කතාව කියවීමට සහ සිතුවම් චිත්‍ර බැලීමට ගාථාව මත click කරන්න.
3. චිත්ත වර්ගය
3-1 පළමුවන මේඝිය තෙරුන්ගේ වස්තුවයි

ඵන්දනං චපලං චිත්තං, දූරක්ඛං (දුරක්ඛං (සබ්බත්ථ)) දුන්නිවාරයං;

උජුං කරොති මෙධාවී, උසුකාරොව තෙජනං.

සැලෙන්නාවූ, එක් අරමුණක නොසිටින්නා (චපල) වූ නොරැක්ක හැක්කාවූ, (තුන්) දුසිරිතින් නොවැළකිය හැක්කාවූ, සිත ප්‍රාඥවූ පුරුෂතෙම හීදණ්ඩක් (ඇද මැඩ ඉදිකරන්නාවූ) හී වඩුවා මෙන්, සෘජු කරන්නේය.

වාරිජොව ථලෙ ඛිත්තො, ඔකමොකතඋබ්භතො;

පරිඵන්දතිදං චිත්තං, මාරධෙය්‍යං පහාතවෙ.

මේ සිත ජල (සංඛ්‍යාත) වාසස්ථානයෙන් නගන ලද්දාවූ ගොඩදමන ලද්දාවූ, මත්ස්‍යයකු මෙන් සැලෙන්නේය. ක්ලේශ වෘත්තය (මරගෙය) පහකටයුතුයි.

3-2 දෙවන එක්තරා භික්ෂුවකගේ වස්තුවයි.

දුන්නිග්ගහස්ස ලහුනො, යත්ථකාමනිපාතිනො;

චිත්තස්ස දමථො සාධු, චිත්තං දන්තං සුඛාවහං.

නිග්‍රහ (දඬුවම්) කරන්ට නොපිළිවන්වූ, ලඝුවූ, යම් කැමති අරමුණක වැටෙනසුළුවූ, චිත්තයාගේ දමනය කිරීම මැනවි, සිත දමනය කරන ලද්දේ සුව ඵලවන්නේය.

3-3. තුන්වන කළකිරුණු එක්තරා භික්ෂුවකගේ වස්තුවයි.

සුදුද්දසං සුනිපුණං, යත්ථකාමනිපාතිනං;

චිත්තං රක්ඛෙථ මෙධාවී, චිත්තං ගුත්තං සුඛාවහං.

දක්නට නොපිළිවන්වූ, ඉතා සියුම්වූ, යම් කැමති අරමුණක් ගන්නාසුළුවූ සිත ප්‍රාඥතෙම රක්නේයි. සිත රක්නා ලද්දේ (ලොවී ලොව්තුරා) සැප ඵලවන්නේය.

3-4 සිව්වන භාගිනෙය්‍ය සංඝරක්ඛිත තෙරුන්ගේ වස්තුවයි.

දූරඞ්ගමං එකචරං (එකචාරං (ක.)), අසරීරං ගුහාසයං;

යෙ චිත්තං සංයමෙස්සන්ති, මොක්ඛන්ති මාරබන්ධනා.

දුරට යන්නාවූ, හුදකලාවම පවත්නාවූ, ශරීරයක් නැත්තාවූ, (ශරීරය නැමැති) ගුහාවෙහි පවත්නාවූ, (හෙවත් හෘදය රූපය නිසා පවත්නාවූ) සිත යම්කෙනෙක් සංවරයෙහි පිහිටුවත්ද, ඔහු මාරබන්ධනයයි කියනලද ත්‍රෛභූමක වෘත්තයෙන් (මර බැම්මෙන්) මිදෙන්නාහුය.

3-5 පස්වන චිත්තහත්ථ තෙරුන්ගේ වස්තුවයි.

අනවට්ඨිතචිත්තස්ස, සද්ධම්මං අවිජානතො;

පරිප්ලවපසාදස්ස, පඤ්ඤා න පරිපූරති.

අනවස්ථිතවූ (නිතර චංචලවන) සිත් ඇති සද්ධර්මය නොදන්නාවූ, ඉපිලෙන සැදැහැ ඇත්තාහට ප්‍රඥාතොම නොපිරෙන්නීය.

අනවස්සුතචිත්තස්ස, අනන්වාහතචෙතසො;

පුඤ්ඤපාපපහීනස්ස, නත්ථි ජාගරතො භයං.

(රාගයෙන්) චංචලනොවූ සිත් ඇති, (ද්වේෂයෙන්) නොපහරණ ලද සිත් ඇති, (අර්හත් මාර්ගයෙන්) ප්‍රහීණකළ කුශලා කුශල ඇති ක්‍ෂීණාශ්‍රවයාහට කෙලෙසුන් කෙරෙන් භයක් නැත.

3-6 සයවන පන්සීයක් විදර්ශක භික්ෂූන්ගේ වස්තුවයි.

කුම්භූපමං කායමිමං විදිත්වා, නගරූපමං චිත්තමිදං ඨපෙත්වා;

යොධෙථ මාරං පඤ්ඤාවුධෙන, ජිතඤ්ච රක්ඛෙ අනිවෙසනො සියා.

මේ ශරීරය මැටි බඳුනක් වැනි කොට දැන, මේ (විදර්ශනා) චිත්තය නුවරක් මෙන් (කෙලෙස් සතුරන් විසින් නොපැරදවිය හැකි කොට) තබා, ප්‍රඥා නැමැති ආයුධයෙන් (ක්ලෙශ) මාරයා පහරණේය. දිනන ලද්ද (හෙවත් උපදවන ලද්දාවූ තරුණ විදර්ශනාව) ද රක්නේය. (සමාපත්තියෙහි) ආලය නොකරන්නේය.

3-7 සත්වන පූතිගත්තතිස්ස තෙරුන්ගේ වස්තුවයි.

අචිරං වතයං කායො, පථවිං අධිසෙස්සති;

ඡුද්ධො අපෙතවිඤ්ඤාණො, නිරත්ථංව කලිඞ්ගරං.

මේ කය නොබෝ කලකින්ම ඒකාන්තයෙන් පහවූ සිත් ඇත්තේ, ඉවත දමන ලදුයේ දිරාගිය දඬුකඩක් මෙන් පොළොව මත්තෙහි හෝනේය.

3-8 අටවන නන්දගෝපාලක වස්තුවයි.

දිසො දිසං යං තං කයිරා, වෙරී වා පන වෙරිනං;

මිච්ඡාපණිහිතං චිත්තං, පාපියො (පාපියං (?)) නං තතො කරෙ.

සොරෙක්, සොරකු දැක ඕහට යමක් (අන්‍යව්‍යසනයක්) කෙරේද බද්ධවෛර ඇති එකෙක් එසේම තමාකෙරෙහි (බද්ධ) වෛර ඇති එකක්හු දැක, යම් ඒ අවැඩක් ( ඕහට) කෙරේද, (එයට වඩා) වරදවා (දශඅකුශල කර්මපථයෙහි) පිහිටුවනලද සිත ඒ හේතුවෙන් ඔහු අතිශයින් ලාමක කරන්නේයි.

3-9 නවවන සොරෙය්‍ය තෙරුන්ගේ වස්තුවයි.

න තං මාතා පිතා කයිරා, අඤ්ඤෙ වාපි ච ඤාතකා;

සම්මාපණිහිතං චිත්තං, සෙය්‍යසො නං තතො කරෙ.

ඒ කාරණය මවු නොකරන්නීය. පියාද නොකරන්නේය, අනික් නෑයෝද නොකරන්නාහුය. (දශකුශල කර්ම පථයෙහි) මනාකොට පිහිටුවන ලද සිත, ඒ හේතුවෙන් ඒ පුද්ගලයා අතිශයින් උත්තම කරන්නේය.