දුන්නිග්ගහස්ස ලහුනො යත්‍ථකාමනිපාතිනො
චිත්තස්ස දමථො සාධු චිත්තං දන්තං සුඛාවහං.
නිගන්නට (මට්ටු කැරැ ගන්නට) නොපිළිවන්, ලඝු වූ (වහා ඉපිද වහා බිඳෙන සුලු), (යුතු හෝ අයුතු) යම් කැමැති අරමුණෙක ගෙන සුලු වූ සිත (අරී මඟින්) නිපොපි කිරීම මැනැවි. මේ සිත දැමුනේ (නිපොපි කැරුනේ) මඟපල සුව ද නිවන් සුව ද එළවන්නේ ය. (එහෙයිනි)
දුන්නිග්ගහස්ස ලහුනො යනාදි මේ ධර්මදේශනාව බුදුරදුන් සැවැත්නුවර වාසය කරන සමයෙහි එක්තරා භික්ෂුවක් අරභයා දේශනා කරන ලදි. කොසොල් රජුගේ එක්තරා යටත් විජිතයක පර්වතපාදයක වූ මාතිගාම නම් ජනගහනයෙන් පිරී ගමක් විය. දිනක් සැටක් පමණ භික්ෂූහු බුදුන් ළඟ රහත්බව දක්වා කමටහන් කියවාගෙන එකී ගමට ගොස් පිඬු පිණිස හැසුරුණාහ.
ඉන්පසු එගම මූලිකයා වූ මාතික නමැත්තාගේ මව ඒ භික්ෂූන් දැක ස්වකීය ගෙහි වඩා හිඳුවා නානාප්‍රකාර අග්‍රරසයෙන් යුත් කැඳබත් වළදවා. ස්වාමීනි, කොහි වඩින්නාහුදැයි ඇසුවාය. මහෝපාසිකාවනි, පහසුකම් ඇති තැනකටයි. ඕතොමෝ මේ ආර්යයන්වහන්සේලා වස්වසන තැනක් සොයන්නාහුයයි දැන පාමුල වැටී, ඉදින් ආර්යයන්වහන්සේලා මේ තුන්මාසය මෙහි වසන්නාහු නම් මම තිසරණ සහිත පන්සිල් සමාදන්ව පෙහෙවස්ද වසන්නෙමියි කීවාය. ඒ භික්ෂූහු මැය නිසා ආහාරයෙන් ක්ලාන්ත නොවී සසරින් එතර විය හැකියයි ඇගේ ආරාධනය පිළිගත්තාහුය.
ඈ ඒ භික්ෂූන්ට විසීම සඳහා විහාර පිළියෙල කොට දුන්නාය. එහි විසූ ඒ භික්ෂූහු එක් දිනක් රැස්වී ඔවුනොවුන්ට අවවාද කරගත්හ. ඇවැත්නි, අපි ප්‍රමාදචාරීව හැසිරීම නොවටී. අටමහානිරය අපේම ගෙවල් මෙන් දොරවල් විවෘත කරගෙන ඇත. දිවමන් බුදුන්ගෙන් කමටහන් ගෙන අපි මෙහි ආවෙමු. බුදුවරු නම් යන පිටුපසින් පයින් ගියත් කපටිකමින් රැවටිය හැක්කෝ නොවෙති. නියම ආකාරයෙන්ම, සැබෑ අදහසින්ම සතුටු කළ හැක්කෝම වෙති. එනිසා නොපමා වව්. දෙදෙනෙක් එක්තැන නොසිටිය යුතුය. හිඳනොගත යුතුය. සවස මහතෙරවරුන්ට උපස්ථාන කරන වේලේත්, උදෑසන පිණ්ඩපාතයෙහි යන වේලේත් එක්වෙමු. එතෙකුදු වුවත් රෝගාතුර වී අපහසු තත්ත්වයට පත් භික්ෂුවක් විසින් විහාරම මැද ගෙඩිය ගැසූ විට ඒ ගෙඩියේ ශබ්දයෙන් අවුත් බෙහෙත් කරන්නෙමු.
මෙසේ කතිකා කොට වාසය කරන කල්හි ඒ උපාසිකා තොමෝ ගිතෙල් තෙල් පැණි ආදිය ගෙන්වා ගෙන දැසිදස්කම්කරුවන්ද පිරිවරා සවස් වේලෙහි එම විහාරයට ගොස් විහාරයට මැද භික්ෂූන් නොදැක ආර්යයන්වහන්සේලා කොහි වැඩියාහුදැයි මිනිසුන්ගෙන් අසා තමතමන්ගේ රාත්‍රිස්ථාන දිවාස්ථානවල වැඩ සිටිනු ඇති ආර්යාවනියි කී කල කුමක් කොට උන්වහන්සේලා දැකිය හැකිදැයි ඇසුවාය. ඉන්පසු භික්ෂූන් වහන්සේලාගේ කතිකාවත දන්නා මිනිස්සු මෙසේ කීවාහුය. ආර්යාවනි, ගෙඩිය ගැසූ පසු රැස් වන්නාහුය. ඈ ගෙඩිය ගස්වාපීය. භික්ෂූහු ගෙඩියේ ශබ්දය අසා, කාට හෝ අපහසුවක් වී ඇතැයි සිතා ස්වකීය ස්ථානවලින් නික්මී අවුත් විහාර මධ්‍යයෙහි රැස්වූවාහුය. දෙනමක් එක් මගකින් නොආහ. උපාසිකාව එක් එක් තැනකින් එකම නමක් බැගින් එනු දැක මපුතුන් ඔවුනොවුන් කෝලාහලයක් කරගන්නට ඇතියි සිතා භික්ෂුසංඝයා වැඳ මෙසේ විචාළාය.
ස්වාමීනි, ඔබවහන්සේලා කෝලාහල කරගත්තාහු ද? මහෝපාසිකාවනි, අපි එසේ නොකරන්නෙමු. ඉතින් ඔබවහන්සේලා අතර කලහයක් නැත්නම්, අපේ ගෙට එනවිට සියලුදෙනා වහන්සේම එකතුවී වැඩියාහුය. එසේ නෑවිත් එක් එක් තැනින් එක්නම බැගින් ආවේ ඇයි? මහාඋපාසිකාවනි, එක් එක් තැන වෙනවෙනම හිඳිමින් මහණදම් පුරන්නෙමු.
දරුවනි, එය කවර නම් ශ්‍රමණධර්මයක් ද? මහෝපාසිකාවනි, අපි ද්විත්තිංසාකාරය සජ්ඣායනා කරමු. ආත්මභාවයේ ක්ෂයවීම වැයවීම හදාරන්නෙමු. ස්වාමීනි, ද්වත්තිංසාකාර සජ්ඣායනය, ආත්ම භාවයෙහි ක්ෂයවීම හා වැයවීම හැදෑරීම ඔබවහන්සේලාට පමණක් සුදුසුද, අපට නුසුදුසු ද? උපාසිකාවනි, මෙය කිසිවකුටත් වළක්වා නැත. ස්වාමීනි, එසේනම් ඒ ද්වත්තිංසාකාරය අපටත් දෙන්න. ආත්මභාවයෙහි ක්ෂය වැය පිහිටුවීම කියා දෙනු මැනවි. උපාසිකාවනි, එසේනම් ගන්නැයි සියල්ල උගැන්වූහ.
ඕතොමෝ එතැන් පටන් ද්වත්තිංසාකාරය සජ්ඣායනා කොට ආත්මය ක්ෂයවීම හා වැයවීම පිළිබඳ සිත පිහිටුවා ඒ භික්ෂූන්ට පෙරාතුවම ත්‍රිවිධ මාර්ග හා ඵලයන්ට පැමිණියාය. මාර්ගයන්ට පැමිණෙන්නාහාත් සමගම ඈ සිවුපිළිසිඹියාවන්ටද, ලෞකික අභිඥාවන්ටද පැමිණියාය. ඈ මාර්ගඵලසුවයෙන් නැගිට දිවැසින් බලා, මගේ පුතුන් කවදා නම් මේ ධර්මාවබෝධය ලබත්දැයි සොයා බලන්නී, මේ සියලුදෙනාම රාග සහිතයෝය, ද්වේශ සහිතයෝය, මෝහ සහිතයේය. ධ්‍යානවිපස්සනා මාත්‍රයකුදු මොවුන්ට නැත. මගේ පුතුන්ට රහත්වීම සඳහා උපනිශ්‍රය (හේතුවාසනා) ඇද්ද නැද්දැයි ආවර්ජනා කොට නැති බව දැක සේනාසන පහසුව නැද්දැයි බලා එය නැති බව දැන, පුද්ගල සප්පාය (සුදුසු පුද්ගලයන්) බලා එයද නැති බව දැන, ආහාරසප්පාය නැද්දැයි බලා, එයද නැති බව දැන එතැන් පටන් අනේකප්‍රකාර කෑයුතුදද, නානාප්‍රකාර භෝජනද සම්පාදනය කොට, ගෙදර භික්ෂූන් වඩා හිඳුවා දක්ෂිණෝදකය (පැන් පිළිගැන්වීම) දී, ස්වාමීනි, ඔබවහන්සේලා කැමති කැමති දෙයක් වළඳන්නැයි පවරා දුන්නාය. උන්වහන්සේලා කැමති කැමති කැඳබත් ආදිය ගෙන වළඳත්. හිතකර ආහාර ලැබූ උන්වහන්සේලාගේ සිත එකඟ බවට පත්විය. උන්වහන්සේලා එකඟ වූ සිතින් විදර්ශනාභාවනා වඩා සිව්පිළිසිඹියාපත් රහතන් බවට පත්ව, අහෝ, අපට මේ මහාඋපාසිකාව පිහිට වූවාය. ඉදින් අප සප්පාය ආහාර නොලැබුවාහු නම් කිසි විටෙකත් මගපල ලැබීමක් සිදු නොවන්නේයයි සිතා, දැන් වස්වැස පවරා බුදුන් හමුවට යමුයි, උපාසිකාවනි, අපි බුදුන් දකිනු කැමැත්තම්හයි විචාළහ. උපාසිකාව, ආර්යයන්වහන්ස, ඉතා මැනවැයි උන්වහන්සේලාට පසුගමන් කොට, ස්වාමීන් වහන්ස, නැවතත් අප ගැනත් සලකා බලන්න ආදි බොහෝ ප්‍රියවචනයෙන් කථා කොට නැවතුණාය.
ඒ භික්ෂූහුත් සැවතට ගොස් බුදුන් හමුවී වැඳ එකත්පසෙක හුන්නාහුය. බුදුරජාණන්වහන්සේ, කෙසේ ද මහණෙනි, කැමැත්තෙන් වාසය කළාහුද, යැපීම් ලැබුවාහුද, පිණ්ඩපාත ලැබුවාහුද, එයින් අපහසුවක් නොවී සිටියාහුදැයි විචාළ කල්හි, එසේය ස්වාමීනි, සුවසේ සිටියෙමු. යැපීම් පිණ්ඩපාත ලැබුවෙමු. අපහසුවකින් තොරව ප්‍රීතියෙන් සිටියෙමු. මාතිකමාතා නම් උපාසිකාව අපේ අදහස් දැනගෙන, අපට මෙබඳු ආහාර ලැබුණොත් මැනැවැයි සිතූ විට අප සිතූ හැටියටම ඒ ආහාර පිළියෙල කර දුන්නායයි ඇගේ ගුණ ප්‍රකාශ කළහ. එක්තරා භික්ෂුවක් ඇගේ මේ ගුණකථාව අසාසිට එහි යනු කැමතිව බුදුන් හමුවෙහි කමටහන් ඉගෙන ස්වාමීනි, මමත් ඒ ගමට යනු කැමැත්තෙමියි බුදුන් විමසා දෙව්රමින් පිටත්ව අනුපිළිවෙලින් එගමට පැමිණ විහාරයට පැමිණි දිනයේම මෙසේ සිතුවේය.
මේ උපාසිකාව සිතන සිතන දේ දැන ගන්නීය. මමත් ගමන් වෙහෙස නිසා විහාරය අතුපතුගාන්ට නොහැකි වෙමි. අහෝ, මට විහාරය පිරිසිදු කරවා ගැනීමට මිනිසකු එවන්නේ නම් කොතරම් හොඳදැයි සිතුවේය. ගෙදරසිටි උපාසිකාව එහි සිටිමින්ම මේ කරුණ දැනගෙන ඔබ එහි ගොස් විහාරය පිරිසිදුකර දෙන්නැයි මිනිසකු එවුවාය. ඒ භික්ෂුවද අනේ, මට සකුරුවලින් බීමක් තනා එවන්නේනම් කෙතරම් යහපත්දැයි සිතුවේය. උපාසිකාව එයද එවුවාය. දෙවෙනි දින උදෑසනම කටදැවිල්ලකුත් සමග සිනිඳු කැඳක් එවන්නේ නම් යෙහෙකියි සිතුවේය. උපාසිකාව එසේ කළාහ. ඔහු කැඳ බී, අනේ මට දැන් මෙබඳු කැවිල්ලක් එවන්නේ නම් මැනවැයි සිතුවේය. උපාසිකාව එයද එවුවාය.
ඔහු මේ උපාසිකාව මා සිතූ සිතූ සියල්ල එලෙසින්ම එවුවාය. මම ඈ දකිනු කැමැත්තෙමි. අනේ, නානාග්‍රරසයෙන්යුත් භෝජනයක් රැගෙන ඈම මෙහි පැමිණෙන්නේ නම් ඉතා යෙහෙකියි සිතුවේය. උපාසිකාව මපුතු අද මා දකිනු කැමැත්තෙන්, මගේ පැමිණීම බලා සිටිතියි භෝජනයක් සූදානම් කරගෙන විහාරයට ගොස් දුන්නාය. ඒ භික්ෂුව දන් වළඳා අවසානයෙහි, උපාසිකාවනි, මාතිකමාතා නම් ඔබදැයි විචාළේය. දරුව එසේය. ඔබ අනුන්ගේ සිත් දන්නෙහිද? දරුව මා විචාරන්නේ ඇයි? මා සිතූ සියල්ල ඔබ විසින් කරන ලද්දෙහිය, එනිසා විචාරමි. දරුව පරසිත්දන්නා භික්ෂූහු බොහෝ වෙතියි කීවාය. මම අනිත් අය ගැන නොඅසමි. උපාසිකාව ඔබ ගැන අසමි. එසේ වුවත් උපාසිකාව තමන් අනුන්සිත් දන්නෙමියි නොකියා. පරසිත් දැනගැනීමට නොහැකි අය එසේ කරත් යයි කීවාය. මෙය ඉතා භයානකය. පුහුදුන් අය (ආර්ය භාවයට නොපත්) හොඳදේත් නරකදේත් සිතති. ඉදින් මම කිසියම් අයුත්තක් සිතන්නෙම් නම් බඩුත් සමග සොරා කෙස්වහල්ලෙන් අල්ලා ගන්නාක් මෙන් මා විපිළිසරට පත් කරන්නී යයි සිතීය. දැන් මා මෙතැනින් පලා යායුතුයි. කොහාටද? උපාසිකාවනි, බුදුන් හමුවටයි. ස්වාමීනි මෙහිම වසු මැනවි. උපාසිකාවනි මෙහි නොඉන්නෙමි. යන්නෙමි යයි කියා පිටත්ව බුදුන් හමුවට ගියේය.
ඉන්පසු බුදුරජාණන්වහන්සේ, භික්ෂුව, ඇයි ඔබ එහි නොනැවතුණේදැයි ඇසූහ. එසේය ස්වාමීනි, එහි විසීම අපහසු යයි කීවේය. මහණ, ඒ කුමක් නිසා ද? ස්වාමීනි, ඒ උපාසිකාව සිතන සිතන සියල්ලම දැන ගනී. පුහුදුන් මිනිස්සු හොඳදේ මෙන්ම නරක දේවල්ද සිතති. ඉදින් මම අයුතු යමක් සිතුවොත් සොරා සහිතව බඩු අල්ලාගෙන කෙස්වලින් අල්ලා ගන්නාක් මෙන් මා අල්ලා විපිළිසරට පත්කෙරෙතියි සිතා ආවෙමියි කීවේය. මහණ ඔබ එහිම සිටියා නම් වඩා හොඳයයි වදාළහ. බැහැ ස්වාමීනි, මට එහි විසීම අපහසුයි. එසේ නම් මහණ එක් දෙයක් පමණක් රැකිය හැකිද? ස්වාමීනි, ඒ කුමක්ද? ඔබේ සිත පමණක් රකුව. සිත රැකීම අපහසුයි. තම තමන්ගේ සිතටම නිග්‍රහ කරව. වෙන කිසිවක් නොසිතව . සිතට එසේ නිග්‍රහ කිරීමත් අමාරුයයි මේ ගාථාව වදාළහ.
නිගරු කැරුමට නොමහැකි කැමති තැනකම ලගිනා
සිත දමනය උතුම් දැමුණ සිත සුව එලවයි
එහි මේ සිත දුකසේ නිග්‍රහ කළ යුතුය යන අරුතින් දුන්නිග්ග නම් වේ. ඉක්මනින් ඉපදීමත්, නැතිවීමත් යනු ලහු නම් වේ. දුන්නිග්ගහස්ස ලහුනො යත්ථ කාමනිපාතිනො යනු කිසියම් ඕනෑම තැනක වැටෙන ස්වරූපය ඇති බවයි. මේ සිත පැවතිය යුතු තැන හෝ නොදනියි. ජාතිය ගෝත්‍රය, වයස ආදි කිසිවක්ම නොබලයි. යම් තැනක කැමති නම් එතැනට වැටෙයි. යත්ථ කාමනිපාති යනු ඒ අර්ථයයි කියනු ලැබේ. මෙබඳු මේ සිතට චිත්තස්ස දමථො සාධු යනු චතුරාර්යසත්‍ය මාර්ගයෙන් දමනය වූ ස්වභාවය ඇති කර සේවනය කළ නොහැකි ශාන්ත තත්ත්වයට පත් වෙයිද? එබඳු ස්වරූපයට පත් කිරීම යහපත්ය. කුමක් නිසාද? චිත්තං දන්තං සුඛාවහං දමනයෙන් සේවනය කළ නොහැකි ශාන්ත භාවයට පත් මේ සිත මාර්ගඵල සැපයත්, පරමාර්ථවූ නිවන් සුවයත් ගෙනදෙයි යන අර්ථයයි.
දේශනා කෙළවර පැමිණි පිරිසෙන් බොහෝ අය සෝවාන් ආදීන් බවට පත්වූහ. ධර්මදේශනාව මහජනයාට සාර්ථක විය.
බුදුරජාණන්වහන්සේ ඒ භික්ෂුවට මේ අවවාදය දී, ඒ භික්ෂුව අමතා, මහණ ඔබ වෙන කොහේවත් නොගොස් එහිම ගොස් වාසය කරවයි යැවූහ. ඒ භික්ෂුව බුදුන් වෙතින් අවවාද ලබාගෙන එහි ගියේය. කිසිම බැහැර සිතක් නොසිතීය. මහාඋපාසිකාව දිවැසින් තෙරුන් දැක දැන් සුදුසු අවවාද දෙන ගුරුවරයකු ලැබී, මගේපුතා නැවත ආවේයයි සිතා සිය නැණින්ම හොඳින් දැනගෙන ඒ භික්ෂුවට සුදුසු ආහාර පිළියෙල කොට දුන්නාය. ඒ භික්ෂුව සුදුසු බොජුන් වළඳා කීප දිනකින්ම රහත්බවට පැමිණ මාර්ගඵල සැපයෙන් කල් යවන්නේ, අහෝ, මහෝපාසිකාව මට පිහිට වූවාය. මම මෑ නිසා භවනිස්සරණයට (නිවනට) පැමිණියෙමියි සිතා, මේ උපාසිකාව මේ ආත්මයේ දී මට පිහිටවූවාය. මේ සසර සැරිසරණ විට වෙනත් ආත්මභාවවලදීත් මෝ තොමෝම පිහිට වූවාදැයි සොයා බලන්නේ ආත්මභාව අනූනවයක් සිහි කළේය. ඈ ද අනූනවයක් ආත්මභාවවලදී ඔහුගේ පාදපරිචාරිකාව වී වෙනත් කෙනෙකුට ඇලුම් ඇති කරගෙන ඔහු ජීවිතයෙන් තොර කළාය.
තෙරුන්වහන්සේ ඇගේ මේ අගුණරාශිය දැක අනේ මේ උපාසිකාව බැරෑරුම් පව්කමක් කළායයි සිතුවෝය. මහාඋපාසිකාවද ගෙදර හිඳගෙනම කිම, මගේ පුතාගේ පැවිදි කටයුතු ඉටුවීදැයි විමසා බලන්නී, ඔහුගේ රහත්බවට පැමිණීම දැක තවත් ඈතට විමසා බලන විට, මගේ පුතා රහත් වී අහෝ මේ උපාසිකාව මට මහත්සේ පිහිට වූවායයි සිතන බවද දැක, අතීතයෙත් මෑ මෙසේ මට පිහිට වූවාදැයි සොයන්නේ අනූනවයක් ආත්මභාව සිහි කළාය. මම ආත්ම අනූනවයක් සිට ඊළඟ ආත්මභාවයේදී වෙනත් එකකු සමග එක්වී මොහු දිවියෙන් තුරන් කෙළෙමියි මොහු මගේ මෙතෙක් වූ අගුණ රාශිය දැක, අනේ බැරෑරුම් පව්කමක් උපාසිකාව විසින් කරන ලදැයි සිතීය. මා මගේ පුතාට සසර සැරිසරණ අවධියෙහි උපකාර කරන ලද්දේදැයි සොයා බලන විට ඊට පෙර සියවෙනි ආත්මභාවය දක්වා සිහි කොට ඒ සියවෙනි ආත්මභාවයෙහිදී මම මොහුට පාදපරිචාරිකාව වී එක් ජීවිතනැතිකරන (වධකස්ධානය) තැනකදී ජීවිත දානය දුන්නෙමි. අනේ මම මගේ පුතාට බොහෝ උපකාර කර ඇත්තෙමියි ගෙදර හිඳගෙනම ඊට එහා කාලය විශේෂයෙන් සොයා බලවයි කීවාය.
උන්වහන්සේ දිවකනින් ඒ ශබ්දය අසා විශේෂයෙන් සියවෙනි ආත්මභාවය සිහි කොට එහිදී ඈ තමන්ට ජීවිතදානය කළ බව දැක, අනේ මට මේ උපාසිකාව එහි දී උපකාර කළා යයි සතුටුව එහිදීම සිව්මගපල පිළිබඳ ප්‍රශ්න විසඳා අනුපධිශේෂපරිනිර්වාණධාතුයෙන් පිරිනිවිසේක.