3-8 අටවන නන්දගෝපාලක වස්තුවයි.

දිසො දිසං යන්තං කයිරා වෙරී වා පන වෙරිනං

මිච්ඡාපණිහිතං චිත්තං පාපියො න තතො කරෙ.

සොරෙක් සොරකු දැක ඔහුට යම් නපුරක් කෙරේ ද, බද්ධ වෛර ඇතිපුද්ගලයෙක් වෙර බඳුනකු දැක ඔහුට යම් අවැඩක් කෙරේ ද, වරදවා පිහිටුවන ලද සිත එයට වඩා ඔහු පවිටකු කරන්නේ ය.

දිසො දිසං ආදි මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ කොසොල් දනව්වෙහි නන්දගෝපාලකයන් අරභයා දේශනා කළහ. සැවැත්නුවර අනාථ පිණ්ඩික ගෘහපතියාගේ නන්ද නම් ගොපල්ලා ගවරැළ රිකියි. ඔහු ආඪ්‍ය මහත්ධන, මහත්භෝගසම්පත් ඇත්තෙකි. කේණිය නම් ජටිලයා පැවිදි වෙසින් තම සම්පත් රැකීමට ඇවිදින්නාක් මෙන් නන්ද ගොපල්ලාද ගොපලු වේශයෙන් රාජබලි පරිහරණය කෙරෙමින් ස්වකීය සම්පත් රකියි. ඔහු කලින් කල පස්ගෝරසය අනේපිඬුගෘහපතියා ළඟට ගෙන අවුත් දී, බුදුන් ද දකින්ට යයි. දහම්ද අසයි. තමන් වසන තැනට වඩින්නැයිද ඉල්ලා සිටියි.

බුදුහු ඔහුගේ නුවණ මුහුකුරා යෑම අපේක්ෂාවෙන් නොගොස් සිට දිනක් මුහුකුරා ගිය බ ව දැන මහාභික්ෂුසංඝයා පිරිවරා චාරිකාවේ වඩිනා සේක් මගින් ඉවත්ව ඔහු වසන තැන ළඟම වූ එක්තරා ගසක් මුල වැඩහුන් සේක. නන්ද බුදුන් වෙත එළඹ වැඳ පිළිසඳ කථා කොට බුදුන්ට ආරාධනා කොට සත්දිනක් භික්ෂුසංඝයාට ප්‍ර‍ණීත පංචගෝරසදානය දුන්නේය. සත්වෙනි දින බුදුරජාණන්වහන්සේ අනුමෙවෙනි බණ කියා දානකථාදි පිළිවෙල කථාව දෙසූසේක. කථා කෙළවර නන්දගෝපාලක සෝවාන්ඵලයෙහි පිහිටියේය. පසුව ඔහු බුදුන්ගේ පාත්‍ර‍ය ගෙන බුදුන් අනුව යන විට, සෑහෙන දුරක් ගොස් උපාසකය දැන් තින් නැවතුවයි කී කල්හි වැඳ නැවතුණේය. ඒ හාත් සමගම එක් වැද්දෙක් හීයකින් විද නන්ද මරා දැම්මේය. පසුව ආ භික්ෂූහු මෙය දැක, බුදුරදුන්ට මෙසේ දන්වා සිටියහ. ස්වාමීනි, ඔබවහන්සේ මෙහි ආ නිසා නන්දගෝපාලක මහදන් දී පසුපස අවුත් නැවතුණු හැටියේම මරා දමන ලදි. ඉදින් ඔබවහන්සේ නොවැඩියාහු නම් ඔහුට මරණය නොවන්නේ නොවේද? මහණෙනි, මා ආවත් නොආවත් ඔහු සිව්දිසාවල සිව්අනුදිසාවල ගියත් මරණයෙන් මිදීමේ උපායක් නම් නැත. යමෙකුට සොරුන් විසින් හෝ වෛර ඇත්තකු විසින් හෝ යම් අවැඩක් අනතුරක් නොකෙරෙත් නම් ඒ අතරතුර මේ සත්වයන්ගේ ඇතුළත දූෂණය වූ වැරදි ලෙස පිහිටුවා ගත් සිත විසින්ම කරන්නේයයි කියා මේ ගාථාව වදාළහ.

සොරේක යම් සොරකු දැක

ඊටත් වඩා වැඩියෙන්

අනතුරු සිදු කෙරේ නම්

එපව් සිත මහ විපතකි

එහි දිසො දිසං යනු චොරො චොරංදිස්වා යනුද පාඨාන්තරයි. සොරෙක් සොරකු දැක යනු අර්ථයි. යං තං කයිරා යනු යමෙක් ඔහුට නානාප්‍ර‍කාර ව්‍යසන කරන්නේ නම්, (දෙවෙනි පදයෙහිද මෙසේ ම අර්ථ ගත යුතුය.) එයින් කියන ලද්දේ මෙයයි. එකෙක් එකකුට මිත්‍ර‍ද්‍රෝහී හොරෙක්ව, දූදරුවන් කෙත්වතු ගව මී සරක් ආදීන් කෙරෙහි විපත් පමුණුවමින් අපරාධ කෙරෙහිද, ඔහු ද එසේම තමන්ට විපත්ගෙන දෙන සොරකු දැක වෙරීවාපන යම්කිසි කරුණක් නිසා වෛර බැඳගත් වෛරියකු දැක තමන්ගේ කර්කශ බැවින් දරුණු බැවින් යම් ආකාරයකින් ඔහුට අනයව්‍යසන කෙරෙයිද, දූපුතුන් හෝ පෙළයිද, කෙත්වත් වනසා දමයිද, ජීවිතය හෝ නැති කර දමයිද, දශ අකුශල කර්මපථ්‍යන්හි වැරදි ලෙස තබාගත් සිත් ඇතිව, මිච්ඡා පණිහිතං චිත්තං පාපියො නං තතො කරෙ යනු ඒ පුරුෂයා ඊට වඩා පාපතර ක්‍රියාවක් කරන්නේය. කියන ලද ආකාර ඇති සොරෙක් හෝ වෛරියෙක් හෝ සොරෙකුට හෝ වෛරියෙකුට හෝ මේ ආත්මභාවයෙහි දුකක් උපදවයිද ජීවිතක්ෂයට හෝ පත් කෙරෙයිද මේ අකුශලකර්මපථයන්හි වැරදි ලෙස තබාගත් සිත මෙලොවදීම විවිධාකාර විපත්වලට පමුණුවයි. ආත්මභාව සියදහස් ගණන් සිව්අපාවල දමා හිස ඔසවන්නට නොදෙයි.

දේශනා කෙළවර බොහෝ අය සෝවාන් ආදි ඵලවලට පැමිණියහ. මහාජනයාට ඒ දේශනාව සාර්ථක විය. උපාසකයා විසින් කරන ලද කර්මය භික්ෂූන් විසින් නොඇසූ හෙයින් ශාස්තෘන්වහන්සේ විසිනිදු ප්‍ර‍කාශ නොකරන ලදි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.