මෙසේ සෙවුනා කල්හි දු යමකුහට අර්පණා නො ලැබෙන්නේ නම් ඔහු විසින් දශවිධ අර්පණා කෞශල්‍යය සම්පාදනය කටයුතු දශවිධ අර්පණා කෞශල්‍යය නම් :
1. වස්තු විශද ක්‍රියාව
2. ඉන්‍ද්‍රිය සමත්‍ව ප්‍රතිපාදනය
3. නිමිත්ත කෞශල්‍යය
4. සිතට ප්‍රග්‍රහ දියයුතු කල ප්‍රග්‍රහ දීම
5. සිත නිග්‍රහ කළයුතු කල නිග්‍රහ කිරීම
6. සිත සතුටු කළයුතු විට සතුටු කිරීම
7. සිත උපේක්‍ෂා කළ යුතු විට උපේක්‍ෂා කිරීම
8. අසමාහිත පුද්ගල පරිවර්‍ජනය
9. සමාහිත පුද්ගල සේවනය
10. තදධිමුක්තිය යන මොහුයි.
1. වස්තු විශද ක්‍රියාව නම් - අධ්‍යාත්මික බාහිර වස්තු පිරිසිදු කර ගැන්ම ය, යම් විටෙක ඒ යෝගාවචරයාගේ කෙස් - නිය - ලොම් දික්වැ වැඩිණි නම්, ශරීරය හෝ ඩහ මලින් ගැවසිණි නම් එවිට අධ්‍යාත්මික වස්තු අපිරිසිදු වූයේ වෙයි. යම් විටෙක සිවුර දිරුම් කඩට ගියේ නම්, කිලිටි වූයේ නම්, දුර්‍ගන්‍ධ වහනය කෙරේ නම්, සෙනස්න හෝ කසලින් යුක්ත විණි නම් එවිට බාහිර වස්තු අපිරිසිදු වූයේ වෙයි. අධ්‍යාත්මික බාහිර වස්තු අපිරිසිදු කල්හි චිත්ත - චෛතසික උපන් විට නුවණ ද අපිරිසිදු වේ. අපිරිසිදු පහන් කබල්, පහන් තිර, පහන් තෙල් නිසා නැඟෙන පහන් සිල්ලේ එළිය ද අපිරිසිදු වන්නාක් මෙනි. අපිරිසිදු නුවණින් සංස්කාර සම්මර්‍ශනය කරන කල්හි සංස්කාරයෝ ද විභූත වැ පහළ නො වෙති. කමටහන යෙදෙතු දු ඒ අභිවෘද්‍ධියට නො පැමිණෙ යි. අධ්‍යාත්මික බාහිර වස්තු පිරිසිදු කල්හි චිත්ත - චෛතසික උපන් විට ඥානය ද පිරිසිදු වන්නේ ය. පිරිසිදු පහන් කබල් පහන් තිර පන් තෙල් නිසා නැඟෙන පහන් සිල්ලේ ආලෝකය ද පිරිසිදු වන්නාක් මෙනි. පිරිසිදු නුවණින්න සංස්කාර සම්මර්‍ශනය කරන කල සංස්කාරයෝ ද විභූත වැ පහල වෙති. කමටහන යෙදෙන විට එ ද අභිවෘද්ධියට පැමිණෙන්නේ ය.
2. ඉන්‍ද්‍රිය සමත්‍ව ප්‍රතිපාදනය නම් - ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන් සම බවට පැමිණවීමය. ඉදින් ඔහුගේ සද්ධින්‍ද්‍රිය බලවත් වැ සෙසු ඉන්‍ද්‍රිය දුබල විණි නම් විරියින්‍ද්‍රියයෙන් ප්‍ර‍්‍රග්‍රහ කෘත්‍යය ද, සතින්‍ද්‍රියයෙන් උපට්ඨාන කෘත්‍යය ද, සමාධින්‍ද්‍රියයෙන් අවික්‍ෂෙප කෘත්‍යය ද, පඤ්ඤින්‍ද්‍රියයෙන් දර්‍ශන කෘත්‍යය ද කළ හැකි නොවේ. (ප්‍රග්‍රහ නම් සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට අනුබල දීම ය. උපට්ඨාන නම් අරමුණ කරා එළඹ සිටීමය. අවික්‍ෂේපව නම් සම්ප්‍රයුක්ත ධර්‍මයන් විසිර යා නොදී තැන්පත් කිරීම ය. දර්‍ශන නම් ඇති සැටියෙන් දැන ගැන්ම ය.) එබැවින් ඒ ඉන්‍ද්‍රිය ධර්‍ම ස්වභාවය මෙනෙහි කිරීමෙන් හෝ යම් ආකාරයකින් මෙනෙහි කරන විට සද්ධින්‍ද්‍රිය බලවත් වූයේ ද ඒ ආකාරයෙන් මෙනෙහි නො කිරීමෙන් හෝ සද්ධින්‍ද්‍රිය අඩු කර ගත යුතු. වක්කලි තෙරුන් ගේ කථාව මෙහි ලා දෘෂ්ටාන්ත ය.
ඉදින් විරියින්‍ද්‍රිය බලවත් විණි නම් සද්ධින්‍ද්‍රියට අධිමොක්‍ෂ කෘත්‍යය ද, සෙසු ඉන්‍ද්‍රියයන්ට තම තමා අයත් සෙසු කෘත්‍ය ද කළ හැකි නොවේ. එ බැවින් ඒ විරියින්‍ද්‍රිය පස්සද්ධාදි භාවනායෙන් අඩු කරගත යුතු. සොණ තෙරුන්ගේ කථාව මෙහි දෘෂ්ටාන්ත ය. මෙසේ සෙසු ඉන්‍ද්‍රිය පිළිබඳ වැ ද එක්ක බලවත් කල්හි සෙස්සන්ට තම තමා අයත් කෘත්‍ය කළ නො හැකි බව දත යුතුයි.
මෙහි කිය යුත්තෙක් ඇති. මේ සමත්‍ව සම්පාදනයෙන් විශේෂයෙන් ප්‍රශස්ත වන්නේ ශ්‍රද්ධා - ප්‍රඥා දෙදෙනාගේ ද, වීර්‍ය්‍ය - ප්‍රඥා දෙදෙනාගේ ද සමත්‍ව සම්පාදනය යි. යමකු ගේ ශ්‍රද්‍ධාව බලවත් වැ ප්‍රඥාව දුර්බල විණි නම් හෙතෙමේ මුද්ධප්ප සන්න වේ. හේ අස්ථානයෙහි ද පහදින්නේ ය. යමකුගේ ප්‍රඥාව බලවත් වැ ශ්‍රද්ධාව දුර්බල විනි නම් හෙතෙමේ කෛරාටික පක්‍ෂය භජනය කරන්නේ ය. (සිත් උපන් පමණින් ම කුසල් වෙයි. දන් ආදිය දීමෙන් කටයුතු කිමැ යි.) බෙහෙදින් හටගත් රෝගය මෙන් හෙතෙමේ අතේකිච්ඡ වේ හෙවත් පිළියම් කට හැක්කේ නොවේ. ශ්‍රද්ධා-ප්‍රඥා දෙක සම කල්හි ස්ථානයෙහි ම පහදින්නේ ය.
යමකුගේ සමාධිය බලවත් වැ වීර්‍ය්‍යය දුර්බල විණි නම් කුසීත භාවය ඔහු මැඩලන්නේ ය. කුමක් හෙයින් ද සමාධිය කුසීත භාවයට පක්‍ෂ බැවිනි. යමකුගේ වීර්‍ය්‍යය බලවත් වැ සමාධිය දුර්බල විණි නම් උද්ධච්ච භාවය ඔහු මැඩලන්නේ ය. කුම්ක හෙයින් ද වීර්‍ය්‍යය උද්ධච්ච පක්‍ෂයෙහි පවත්නා බැවිනි. එසේ හෙයින් සමාධිය වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ කුසීද භාවයෙහි ද, වීර්‍ය්‍යය සමාධියෙන් යුක්ත වූයේ උද්ධච්ච භාවයෙහි ද, වැටෙන්නට ද ඉඩ නො දෙන්නේ ය. එ බැවින් මේ සමාධි වීර්‍ය්‍ය දෙක සම කැරැ ගත යුතු ය. ඒ සම කැරැ ගැන්මෙන් අර්පණාව වන්නේ ය.
තව ද කියයුත්තෙක් ඇති. සමාධි භාවනායෙහි නියුක්ත යෝගාවචරයාට බලවත් වූ ම ශ්‍රද්ධාව අවශ්‍ය ය. ශ්‍රද්ධාව මඳවිණි නම් “පඨවි පඨවි” කී පමණින් ධ්‍යාන නො ලත් කල උත්සාහය හැරැ පියන්නේ ය. බලවත් ශ්‍රද්ධා ඇත්තේ “බුදුන් වදාළ මේ විධි ඒකාන්තයෙන් සිද්ධ වන්නේය යි” අදහමින් පරිකර්‍ම කොටැ අර්පණාවට පැමිණෙන්නේ ය.
තව ද සමාධි - ප්‍රඥා දෙක අතුරෙන් සමාධි කර්‍මමිකයාට බලවත් වැ අවශ්‍ය වන්නේ එකග්‍රතාව ය. හේ ඒකාග්‍රතායෙන් අර්පණාවට පැමිණෙන්නේ ය. විදර්‍ශනා කර්‍මමිකයාට බලවත් වැ අවශ්‍ය වන්නේ ප්‍රඥාව ය. හෙතෙමේ එයින් ලක්‍ෂණ ප්‍රතිවේධයට පැමිණෙන්නේ ය. යට දැක්වුණු සේ මේ සමාධි ප්‍රඥාවන්ගේ සමත්‍වයෙන් ද අර්පණාව ලබාගත හැකිය.
සතිය වනාහි ඇම තන්හි බලවත් වැ මැ අවශ්‍ය ය. කුමක් හෙයින් ද සතියෙන් සිත ඖද්ධත්‍ය පාක්‍ෂික වූ ශ්‍රද්ධා - වීර්‍ය්‍ය - ප්‍රඥාවන්ගේ වශයෙන් උද්ධච්චයට වැටීමෙන් ද, කෞශීද්‍ය පාක්‍ෂික වූ සමාධියෙන් කොසජ්ජයට වැටීමෙන් ද, රැක ගනු ලබන බැවිනි. එ හෙයින් ම ඒ සතිය සකල ව්‍යඤ්ජනයන්හි ලුණු හා තෙල් මෙන් ද, සමස්ත රාජ කෘත්‍යයන්හි සර්‍ව කාර්‍මමික අමාත්‍යයා මෙන් ද සියලු තන්හි කැමැති විය යුතුය. “සතිපන සබ්බත්‍ථිකා වුත්තා භගවතා, කිංකාරණා? චිත්තංගි සති පටිසරණං ආරක්ඛ පච්චුපට්ඨානා ච සති න විනා සතියා චිත්තස්ස පග්ගහ නිග්ගහො හොති” යනු එහෙයින් කියන ලදී.
“සතිය වනාහි සියලු තන්හි කැමැති විය යුතුය යි භගවත් බුදුන් වහන්සේ විසින් වදාරණ ලදි. කුමක් හෙයින් ද සිත සතිය පිහිට කොට ඇත්තේ ය. සතිය ආරක්‍ෂාව වැටහීම කොට ඇත්තේ ය. සතිය නැත්නම් සිතේ උත්සාහයක් ද නිරුත්සාහයක් ද නො වන්නේ ය” යනු එහි අර්‍ථයි.
3. නිමිත්ත කෞශල්‍යය නම්:- සිත එකඟ කැරැ ගැන්මට කාරන වන තනා නො ග්ත පඨවිකසිණාදි නිමිති භාවනා කිරීමෙහි ද, භාවනා කිරීමෙන් ලැබ ගත් නිමිති රැකැ ගැන්මෙහි ද දක්‍ෂ බව ය. මෙහි ලා තෙවනු වැ කී භාවනා කිරීමෙන් ලැබැ ගත් නිමිති රැකැ ගැන්මෙහි දක්‍ෂ බව අදහස් කරන ලදැ යි දත යුතු.