අසප්පාය ආවාස හා සප්පාය ආවාස

යම් ආවාසයෙක වසන්නහුට නූපන් නිමිත්ත නූපදින්නේ නම්, උපන් නිමිත්ත හෝ නැති වන්නේ නම්, නො එළඹි සිහිය නො එළඹෙන්නේ නම්, අසමාහිත සිත සමාහිත නො වන්නේ නම් එය අසප්පාය ආවාස ය. යම් ආවාසයෙක වසන්නහුට නාග පර්‍වත වාසී පධානියතිස්ස තෙරුන්ට මෙන් නිමිත්ත උපදී නම්, උපන් නිමිත්ත ස්ථිර වේ නම්, සිහිය එළඹ සිටී නම්, සිත සමාධිමත් වේ නම් එය සප්පාය ආවාස යි. එ බැවින් යම් විහාරස්ථානයක බොහෝ ආවාස ඇත් නම් ඒ විහාරස්ථානයෙහි එක් එක් ආවාසයෙක තුන් තුන් දවස වැසැ සිත් එකඟ වූ ආවාසයෙහි විසුම් ගත යුතුයි.

ආවාස සප්පාය ලැබීමෙන් ලක්දිව සුළුන්නා ලෙන කමටහන් ගෙනැ විසූ පන්සියයක් භික්‍ෂූහු අර්‍හත්ත්‍වයට පැමිණියෝ ය. එහි දී සෝවාන් වූ ද, ස්ථානන්තරයන්හි ආර්‍ය්‍ය භූමියට පැමිණැ එහි දි රහත් වූ ද, භික්‍ෂූන් ගණනක් නැත. එහි මතුද සිතුල්පව් වෙහෙර ආදි අන්‍ය ස්ථානයන් ද මෙසේ රහත් වූ වන්ගේ ගණන් නැත.

අසප්පාය ගොදුරු ගම් හා සප්පාය ගොදුරු ගම්.

සේනාසනයෙන් උතුරු දිග හෝ දකුණු දිග ඉතා නුදුරු තන්හි - යෙළ කෝෂයක් අතර පිහිටි සුලභ භික්‍ෂා සම්පන්න ගොදුරු ගම සප්පාය වන්නේ ය. එසේ නො වූයේ අසප්පාය වන්නේ ය. (උතුරු දිග හෝ දකුණු දිග පිහිටිය යුත්තේ ගමනාගමනයෙහි හිර මුහුණ නො කරන සඳහා ය. යෙළ කොෂ යෙක් නම් දුනු තුන් දහසෙකි.)

අසප්පාය කථා හා සප්පාය කථා

දෙතිස් තිරශ්චීන කථාවන්ට ඇතුලත් කථා අසප්පාය ය. එ බඳු කථා වනාහි ලද නිමිත්ත ද අතුරුදහන් වීමට හේතු වන්නේ ය. සප්පාය වන්නේ දශ කථාවස්තු නිඃශ්‍රිත කථා ය. හෙද පමණට විය යුතු ය.

අසප්පාය පුද්ගල හා සප්පාය පුද්ගල.

යම් පුද්ගලයෙකු ඇසුරු කිරීමෙන් අසමාහිත සිත සමාහිත වේ නම් සමාහිත සිත ස්ථිර වේ නම් එ බඳු වූ තිරිසන් කථා නො කරන ශීලාදි ගුණ යුක්ත පුද්ගලයා සප්පාය වන්නේ ය. තිරිසන් කථා කරන කායදඩ්ඪියා සප්පාය නො වන්නේ ය. (කායදඩ්ඪියා නම් ශරීර සන්තර්පණයෙහි හා පෝෂණයෙහි යෙදුණේයි) එ බන්දා වනාහි පහන් දිය කිලිටි කරන මඩ දිය මෙන් ඔහු කිලිටි කරන්නේ ය. එබන්දහු කරා පැමිණීමෙන් කෝටි පර්‍වතවාසි දහර භික්‍ෂුහට මෙන් ලත් සමාපත්තිය පවා නැති වන්නේ ය. නිමිත්ත නැති වන්නේ යනු කියනුම කවරේ ද

අසප්පාය භෝජන සෘතු හා සප්පාය භෝජන සෘතු.

භෝජන වනාහි, කිසිවකුහට මධුර රස සප්පාය වන්නේ ය. කිසිවකුහට ඇඹුල් රස සප්පාය වන්නේ ය. එ සේම සෘතුවද කිසිවකුහට ශීත ද කිසිවකුහට උෂ්ණ ද සප්පාය වන්නේ ය. එ බැවින් යම් භෝජනයක් හෝ සෘතුවක් සෙවුනහට අසමාහිත සිත සමාහිත වේ නම් සමාහිත සිත ස්ථිර වේ නම් ඒ භෝජන සෘතු සප්පායය යි ද, එයින් අන්‍ය වූයේ අසප්පායය යි ද දත යුතු යි.

අසප්පාය ඉරියව් හා සප්පාය ඉරියව්

කිසිවකුහට සක්මන් ද, කිසිවකුහට නිදීම් - සිටීම් - හිඳීම් අතුරෙන් කිසිවක් ද සප්පාය වන්නේ ය. එ හෙයින් ආවාසය මෙන් එද තුන් තුන් දවස පරීක්‍ෂා කොටැ යම් ඉරියව්වෙක අසමාහිත සිත සමාහිත වේ නම් සමාහිත සිත ස්ථිරතර වේ නම් ඒ ඉරියව්ව සප්පාය ය යි ද එයින් අන්‍ය වූයේ අසප්පාය යි ද දත යුතු යි.

මේ සප්තවිධ අසප්පාය දුරු කොටැ සප්තවිධ සප්පාය සෙවිය යුතු ය. එසේ සප්පාය සොයන, නිමිත්තාසේවන බහුලයාහට නොබෝ කලෙකින් ම අර්පණා වන්නේ ය.