අචිරං වතයං කායො පඨවිං අධිසෙස්සති
ඡුද්ධො අපෙතවිඤ්ඤාණො නිරත්‍ථං’ව කලිඞ්ගරං.
මහණ, තාගේ මේ කය නොබෝ කලෙකින් ඒකාන්තයෙන් පහ වූ සිතැති ව, ඉවත ලන ලදු ව, දිරා ගිය දඬු කඩක් මෙන් පොළොව මත හෝනේ ය.
අචිරං වතයං කායො ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් සැවැත්නුවර වාසය කරන කාලයෙහි පූතිගත්තතිස්සතෙරුන් අරභයා දේශනා කරන ලදි. සැවැත්නුවරවාසි එක්කුලපුත්‍රයෙක් බුදුන් හමුවෙහි බණ අසා සසුනට කැමතිව පැහැදි විය. උපසම්පදාව ලත් උන්වහන්සේ තිස්සස්ථවිර නමින් ප්‍රකට වූහ. කල් යෑමෙන් උන්වහන්සේගේ සිරුරෙහි එක් රෝගයක් හටගත්තේය. අබඇට පමණ ගෙඩි හටගත්තේය. ඒවා පිළිවෙලින් මුංඇට, කඩල ඇට, මසන්ගෙඩි, නෙල්ලි, බෙලිගැට, ලොකුබෙලිගෙඩි පමණ විශාල වී පුපුරා ගියේය. සියලු සිරුර ලොකු කුඩා සිදුරු වලින් ගහන විය. ඉන්පසු උන්වහන්සේ පූතිගත්තතිස්සස්ථවිර (ගෙඩි හැදුණු) නමින් ප්‍රකට වූහ.
පසු කලක උන්වහන්සේගේ සිරුරේ ඇට කැඩී බිඳී ගියේය. පිළියම් නොකළහැකි තත්ත්වයක් උදාවිය. ආඳිපෙරෙවි වස්ත්‍ර ලේ සැරව තැවරී සිදුරු සහිත කැවුමක් මෙන් විය. සමග හැසිරෙන අය උපස්ථාන කළ නොහැකිව හැරදැමූහ. උන්වහන්සේ අනාථ වී වැද හොත්තෝ වූහ.
දිනකට දෙවරක් මහාකරුණාවෙන් ලොව දෙස බැලිම බුදුන්ගේ අවිජහත සිරිතකි. උදෑසනම ලොව බලන උන්වහන්සේ සක්වළමුවවිට පටන් ගදකිළි දොරටුව දක්වා වූ ඥානයෙන් ලොව දකිති. සවස් කාලයේදී බලන විට ගඳකිළියෙන් පටන්ගෙන බාහිරලෝකය අභිමුඛ කොට ඥානය විහිදුවා ලොව බලති. එදින බුදුන්ගේ ඥානදැලට පූතිගත්තතෙරුන් හසු විය. ශාස්තෘන්වහන්සේ, තිස්ස තෙරුන්ගේ රහත් වීමට ඇති උපනිශ්‍රයසම්පත් දැක මොහු සද්ධිවිහාරිකාදීන් විසිනුත් හැරදමා ඇත. දැන් ඔහුට මා ඇර වෙනත් පිළිසරණක් නැතැයි ගඳකිළියෙන් නික්ම විහාර චාරිකාවේ හැසිරෙන ගමන් ගිනිහල් ගෙට වැඩමවා මහ සැළියක් සෝදා ලිප උඩ තබා වතුර රත්වන තුරු ගිනිහල්ගෙය තුළම වැඩ සිටියහ. වතුර රත්වූ පසු වැඩමවා ඒ භික්ෂුව සිටි ඇඳේ එක් පැත්තක් ඔසවා ගත්හ.
එකල භික්ෂූහු එහි පැමිණ ස්වාමීනි, ඉවත්වුව මැනවි. අපි ඇඳ එළියට ගන්නෙමු යයි ඔසවා ගෙන ගිනිහල්ගෙට රැගෙන ගියහ. ඔරුව (පඩු ඔරුව) ගෙන්වා එහි සතපවා උණුදිය ඉස්වා ඒ භික්ෂූන් ලවා තිස්සතෙරුන්ගේ පෙරවූ රෙදි ඉවත් කරවා උණුවතුරින් සෝදවා මද අව්වෙහි තැබ්බවූහ. ඉන්පසු ඔහුගේ සිරුර උණුදියෙන් යළිත් තෙමවා අතුල්ලා නැහැවූහ. එහි දී උන්වහන්සේ නැහැවීම අවසන් වනවිට පාරුපණයද වියළිණි. ඉන්පසු උන්වහන්සේට ඒ වස්ත්‍ර පෙරවා, හැඳසිටි කසාවත් දියෙහි දමා පොඩිකරවා අව්වේ වනවාලූහ. උන්වහන්සේගේ සිරුරෙහි තිබූ ජලයද වියළිණි. තිස්සතෙරණුවෝ එක් කහවතක් හැඳ තවත් එකක් පෙරවා සැහැල්ලු ශරීර ඇතිව සිත එකඟ කරගෙන ඇඳමත නිදාගත්හ. බුදුරජාණන්වහන්සේ තිස්සතෙරුන්ගේ ඇඳ ඉහානයේ සිට මහණ ඔබේ මේ කය විඥානය පහව ගිය කල උපකාරයක් නොමැතිව දරකඩක් මෙන් පොළොවෙහි වැටී යන්නේයයි වදාරා මේ ගාථාවද ප්‍රකාශ කළහ.
සිත නැතිව ගිය කය
දිරා ගිය දර කඩක් මෙන්
පොළොව මත වැතිරී යයි
නොබොහෝ කලක් මෙහි සිට
එහි අචීරං වත යනු මහණ නොබෝ කලකින්ම අයංකායො පඨවිං අධිසෙස්සති මේ ප්‍රකෘති සයනයෙන් නිදා සිටින පොළොව මත නිදන්නේය. ඡුද්ධො යනු පහවගියේ, පහ වූ විඥානය ඇති හෙයින් හිස් බවට පත් වී නිදන්නේ යයි පෙනෙයි. කුමක් වගේ ද? නිරත්ථංව කලිංගරං රූපාකාරයක් අර්ථයක් නැති දරකැබැල්ලක් මෙනි. දැවයෙන් වැඩක් ඇති මිනිස්සු කැලෑවට ගොස් ඇද නැති දඬු ඇද නැති හැටියෙන්මත්, වක් වී ඇති දඬු ඒ හැටියෙන්මත් කපා එක්තැන් කර ගනිති. සෙසු ලීවල සිදුරු වූ තැන් දිරාගිය තැන් ගැට ඇති තැන් කපා එහිම හැර දමති. පසුව වෙනත් දැව අපේක්ෂා කරන අය අවුත් ඒ හැර දැමූ ඒවා නොගෙන තවදුරටත් සොයා තමන්ට උපකාර වන දැව පමණක් ගිනිති. සෙස්ස පොළොව මතුපිටම වැටී තිබෙයි. ඒවා පාපුවරු ඇඳකකුල් ඵලක පුවරු ආදිය සෑදීමට හැකි වුවත් හැර දමන්නාහ.
මේ ආත්මයෙහි (ශරීරයෙහි) දෙතිස් කුණප කොට්ඨාශවලින් ඇඳකකුල්වලට හෝ ගතහැක්කක් නම් නැත. හුදෙක් නිරන්ථංව කලිංගරං නිරර්ථක දඩුවක්ම වේ. මෙය විඥානය පහව ගිය කල කිහිප දිනකින්ම පොළොව මත වැතිරී යන්නේය.
දේශනා කෙළවර පූතිගත්තතිස්ස ස්ථවිරයන් වහන්සේ පටිසම්භිදා සහිත රහත් බවට පැමිණියහ. තවත් බොහෝ අය සෝතාපත්ති ආදි ඵලවලට පැමිණියාහුය. ස්ථවිරයන් වහන්සේ රහත්බවට පත්වනවාත් සමගම පිරිනිවන්පෑහ.
බුදුරජාණන්වහන්සේ තිස්සතෙරුන්වහන්සේගේ සිරුර පිළිබඳ කටයුතු කරවා, ධාතූන් ගෙන චෛත්‍යයක්ද කරවූහ. භික්ෂූහු, ස්වාමීනි, පූතිගත්තතිස්සතෙරණුවෝ කොහි උපන්නාහුදැයි ඇසූහ. මහණෙනි, උන්වහන්සේ පිරිනිවන් පෑහ. ස්වාමීනි, මෙවැනි රහත්වීමට පවා උපනිශ්‍රය සම්පත් ඇති උන්වහන්සේ තුවාලවලින් ගහන වූයේ කුමක් නිසාද? උන්වහන්සේගේ ශරීර ඇට බිඳී ගියේත් ඇයිද? කුමන කරුණක් රහත්වීමට උපනිශ්‍රයවීද? මහණෙනි, මේ සියල්ල ඔහු තමන්ම කළකම් නිසා සිදුවිය. ස්වාමීනි, උන්වහන්සේ විසින් කරන ලද ඒ කළකම් මොනවාද? එසේනම් මහණෙනි අසව්.
මෙතෙම කාශ්‍යප බුදුන් කල පක්ෂීන් මරා ජීවත් වන්නකු විය. බොහෝ කුරුල්ලන් බැඳ ඉසුරුමතුන්ට දුන්නේය. ඔවුන්ට දී ඉතිරි පක්ෂීන් වික්කේය. විකුණා ඉතිරි වූ කුරුල්ලන් මරා තැබූ පසු කුණු වී යන හෙයින් ඔවුන්ට ඉගිළී යා නොහැකි සේ ඔවුන්ගේ කකුල්වල ඇට සහ පියාපත් බිඳ එකතු කොට තැබීය. එවුන් දෙවෙනි දිනයේ වික්කේය. විශාල සංඛ්‍යාවක් වූ විට තමන්ගේ කෑමටද උයවන්නේය. දිනක් ඔහු රසබොජුනක් උයාගෙන සිටින විට එක් රහතන්වහන්සේනමක් පිඬුසිඟා වැඩමවා ඔහුගේ ගෙය ඉදිරිපිට සිටියෝය. හෙතෙම තෙරුන් දැක සිත පහදවාගෙන මා විසින් බොහෝ ප්‍රාණීන් මරා කන ලදි. ආර්යයන්වහන්සේත් මගේ ගේ දොරටුවට වැඩමවූහ. ඇතුල්ගේ රජබොජුනක්ද සූදානම්ය. උන්වහන්සේට පිණ්ඩපාතය පූජාකරන්නෙමියි උන්වහන්සේගේ පාත්‍රය රැගෙන එය පුරවා රසපිණ්ඩපාතය පූජා කොට පසඟ පිහිටුවා තෙරුන් වැඳ, ස්වාමීනි, ඔබ මෙලොව ජීවිතය - අද සාර්ථක කර ගත්තාක් මෙන් මටත් එසේම වේවායි කීවේය. උන්වහන්සේ එසේම වේවායි අනුමෝදනා කළහ. මහණෙනි එදා කළකම් වශයෙන් තිස්සට මෙසේ විය. පක්ෂීන්ගේ ඇට බිඳීමේ හේතුවෙන් තිස්සගේ සිරුර ද ගෙඩිවණවලින් ගහන විය. ඇටද බිඳී ගියේය. ක්ෂීණාශ්‍රවයන්වහන්සේට රස පිණ්ඩපාතයක් දීමේ ආනිසංශයෙන් රහත්බවට පැමිණියෝ යයි වදාළහ.