2. 4. 3.
මඛාදෙව සූත්රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්යවතුන් වහන්සේ මිථිලා නම් නගරයෙහි මඛාදෙව නම් අඹ උයනෙහි වැඩ වෙසෙත්. ඒ කාලයෙහි ‘භාග්යවතුන් වහන්සේ එක්තරා තැනකදී සිනහ පහල කෙළේය. එහිදී ආයුෂ්මත් අනඳ තෙරුන්හට මේ සිත පහළ විය. භාග්යවතුන් වහන්සේගේ සිනහ පහල කිරීමට හේතුව කිම? කරුණ කිම? කරුණක් නැති කල්හි තථාගතවරයෝ සිනහ පහළ නොකෙරෙත්ය” කියාය. එහිදී ආයුෂ්මත් ආනන්ද තෙමේ සිවුර ඒකාංශකොට පොරවා භාග්යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ වැඳ භාග්යවතුන් වහන්සේට මේ කාරණය කීය. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේගේ සිනහ පහල කිරීමට හේතුව කිම? කරුණු කිම? තථාගතවරයෝ හේතුවක් නැතිව සිනහ පහල නොකෙරෙතියි” කියාය.
“ආනන්දය, පෙර දවස මේ මිථිලා නගරයෙහිම මඛාදෙව නම් රජෙක් වූයේය. ධාර්මිකවූ ධර්මයෙන් රජකම් කරන ධර්මයෙහි පිහිටි මහ රජෙක්ව බ්රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද නියම් ගම් වැස්සන් කෙරෙහිද ජනපද වැස්සන් කෙරෙහිද ධර්මයෙන් පිළිපදියි. “පක්ෂයෙහි තුදුස්වක් දිනයෙහිද පසලොස්වක් දිනයෙහිද අටවක් දිනයෙහිද සිල්සමාදන්ව වාසය කරයි.
“ආනන්දය, ඒ කාලයෙහි අවුරුදු බොහෝ ගණනක් අවුරුදු සියගණනක් අවුරුදු දහස් ගණනක් ගතවීමෙන් පසු මඛාදෙව රජ තෙමේ හිස රැවුල් කපන්නාට කථා කෙළේය. යහලුව, යම් දවසක මාගේ හිසෙහි පැසුණු හිසකෙස් වූවාහුද එකල්හි මට කියවයි’ කීහ. “ආනන්දය, ‘දෙවයිනි, එසේයයි’ හිස රැවුල් කපන්නා මඛාදෙව රජහට උත්තර දුන්නේය. “ආනන්දය, බොහෝ අවුරුදු බොහෝ සියක් අවුරුදු බොහෝ දහසක් අවුරුදු ගතවීමෙන් හිස රැවුල් කපන්නා මඛාදෙව රජහුගේ හිසෙහි පැසුණු හිස කෙස් දිටීය, දැක මඛාදෙව රජහට දේවයන්හට දේවදූතයෝ පහල වූවාහුය. හිසෙහි පැසුණු හිස කෙස් දක්නා ලැබෙත්යි” කීය. එසේ නම් යහළු ඒ පැසුණු කෙස් අඬුවෙන් ප්රවේශම්ව උදුරා මාගේ අතෙහි තබවයි” කීහ. “ආනන්දය, දෙවයිනි, එසේයි’ කියා ඇම්බැට්ට තෙමේ මඛාදෙව රජහට උත්තරදී ඒ පැසුණු කෙස් ප්රවේසමින් අඬුවෙන් උදුරා මඛාදෙව රජහුගේ අතෙහි තැබීය.
“ආනන්දය, එවිට රජවූ මඛදෙවතෙමේ ඇම්බැට්ටයාට ගම්වරයක්දී, වැඩිමහල් පුත් කුමරුට කථාකොට මෙසේ කීහ. දරුව කුමාරයිනි, මට දෙවදූතයෝ පහල වූහ. හිසෙහි පැසුණු කෙස් දක්නා ලැබෙත්. මා විසින් මිනිස් කාම සම්පත් අනුභව කරණලදී. දැන් දිව්ය කාම සම්පත් සෙවීමට කාලය වෙයි. දරුව කුමාරය, එව. නුඹ මේ රාජ්යය පිළිගනුව. මම වනාහි කෙස් රැවුල් කපා හැර කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වන්නෙමි.
“එසේ හෙයින් දරුව කුමාරය, නුඹත් යම් දවසක හිසෙහි පැසුණු හිස කෙස් දක්නෙහිද, එකල්හි ඇම්බැට්ටයාට ගම්වරක්දී දෙටු පුත් කුමරු යහපත් කොට රාජ්යයෙහි පිහිටුවා නොහොත් රජයෙන් අනුශාසනා කොට කෙස් රැවුල් කපාහැර කසාවත් හැඳ පොරවා ගිහිගෙන් නික්ම සාසනයෙහි පැවිදි වෙව. යම් හෙයකින් මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවැත්ම අනුව පවත්නෙහිය. නුඹ මාගේ (වංශයෙහි) අන්තිම පුරුෂයා නොවෙව. “දරුව කුමාරය, (මාගේ) වංශයෙහි උපන් යම් පුරුෂයෙකුගේ කාලයෙහි මේ යහපත් පැවතුමගේ සිඳීම වෙයි නම් හෙතෙම ඔවුන්ගේ අන්තිම පුරුෂයා වෙයි. දරුව කුමාරය, එහෙයින් ඔබට මම මෙසේ කියමි. යම් හෙයකින් මා විසින් පිහිටුවන ලද මේ යහපත් පැවැත්ම අනුව පවත්නෙහිය. නුඹ මාගේ (වංසයෙහි) අන්තිම පුරුෂයා නොවෙව’යි කීහ.
“එකල්හි ආනන්දය, මඛාදෙව රජතෙමේ ඇම්බැට්ටයාහට ගම්වර දී වැඩිමහල් පුත් කුමරු යහපත්ව රජයෙහි පිහිටුවා කෙස් රැවුල් කපාහැර කසාවත් හැඳ පොරවා මේ මඛාදෙව අඹ උයනෙහිම ගිහිගෙන් නික්ම පැවිදි වූයේය. “හෙතෙම මෛත්රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙළේය. එසේම දෙවෙනි දිසාවද එසේම තුන්වෙනි දිසාවද එසේම සතරවැනි දිසාවදැයි මෙසේ උඩද යටද සරස දැයි සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය මෛත්රිය සමග පවත්නාවූ මහත්වූ උසස් බවට පැමිණියාවූ ප්රමාණ නොකොට හැකිවූ වෛර නැත්තාවූ ක්රොධ රහිතවූ සිතින් පතුරුවා වාසය කෙළේය. “කරුණාව සමග පැවැත්තාවූ සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්රමාණවූ වෛරනැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළේය. එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාව එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්රමාණවූ වෛරනැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළේය. මුදිතාව සමග පැවැත්තාවූ සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කළේය. එසේම දෙවෙනි දිසාවද එසේම තුන්වෙනි දිසාවද එසේම සතරවෙනි දිසාවද මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්රමාණවූ වෛර නැත්තාවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කළේය. එක් දිසාවක් පතුරුවා වාසය කළේය, එසේම දෙවෙනි දිසාව, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතර වෙනි දිසාවද, මෙසේ උඩ යට සරස සියලු කාලයෙහි සියලු තැන පවත්නාවූ සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ මහත් බවට පැමිණියාවූ අප්රමාණවූ වෛර නැත්තාවූ මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කළේය. උපෙක්ෂාව සමග පැවැත්තාවූ සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙළේය. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවද මෙසේ උඩද යටද, සරසදැයි සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ උසස් බවට ගියාවූ ප්රමාණ කළ නොහැක්කාවූ වෛර නැත්තාවූ ව්යාපාද නැත්තාවූ උපේක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කෙළේය.
“ආනන්දය, මඛාදෙව රජතෙමේ වනාහි අසූහාර දහසක් අවුරුදු කුමාර ක්රීඩා කෙළේය. අසූහාර දහසක් අවුරුදු යුවරජකම කෙළේය. අසූහාර දහසක් අවුරුදු රජකම් කෙළේය. අසූහාර දහසක් අවුරුදු මේ මඛාදෙව අඹ උයනෙහිම ගිහිගෙන් නික්ම පැවිදිව බ්රහ්මචර්යාවෙහි හැසුරුණේය. හෙතෙමේ සතර බ්රහ්ම විහාර ධර්මයන් වඩා ශරීරයාගේ බිදීමෙන් මරණින් මතු බ්රහ්මලෝකයට පැමිණියෙක් වූයේය.
“ඉක්බිති ආනන්දය, මඛාදෙව රජුගේ පුත්රතෙමේ බොහෝ අවුරුදු බොහෝ සියක් අවුරුදු බොහෝ දහසක් අවුරුදු ඉක්මවා ඇම්බැට්ටයාහට කථා කෙළේය. “යහලුව, යම් දිනක මාගේ හිසෙහි පැසුණු කෙස් දක්නෙහිද? එවිට මට කියවයි’ කීය. “ආනන්දය, ‘දෙවයෙනි එසේය’ කියා ඇම්බැට්ට තෙමේ මඛාදෙව රජුගේ පුත්රයාහට උත්තර දුන්නේය. “ආනන්දය, බොහෝවූ අවුරුදු බොහෝවූ සියක් අවුරුදු බොහෝවූ දහස් අවුරුදු ඉක්ම ගිය තැන ඇම්බැට්ට තෙමේ මඛාදෙව රාජ පුත්රයාගේ හිසෙහි පැසුණ හිසකේ දිටීය. දැක මඛාදෙව රාජ පුත්රයාට දෙවයන් වහන්සේට දෙවදූතයෝ පහලවූහ. හිසෙහි පැසුණු හිසකේ දක්නා ලැබෙත්යයි’ කීය. “යහලුව, එසේ නම් ඒ පැසුණු හිසකේ ප්රවේශමින් අඬුවෙන් උදුරා මාගේ අතෙහි තබවයි’ කීය. “ආනන්දය, ‘දෙවයෙනි, එසේය කියා ඇම්බැට්ටතෙම මඛාදෙවරාජ පුත්රයාහට උත්තරදී පැසුණු හිසකේ අඬුවෙන් ප්රවේසමින් උදුරා මඛාදෙවරාජ පුත්රයාගේ අතෙහි තැබීය.