2. 4. 2.
රට්ඨපාල සූත්රය
293. මා විසින් (මේ සූත්රය) මෙසේ අසන ලදී. එක් කලෙක්හි භග්යවතුන් වහන්සේ කුරු ජනපදයන්හි මහත් වූ භික්ෂු සංඝයා සමග සැරිසරන්නේ ථුල්ලකොට්ඨිත නම්වූ කුරු දනව් වැස්සන්ගේ නිම් ගම යම් තැනෙක්හිද එහි වැඩියහ. ථුල්ලකොට්ඨිත නම් නියම් ගම වැසි බ්රාහ්මණ ගෘහපතීහු, ශාක්යපුත්රවූ ශාක්ය කුලයෙන් නික්ම පැවිදිවූ ශ්රමණභවත් ගෞතමයන් වහන්සේ මහත්වූ භික්ෂු සංඝයා සමග කුරු ජනපදයන්හි සැරිසරන්නේ, ථුල්ලකොට්ඨිත නම් නියම්ගමට පිළිවෙළින් පැමිණියේ වෙයි. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ වනාහි මෙබඳුවූ යහපත් ගුණ ඝොෂාවෙක් උස්ව නැංගේ වෙයි. ඒ භාග්යවත් තෙම මේ කාරණයෙනුත් අර්හත්ය. පුරුෂයන් දමනය කිරීමෙහි නිරුත්තරවූ සාර්ත්ථ වාහකයකු බඳුය. දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නෙක. චතුස්සත්යය අවබෝධ කළ හෙයින් බුද්ධය. සියලු කෙලෙසුන් නැසූ හෙයින් භාග්යවත්ය. (යනුවෙනි.) හෙතෙම දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්රහ්මයන් සහිතවූ මේ ලෝකයද මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ සත්ව සමූහයාද තෙමේ විශේෂ නුවණින් දැන ප්රත්යක්ෂ කොට ප්රකාශ කෙරෙයි. හෙතෙම මුල යහපත්වූ මැද යහපත්වූ කෙළවර යහපත්වූ අර්ථ සහිතවූ ව්යංජන සහිතවූ සියල්ලෙන් සම්පූර්ණවූ ධර්මයක් දේශනා කරයි. පිරිසිදුවූ බ්රහ්මචර්යාව ප්රකාශ කරයි. එබඳුවූ රහතුන් වහන්සේලාගේ දැක්ම වනාහි යහපත් වේයයි ඇසුවාහුමය.
ඉක්බිති ථුල්ලකොට්ඨිත නම් නියම් ගම වැසි බ්රාහ්මණයන් හා ගෘහපතීහු භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ සමහරු භාග්යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හිඳ ගත්හ. සමහරු භාග්යවතුන් වහන්සේ සමඟ සතුටු වූහ. සතුටු වියයුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක් පසෙක හිඳගත්හ. සමහරු භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට ඇඳිලිබැඳ එක් පසෙක හිඳගත්හ. සමහරු භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි තමන්ගේ නාම ගොත්ර දක්වා එක් පසෙක හිඳගත්හ. සමහරු නිශ්ශබ්දව එක්පසෙක හිඳගත්හ. එක්පසෙක හුන්නාවූ ථුල්ලකොට්ඨිත නම් නියම්ගම වැසි බමුණන් හා ගෘහපතින් භාග්යවතුන් වහන්සේ දැහැමිවූ කථාවෙන් කරුණු දැක්වූයේය. සමාදන් කරවූයේය. සිත් තියුණු කරවූයේය. සතුටු කරවූයේය.
294. එකල්හි වනාහි ඒ ථුල්ලකොට්ඨිත නම් නියම් ගමෙහිම ප්රධාන කුලවතාගේ පුත්වූ රට්ඨපාල නම් කුලපුත්ර තෙම ඒ පිරිසෙහි උන්නේ වෙයි. ඉක්බිති රට්ඨපාල නම් කුලපුත්රයාහට මෙබඳු අදහසක් විය. යම් යම් ආකාරයකින් වනාහි භාග්යවතුන් වහන්සේ ධර්මය දේශනා කරයිද, ඒ ආකාරයෙන් ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණකොට ඒකාන්තයෙන් පිරිසිදුකොට ලියනලද සකක් මෙන් කොට මේ බ්රහ්මචර්යාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. මම හිස රැවුල් කපා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙම් නම් යෙහෙක කියායි. ඉක්බිති ගෘහපතීහු භාග්යවතුන් වහන්සේ විසින් දැහැමිවූ කථාවෙන් කරුණු දක්වන ලද්දාවූ සමාදන් කරවන ලද්දාවූ සිත් තියුණු කරවන ලද්දාවූ සතුටු කරවන ලද්දාවූ ථුල්ලකොට්ඨිත නම් නියම්ගම් වැසි බ්රාහ්මණ ගෘහපතීහු භාග්යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්යවතුන් වහන්සේට වැඳ පැදකුණුකොට ගියාහුය. ඉක්බිති රට්ඨපාල
නම් කුලපුත්රතෙම ථුල්ලකොට්ඨිතක නම්වූ බ්රාහ්මණ ගෘහපතීන් ගිය නොබෝවේලාවකින් භාග්යවතුන්වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක්පසෙක උන්නේය. එක්පසක උන්නාවූ රට්ඨපාල නම් කුලපුත්ර තෙම භාග්යවතුන් වහන්සේට ස්වාමීනි, යම් යම් ආකාරයෙන් භාග්යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්මය මම දනිම්ද, ඒ ආකාරයෙන් ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණකොට ඒකාන්තයෙන් පිරිසිදුකොට ලියන ලද සකක් මෙන් කොට, මේ බ්රහ්මචර්යාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. ස්වාමීනි මම භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදි බව ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමියි” කීයේය.
“රට්ඨපාලය, නුඹ වනාහි ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවීමට මව්පියන්ගෙන් අවසර ලද්දේ වෙහිද”?
“ස්වාමීනි, මම ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට මව්පියන්ගෙන් අවසර ලද්දේ නොවෙමි”.
“රට්ඨපාලය, තථාගතවරයෝ මව්පියන් විසින් අවසර නොදෙන ලද්දවුන් පැවිදි නොකරන්නාහ”
“ස්වාමීනි, ඒ මම යම්සේ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට මව්පියෝ අවසර දෙන්නාහුද එසේ කරන්නෙමියි” කීය.
295. ඉක්බිති රට්ඨපාල කුලපුත්රතෙම හුන් ආසනයෙන් නැගිට භාග්යවතුන් වහන්සේට වැඳ, පැදකුණු කොට මව්පියෝ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, “මෑණියෙනි, පියාණෙනි, මම යම් යම් ආකාරයකින් භාග්යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්මය දනිම්ද? ඒ ආකාරයෙන් ගිහිගෙහි වසන්නහු විසින් ඒකාන්තයෙන් සම්පූර්ණ කොට ඒකාන්තයෙන් පිරිසිදුකොට ලියනලද සකක් මෙන් කොට බ්රහ්ම චර්යාවෙහි හැසිරෙන්ට පහසු නොවෙයි. මම ඉසකේ රැවුල් කපා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවන්ට කැමැත්තෙමි. ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට මට අවසර දුනමැනවැයි” මවුපියන්ට කීයේය.
මෙසේ කී කල්හි රට්ඨපාල නම් කුලපුත්රයාගේ මව්පියෝ, “පුත රට්ඨපාලය, නුඹවනාහි අපගේ ප්රියවූ මනාපවූ සුවසේ වැඩුනාවූ සුවසේ පොෂණය කළාවූ එකම පුතාවෙහිය. පුත රට්ඨපාලය, නුඹ කිසිත් දුකක් නොදන්නෙහිය. පුත රට්ඨපාලය, එව, නුඹ කව, බොව, ඉන්ද්රියයන් පිනවීම කරව. කමින්, බොමින්, ඉඳුරන් පිනවමින්, කම්සැප විඳිමින්, පින් කරමින්, සිත් අලවා වාසය කරව. අපි තොපට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අවසර නොදෙමු. තොපගේ මරණයෙනුත් අපි නොකැමැත්තෙන් වෙන් වන්නෙමු. කිමෙක්ද? අපි ජීවත්වන්නාවූ තොපට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීමට අනුදන්නෙමුදැයි” රට්ඨපාල කුල පුත්රයාට කීවාහුය.