේ කොකනද නම් ප්‍රාසාදය කරවන ලද නොබෝ කල් ඇත්තේ වෙයි. එහි ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ මනුෂ්‍ය වූ කිසිවෙකු විසින් වාසය නොකරණ ලද්දේය. එකල්හි බොධිරාජ කුමාර තෙමේ සඤ්ජිකා පුත්ත නම් මානවකයා කැඳවී. කැඳවා “යහලු සඤ්ජිකා පුත්‍රය, මෙහි එව. නුඹ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි යව. ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා මස්තකයෙන් වඳුව. “ස්වාමීන් වහන්ස, බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පා සිරසින් විඳියි. ආබාධ නැතිකම රෝග නැතිකම -සිත කය දෙකේ සැහැල්ලු බව කාය බලය සැප විහරණය අසන්නේයයි’ ආබාධ නැතිකම රෝග නැතිකම කය සිත්හි සැහැල්ලුකම කාය බලය විහරණ සැපය අසව. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග බොධිරාජ කුමාරයාගේ සෙට දවස පිණිසවූ බත ඉවසන සේක්වායයි.’ කියව. තරුණවූ සඤ්ජිකා පුත්‍ර තෙමේ “එසේය” කියා බොධිරාජ කුමාරයාට උත්තරදී, භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී සතුටු වියයුතු සිහි කටයුතු කතාව කොට අවසන්ව එක් පසෙක්හි හිඳගත්තේය. එක් පසෙක හුන් තරුණවූ සඤ්ජිකා පුත්‍රතෙමේ භාග්‍යවතුන් වහන්සේට භවත් ගෞතමයන් වහන්ස, බොධිරාජ කුමාර තෙම භවත් ගෞතමයන් වහන්සේගේ පා මුදුනෙන් වඳියි. නිරෝගි බව කයේ සැහැල්ලු බව කාය බලය සැපසේ විසීම අසයි. තවද පින්වත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග බෝධිරාජ කුමාරයාගේ සෙට දවස පිණිස වූ බත ඉවසන සේක්වායි කියායිද” කීය. භාග්‍යවතුන් වහන්සේ එය නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ.
ඉක්බිති තරුණ සඤ්ජිකා පුත්‍රතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන ආසනයෙන් නැගිට බොධිරාජ කුමාර තෙම යම් තැනකද එහි පැමිණියේය. පැමිණ බොධිරාජ කුමරුට මෙසේ කීය. “පින්වතුන්ගේ” වචනයෙන් ඒ පින්වත් ගෞතමයන් වහන්සේට ‘භවත් ගෞතමයන් වහන්ස, බොධිරාජ කුමාර තෙම- භවත් ගෞතමයන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියි. නිරෝගිබව කයේ සැහැල්ලු බව කාය බලය සැපසේ විසීම අසයි. තවද පින්වත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග බොධිරාජ කුමාරයාගේ හෙට දවස් පිණිස බත ඉවසන සේක්වායි කියා යයිද, අපි කීවෙමු. එය ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ විසින් ඉවසන ලද්දේ වෙයි.”
ඉක්බිති බොධිරාජ කුමාරතෙමේ එය රැය ඉක්මවීමෙන් තම නිවසෙහි ප්‍රණීත ආහාර පාන වර්ග පිළියෙල කරවා කොකනද ප්‍රාසාදය අන්තිම තරප්පු පුවරුව (පඩිය) තෙක්ම සුදු වස්ත්‍ර අතුරවා, තරුණ සඤ්ජිකා පුත්‍රහට කථා කෙළේය. “යහළු සඤ්ජිකා පුත්‍රය, මෙහි එව. නුඹ භාග්‍යවතුන් වහන්සේ යම් තෙනක නම් එහි ගොස් භාග්‍යවතුන් වහන්සේට ‘ස්වාමීන් වහන්ස, බත නිමවන ලදී. කාලය වේයයි, කාලය දන්වව”. “පින්වත, එසේය කියා තරුණ සඤ්ජිකා පුත්‍ර තෙමේ තරුණ බොධිරාජ කුමරුට උත්තර දී භාග්‍යවතුන් වහන්සේ යම් තෙනකද එහි පැමිණ, “ස්වාමීන් වහන්ස, බත නිමවනලදී. වැඩීමට කාලයයි,” භාග්‍යවතුන් වහන්සේට කල් දැන්වීය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙණ බොධිරාජ කුමරුගේ ගෙදොර යම් තෙනකද එහි වැඩිසේක. එවේලෙහි බොධිරාජ කුමාරතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම බලමින් පිට දොරටුවෙහි සිටියේ වෙයි. බොධිරාජ කුමාරතෙමේ වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක ඉදිරියට ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ පෙරටුව කොකනද ප්‍රාසාදය යම් තෙනකද එහි පැමිණියේය.
එවිට භාග්‍යවතුන් වහන්සේ අන්තිම තරප්පු පුවරුව (පඩිය) ලඟ වැඩ සිටියහ. එකල්හි බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ කාලයක් හිත පිණිස වැඩ පිණිස, වස්ත්‍ර පාගා වඩින සුගතයන් වහන්සේ වස්ත්‍ර පාගා වඩිනා සේක්වායි” කීය. මෙසේ කී විට භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වී. දෙවනුවද, බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ කාලයක් හිත පිණිස වැඩ පිණිස වස්ත්‍ර පාගා වඩින සේක්වා, සුගතයන් වහන්සේ වස්ත්‍ර පාගා වඩින සේක්වායි” කීය. දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූහ. තෙවනුවත් බොධිරාජ කුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ කාලයක් හිත පිණිස වැඩ පිණිස වස්ත්‍ර පාගා වඩින සේක්වා, සුගතයන් වහන්සේ වස්ත්‍ර පාගා වඩින සේක්වායි” කීය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් දෙස බැලී. අනතුරුව ආයුෂ්මත් ආනන්ද තෙමේ බොධිරාජ කුමරුට මෙසේ කීය. “රාජ කුමාරයිනි, වස්ත්‍ර අස්කරවා භාග්‍යවතුන් වහන්සේ පාවාඩ උඩින් නොවඩිත්” කීය. තථාගතයන් වහන්සේ පසු ජනතාව බලන්නාහයි කීය. ඉක්බිති බොධිරාජ කුමාර තෙමේ පාවාඩ හකුළුවා කොකනද ප්‍රාසාදයෙහි අසුන් පැනවී. එවිට භාග්‍යවතුන් වහන්සේ කොකනද පහයට නැග පැනවූ අස්නෙහි භික්ෂු සංඝයා සමග වැඩ උන්හ. එවිට බොධිරාජ කුමාරතෙමේ බුදුන් ප්‍රධාන භික්ෂු සංඝයා ප්‍රණීතවූ ආහාර පානයෙන් සියතින්ම හොඳින් වැළඳවිය. ඇතිතාක් වැළඳවිය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වළදා පාත්‍රයෙන් අත ඉවත් කළ කල්හි, බොධිරාජ කුමාරතෙම මිටි අස්නක් ගෙන එක් පසෙක ඉඳ ගත්තීය. එක් පසෙකහුන් බොධිරාජ කුමර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීන් වහන්ස, මාගේ මේ අදහසෙක් වෙයි. සැපයෙන් සැපයට නොපැමිණිය හැක. දුකෙන් සැපයට පැමිණිය යුතුය යන මෙබඳු අදහසක් මට පහළවිය යනුයි.